චීනෙට එරෙහිව රටවල් හතරක් ගහපු ගිවිසුමෙන් අපේ ලයිට් බිල වැඩිවෙයි!

227

ගෝඨාභය ගෙදර යවා ලංකාවම දණ ගැස්සවූ කොඩ් කඳවුරේ ප්‍රහාරය
විදුලිබල මණ්ඩලයට පාඩු කළේ ජනතාවද?
අධිකරණ නියෝග නොතකා ඉංජිනේරුවන් පඩි වැඩිකර ගත්තේ මෙහෙමයි
මණ්ඩලය ගොඩදාන්න කළයුත්තේ බිල වැඩිකිරීමද? දූෂණය නැති කිරීමද?

රට තුළ පවතින ආර්ථීක අර්බුදය හමුවේ එදා වේල සරිකරගන්නේ කෙසේ දැයි යන ගැටලුවට මුහුණ දෙමින් අතිබහුතරයක් මිනිස්සු දැවැන්ත උභතෝකෝටිකයකට පත්ව සිටිති.දරුවෝ මන්දපෝෂණයෙන් පෙළෙමින් සිටින්නාහ. උදේ වේලට පාන් ගෙඩියක් මිලදී ගන්නට නොහැකිව මැරෙන්නට බැරි නිසා දුකසේ ජීවත් වන්නන් අනන්ත අප්‍රමාණය. කුමක් හෝ ස්ථිර රැකියාවක යෙදෙමින් ජීවිතය බරක් කර නොගෙන රටේ මධ්‍යම පාන්තිකයන් ලෙස ජීවත් වූවන් දැන් දිනෙන් දින දිළින්දන් බවට පත්වෙමින් ඇත.

මේ ගෙවෙමින් තිබෙන්නේ රට තුළ ඇති වූ ආර්ථික අර්බුදයේ තරම රටේ ජනතාවට ඉතා දරුණුම ආකාරයෙන් දැනෙමින් තිබෙන කාලපරිච්ඡේදය වන්නේය.

එවන් තැනකට රට ඇදවැටී තිබියදී අද රටේ විදුලිය භාර කංචන විජේසේකර ඇමැති තරුණයා කියමින් සිටින්නේ කුමක්ද? ඔහුට අනුව ලංකා විදුලිබල මණ්ඩලය යනු තවමත් දරුණු ලෙස පාඩු ලබන රාජ්‍ය ආයතනයකි. එනිසා විදුලිය වෙනුවෙන් ජනතාව ගෙවන මිල යළි අති විශාල අගයකින් ඉහළ දැමිය යුතු බව ඔහු පුන පුනා කියන්නේය.

නින්දෙනුත් විදුලි බිල වැඩි කළ යුතු බව කියමින් දොඩවන තත්ත්වයක් ඇතිවී තිබේදැයි සිතෙන තරමටම ඇමැති කංචන අද ඒ හඬ මතු කරමින් සිටී. එහෙත් ඔහු එසේ විදුලි බිල ගැන කතා කරද්දී ඒ තුළ සැබෑවටම තිබෙන්නේ පාඩු ලබන විදුලිබල මණ්ඩලය කෙළින් කිරීමේ උත්සාහයක්ද?

අපට නම් සිතෙන්නේ විදුලිබල මණ්ඩලය කෙළින් කිරීම කෙසේ වෙතත් ඇමැති කංචන මතු කරන හඬ තුළ ඒ යටින් යන එක්වරම නොදැනෙන තවත් කතාවක් තිබෙන බවකි.

ඒ කතාව වූ කලී කුමක්ද? ලංකා විදුලිබල මණ්ඩලය යනු මුළු රටටම මරාලයක් වූ අන්ත දූෂිත ආයතනයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. එය රටේ ජනතාවට අනේක වධ දෙන ආයතනයක් බවට පත්ව තිබෙන්නේ කාලයක සිටය. එම තත්ත්වය තුළ පාඩු ලබන්නේ යැයි පවසා යළි විදුලි බිල ඉහළ අගයකින් වැඩි කෙරුණහොත් පවතින ආර්ථික අර්බුදය හමුවේ විදුලිබල මණ්ඩලය යනු තමන් ගිල දැමීමට සැරසෙන මහා යක්‍ෂයකු සේ රටේ ජනතාවට දැනීම ආයාසයකින් තොරවම සිදුවේ.

මේ ගෙවෙමින් තිබෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට කටයුතු කෙරෙමින් තිබෙන අවසන් හෝරා කිහිපය ය. එකී ප්‍රතිව්‍යුහගතකරණය යනු ඇතැම්විට මණ්ඩලය විකුණා දැමීමද විය හැකිය. එම තත්ත්වය තුළ රටේ ජනතාවට විදුලිබල මණ්ඩලය තිත්ත වී තිබීම එය ක්‍රියාවට නැංවීමේදී ඉතා පහසුවක් වනු ඇත. මන්ද එකී විකුණා දැමීමේදී එයට එරෙහිව ජනතා හඬක් මතුවීමට ඇති ඉඩකඩ එහිදී ඉතා සීමිත වන බැවිනි.

මෙරට විදුලි අර්බුදයට කිසිසේත්ම විසඳුමක් නොවන මණ්ඩලයේ හතරකොන නොදත් සහ දූෂිත නිලධාරීන් කියන දේ ලියාගෙන විත් කියවන තරුණ ඇමැති කංචන විජේසේකරගේ විදුලි බිල ඉහළ නැංවීමේ කතාවට යටින් යන කතාව එය වන්නේය.

කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට කැබිනට් මණ්ඩලය පත් කළ කමිටුව මගින් එය නියාමනය කිරීම සඳහා කමිටු පහක් පත් කළ යුතු බවට යෝජනා කිරීමේ කතාවක්ද මේ සටහන තබන සිකුරාදා වන විට වාර්තා විය.

ඇමැතිවරයා කියන පරිදි රටේ විදුලි බිල ඉහළ දමා පාඩු පියවාගෙන විදුලිබල මණ්ඩලය පාඩු නොලබන තත්ත්වයට පත් කිරීමට හැකි යැයි කිසිවකු හෝ සඳහන් කරන්නේ නම් එයට වඩා විහිළුවක් තවත් නැත. මණ්ඩලය කෙළින් කිරීමට නම් සිදු කළ යුතුව තිබෙන්නේ විදුලි බිල ඉහළ දැමීම පසෙක තබා කලක සිට මණ්ඩලය තුළ සිදුවෙමින් තිබෙන වංචා, දූෂණ සහ අක්‍රමිකතාවන්ට තිත තැබීමය. එය සිදු කරන්නට නම් යමෙකුට මණ්ඩලයේ සිදුවන වංචා, දූෂණ සහ අක්‍රමිකතා මෙන්ම දූෂිතයන් පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුය.

එහෙත් අපට හැඟෙන පරිදි ඇමැති තරුණයාට ඒ අවබෝධය නැත. ඔහු රටේ විදුලි අර්බුදයට විසඳුම නොවන්නේ යැයි අපි කියන්නේ ද ඒ නිසාය.

එහෙත් මෙහිදී ගලේ කෙටුවාක් මෙන් වගකීමෙන් සඳහන් කළ යුතු දෙයක්ද ඇත. හෙට විදුලිබල මණ්ඩලයට කුමක් සිදු කෙරුණද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන වත්මන් ආණ්ඩුවට ඒ පිළිබඳව දොසක් පැවරීමට කිසිවකුටත් අයිතියක් නැත. සියල්ලන් අන්දමන්දව සිටියදී රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපති ධුරයට පත්වූයේ දැවැන්ත අභියෝගයක් උරමතට ගනිමිනි. එවන් තත්ත්වයකදී ඇතැම් අවස්ථාවල ජනප්‍රිය නොවන තීන්දු ගැනීමට පාලකයකුට සිදුවීම සාමාන්‍යය ය.

විදුලිබල මණ්ඩලයට එවැනි ඉරණමක් අත්වුවහොත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රධාන රාජපක්‍ෂවරුන් බහුල වූ පොහොට්ටු ආණ්ඩුවට නම් ඒ වගකීමෙන් කිසිදා ගැලවී යෑමට නොහැකිය. අද පවතින ආර්ථික අර්බුදයට රට ඇද වැටුණේ ඔවුන් බලයේ සිටියදීය. එසේම අද විදුලිබල මණ්ඩලයේ රජ කරන ඉංජිනේරු මාෆියාව ඇතුළු සමස්ත දූෂිතයන්ටද එකී වගකීමෙන් ගැලවීමට නොහැකිය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ මේ මොහොත වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඉල්ලා සිටින තැන දක්වා ගමන් කිරීමට රනිල් වික්‍රමසිංහ රජයට සිදුව ඇත. විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බවට වූ කතාව මතුවන්නේ රජය එසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුපස යෑමත් සමගිනි.

සියල්ලට හේතුව රටේ ඇතිවූ ආර්ථික අර්බුදය ය. අද විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු යැයි ලෙසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පැනවෙන්නේද එම තත්ත්වය තුළය. එහෙත් මෙම වටපිටාව හිටි හැටියේ ඇතිවූවක්ද? නැත. ඉතා සැලසුම් සහගත ක්‍රියාදාමයක අවසන් අදියර ලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙන්නකි.

චීනය යනු ශ්‍රී ලංකාවේ හොඳ මිත්‍ර පාර්ශ්වික රාජ්‍යයකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලයේදී එකී මිත්‍රත්වය ඉතා ඉහළ එකක් බවට පත්ව තිබුණු බව රහසක් නොවේ. මේ තත්ත්වය සමඟ ශ්‍රී ලංකාව තුළ ඇතිවූ වෙළෙඳ, ආර්ථීක සහ රටතුළ ස්ථානගත වීම් ආදී ලෙසින් වූ චීන සබඳතාද දිනෙන් දින වැඩි වන්නට විය.

මෙය විශේෂයෙන් ඉන්දු පැසිපික් කලාපය ඇතුළු ලෝකය තුළ චීන භූ දේශපාලනික හා ආර්ථික ව්‍යාප්තියට එරෙහි වූ ඇමරිකාව, ඉන්දියාව, ජපානය සහ ඔස්ටේ්‍රලියාව ඇතුළත් කොඩ් සම්මුතියේ රටවල නොසතුටට හේතු වූ කරුණක්ව තිබිණි.

ඔවුනට අවැසිව තිබුණේ චීනය අභිබවා යමින් ඉන්දු පැසිපික් කලාපයේ භූ දේශපාලනික, ආර්ථික හා වෙළෙඳ ශක්තිය ස්ථාවර ලෙස තහවුරු කරගැනීමටය. ඇමරිකාව ඉන්දියාව ජපානය ඇතුළු රටවල් කොඩ් සම්මුතිය ඇතිකර ගනු ලැබුවේද එකී අරමුණ ඇතිවය.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ සිදුවන චීන ව්‍යාප්තිය පිළිබඳ සැලකිලිමත් වූ ඇමරිකා එක්සත් ජනපදය යහපාලන ආණ්ඩුව පැවති 2018 දී පමණ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ඇතිකර ගනිමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ දැරීය.

එහෙත් එහිදී භූමිය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු හමුවේ ඇමරිකාවට එරෙහිව විවිධ පාර්ශ්ව විසින් යහපාලන ආණ්ඩුවට එල්ල කළ බලපෑම් හේතුවෙන් එම උත්සාහය ව්‍යර්ථ විය. 2019 වසරේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලයට පැමිණීමෙන් පසු එකී ගිවිසුම යථාර්ථයක් කරගන්නේ යැයි ලෙසින් ඇමරිකාව යම් බලාපොරොත්තුවක පසු වුවද එයද වැළකී ගියේය.

ගෝඨාභය රාජපක්‍ෂ රජය යටතේ දෙවසරක් ගෙවී යමින් තිබියදී ඇතැම් ගැටලුකාරී තීන්දු තීරණ තුළින් රටේ ඇතිවූ අස්ථාවර බවත් සමඟ බැසිල් රාජපක්‍ෂ මහතා මුදල් ඇමැති ධුරයට පත් වූයේ මේ අතර කාලයේදීය. ඔහු මුදල් ඇමැති ධුරයට පත්වීමත් සමඟ චීනය අමතක කර යමින් ඉන්දියාව දෙසට නැඹුරු වීමේ ප්‍රවණතාවක් ගෝඨාභය රාජපක්‍ෂ රජය තුළ දක්නට ලැබුණු අතර ඇමරිකානු නිව් ෆෝට්‍රස් සමාගම සමඟ කෙරවළපිටිය යුගදනවි බලාගාර ගිවිසුම හොර රහසේ අත්සන් තැබීමේ කටයුත්ත සිදුවූයේ එහිදීය.

එහෙත් අවසානයේ මතුවූ විරෝධතා සමඟ එකී යුගදනවි ගිවිසුමද හකුලා ගැනීමට ගෝඨාභය රජයට සිදුවිය. ඒ සමඟ ඇමරිකාව ප්‍රධාන බටහිර රාජ්‍යයන් ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව සිදු කළ ක්‍රියාකාරකම් එක්වරම දැඩි ලෙස ඉහළ යෑමක් ද සිදුවූ අතර ඇතැමුන් සඳහන් කරනු ලැබුවේ නිව් ෆෝට්‍රස් ගිවිසුම අවලංගු කිරීමේ සිද්ධිය ශ්‍රී ලංකාවට සම්බාධක පැනවෙන තැන දක්වා දුරදිග යනු ඇතැයි යන්නය.

මේ සියල්ල සිදුවූයේ ශ්‍රී ලංකාව තුළ චීනය ස්ථානගත වෙමින් ඇතිකර ගනු ලැබූ මිත්‍ර සබඳතා ඉහළ තැනක තිබියදීය. ගෝඨාභය පාලනය දිනෙන් දින අසාර්ථක සහ අසමත් එකක් බවට පත් වෙද්දී ඉකුත් අප්‍රේල් 09 වැනිදා ගෝඨාභය ගෙදර යැවූ නිර්පාක්‍ෂික යැයි කී අරගලය මතුවන්නේ එසේ කොඩ් කඳවුරේ සියලු උත්සාහයයන් අසාර්ථක වූ තැනදීය.

එහිදී ඇමරිකානු තානාපති කාර්යාලය ඇතුළු මෙරට බොහෝ විදේශීය තානාපති කාර්යාල මගින් අරගලයේ සිටියවුන්ට නිර්ලෝභීව ආශිර්වාද කළ අයුරු කිසිවකුටත් අමතක විය නොහැකිය. එයින් කියැවුණේ චීන විරෝධය හමුවේ ශ්‍රී ලංකාවට කොඩ් කඳවුරේ ප්‍රහාරයක් එල්ල කෙරුණේ යැයි යන්න විය නොහැකිද?

මේ සමඟ විදේශ ප්‍රේෂණ, සංචාරක ව්‍යාපාරය ආදිය බිංදුවටම ඇද වැටෙමින් රටේ ආර්ථිකය ශීඝ්‍රයෙන් කඩා වැටුණු අතර රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මූල්‍ය අරමුදල දක්වා යන ගමන නිර්මාණය කෙරුණේ ඒ අන්දමටය.

අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපේ ආර්ථිකයට ශක්තියක් දීම සඳහා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බවට කොන්දේසි පනවනු ලබන්නේ මෙවන් පසුබිමක් යටතේය. ලංකා විදුලිබල මණ්ඩලය රටට බරක් වූ එකක් බවට පත්ව තිබීම එසේ කොන්දේසි පැනවීමට ප්‍රමුඛ කරුණක් වී ඇත.

විදුලිබල මණ්ඩලය එසේ රටට බරක් වී තිබෙන්නේ රටේ ජනතාව පරිභෝජනය කරනු ලබන විදුලියට සරිලන පරිදි බිල් නොගෙවන නිසාද? ඇමැති තරුණයාට අනුව නම් සිදුව තිබෙන්නේ එවැන්නකි. එහෙත් අප දන්නා තරමින් එයට හේතුවී ඇත්තේ කාලයක සිට මණ්ඩලය තුළ සිදුවෙමින් ඇති ඉහවහා ගිය වංචාව, දූෂණය සහ හොරකම්ය. මේ සියල්ල ඇරඹෙන්නේ 1995 වසරින් පසුවය.

මසකට ලක්‍ෂ දහයකට අධික වැටුපක් ගන්නා ඉංජිනේරුවන් 47 දෙනකු විදුලිබල මණ්ඩලයේ රාජකාරි කරන බව විගණකාධිපති දෙපාර්තමේන්තුව අනාවරණය කර ඇත. එකී තත්ත්වය තුළ ආසියාවේ ඉහළම විදුලි බිල ගෙවනු ශ්‍රී ලාංකිකයෝ තවත් ගණනක් වඩිපුර ගෙවීමෙන් එහි පාඩුව පියවා ගතහැකි වෙතිද?

විදුලි බල මණ්ඩලයේ සමස්ත සේවක වැටුප් සියයට 28 කින් ඉහළ නංවා තිබියදී අධිකරණ නියෝග පවා නොසලකා හරිමින් ඉංජිනේරුවෝ යළිත් සියයට එකසිය තිහකින් සිය වැටුප වැඩි කර ගනිද්දී මණ්ඩලය ලාභ ලබතිද?

ලංකාවට දිනකට අවශ්‍ය විදුලිය මෙගවොට් තුන්දහසකට ආසන්න ප්‍රමාණය ලබා දෙන්නට මෙගවොට් 2 කට එක් අයකු බැගින් ඉහළම වැටුප් ලබමින් විදුලි ඉංජිනේරුවෝ දහසකට අධික පිරිසක් විදුලිබල මණ්ඩලයේ සේවය කරයි නම් එය ලාභ ලබනු ඇතිද?

මේ වන විට ගණන් බලා ඇති ආකාරයට විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 450 ක් හෙවත් රුපියල් කෝටි හාරදහස් පන්සියයක් යැයි කියයි. මෙතරම් පාඩුවක් විදුලිබල මණ්ඩලයට සිදුවූයේ ජනතාව හරිහැටි බිල් නොගෙනවන නිසාද?

මේ මතු කෙරුණේ සුළු සුළු කරුණුය. අද විදුලිබල මණ්ඩලය තුළ රටේ විදුලිය අවශ්‍යතා සපුරාලීමේ මුවාවෙන් සිදු කෙරෙන වංචා, දූෂණ සහ අක්‍රමිකතා බොහෝය. ලාභදායීම විදුලි උත්පාදනය වන ජල විදුලිය උත්පාදනය සීමා කෙරෙන පරිදි වගකිවයුතු ඉංජිනේරුවන් වුවමනාවෙන් ජලාශ හින්දවද්දී පුද්ගලික අංශයෙන් විදුලිය ලබා ගැනීම සඳහා මණ්ඩලය වසරකට වැය කරන මුදල කොපමණ දැයි ඇමැති කංචන දන්නේද?

ජල විදුලිය අහිමි වෙද්දී පුද්ගලික ඩීසල් බලාගාරයකින් විදුලිය ලබා ගන්නට මණ්ඩලය එක් ඒකකයක් සඳහා වැය කරනු මුදල රුපියල් සියයකට ආසන්නය. එසේම හම්බන්තොට පිහිටි සුළං විදුලි බලාගාරයකින් මණ්ඩලය විදුලි ඒකකයක් මිලදී ගනු ලබන්නේ රුපියල් 129 කට ය.

හිටපු ජනාධිපතිවරයකුගේ නියෝගයකට අනුව එකී මිලදී ගැනීම සිදු කෙරෙන බව කියැවෙමින් තිබෙන්නකි. අදාළ සුළං විදුලි බලාගාරය ඉදිකරනු ලැබූ සමාගම දිරි ගැන්වීම සඳහා එසේ කර ඇතැයිද පැවසේ. එහෙත් සුළං විදුලි බලාගාරයකින් එක් ඒකකයක් උත්පාදනයට රුපියල් හයක් පමණ වැයවෙන පසුබිමක් යටතේ මණ්ඩලය එක් ඒකකයක් ගන්නේ රුපියල් 129 කට නම් එය පාඩු නොලබනු ඇතිද?

රටේ විදුලි බිල වැඩි කළ යුතු යැයි කියමින් හඬ නැඟීමට පෙර ඇමැති කංචන විජේසේකර හරිනම් කළ යුතුව ඇත්තේ එකී හම්බන්තොට බලාගාරය අයත් සමාගමේ හිමිකරුවන් කවුරුන්දැයි රටට අනාවරණය කිරීමය. එපමණක් නොව දූෂිත ඉංජිනේරුවන් එක්වී අධික මිලකට විදුලිය ලබා ගන්නා පුද්ගලික විදුලි බලාගාරවල හිමිකරුවන් කවුරුන්දැයි අනාවරණය කිරීමද වැදගත්ය.

අද දවසේ බලාගාරයක් දිරි ගන්වන්නට ඒකකය රුපියල් 129 බැගින් සුළං විදුලිය ලබා ගන්නට මණ්ඩලය කටයුතු කළද කොතැනකවත් නැත්තේ රටේ ජනතාව දිරි ගන්වන්නට හැකි අයකුය. ඇමැති කංචන විදුලි බිල අනිවාර්යයෙන් වැඩි කළයුතු බව කියන්නේ එවන් පසුබිමක් යටතේය. මහා ඛේදවාචකය ඇත්තේ එතැනය.

අපි වගකීමෙන් කියමු. ආණ්ඩුව නිවැරදි තීරණයක් ගෙන විදුලිබල මණ්ඩලයේ සියලු ඉංජිනේරුවන් ඇතුළු 26000 ක් වූ සේවකයන්ගේ ආදායම විගණනයකට ලක් කළහොත් මේ රට තුළ විදුලි බලාගාර දහයක් හදන්නට තරම් මුදල් කන්දරාවක් තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවනු ඇත. සිදුවන දූෂණය සහ වංචාව ඒ තරමටම ප්‍රබලය.

ඇමැති කංචන විජේසේකරට වුවමනාවක් තිබේ නම් එකී කාර්ය කරවා ගන්නට මේ රටේ විගණන නිලධාරීහු 4000 ක් පමණ සිටිති. එසේම විගණන කාර්යයන්ට අදාළ විභාග සමත් වූවන් හතළිස්දහසක් පමණ රටේ ඇත. තවත් අවශ්‍ය නම් වාණිජ විෂයධාරා උපාධිධාරීහුද හාරලක්‍ෂයක් පමණ සිටිති.

මේ වන විට විදුලිබල මණ්ඩලය තුළ කුලී පදනම මත ධාවනය කරනු ලබන වාහන කීයක් තිබේදැයි ගණන් බලන්නට හැකිනම් ඉදි කිරීමට හැකි බලාගාර ගණන තවත් වැඩිවනු නියතය. මන්ද එකී වාහන ධාවනයෙන් ඉවත් කළ යුතු මට්ටම දක්වා වූ කිලෝමීටර් ලක්‍ෂ
ගණනක් මේ වන විට විදුලිබල මණ්ඩලය වෙනුවෙන් ධාවනයේ යෙදී ඇත.

එහෙත් පොත්වල ඒ අන්දමින් සටහන් තබා ගෙවීම් සිදු කර තිබුණද ධාවනය කෙරුණේ කුමකටද කොතැනකටද යන්න අභිරහසක් බවට පත්ව තිබෙන්නකි. තතු දන්නා දූෂණ විරෝධී නිලධාරීන් නම් කියන්නේ විදුලි අධිකාරීවරුන්ගේ සිට ඉංජිනේරුවන් සහ අනෙකුත් ඉහළ නිලධාරීන්ට අයත් එකී වාහනයක් කිලෝමීටර් 100 ක් ධාවනය කෙරුණහොත් ගෙවීම් කිරීමේදී කිලෝ මීටර් 100 ය 500 වන බවය.

අද දවසේ රට තුළ ඇති කිසියම් විදුලි රැහැනක සිදුවන ආපදාවක් හේතුවෙන් සිදුවන විදුලිය බිඳ වැටීමකදී විදුලිබල මණ්ඩලයඅනුගමනය කරනුයේ කුමන ක්‍රමවේදයක්ද? මුලින්ම කරනුයේ කණ්ඩායමක් ගොස් එය යාන්තම් අමුණා සැපයුම යථා තත්ත්වයට පත් කිරීමය.

දෙවනුව සිදු වන්නේ එළැඹෙන ඉරිදා දිනය යොදාගෙන එය සම්පූර්ණයෙන්ම යළි සකස් කිරීමය. දිනය ඉරිදාවකි. එදිනට ගෙවනු ලබන්නේ ඩබල් ඕටී ය. ඒ අනුව එක් රැහැනක අලුත්වැඩියාවක් වෙනුවෙන් සේවයට පැමිණෙන පිරිස 35 කට පමණ ආසන්නය.

කාර්යාල කටයුතුවල සිට සියලු දෙනා විදුලි රැහැන අලුත්වැඩියා කිරීම සඳහා රාජකාරියට පැමිණෙති. අද දවසේ ඒ අන්දමට වැටුපට වඩා අධික මුදලක් අතිකාල දීමනාවන් ලෙස ගන්නා නිලධාරීන් සහ සේවකයෝ දසදහස් ගණනක් විදුලිබල මණ්ඩලයේ සිටිති.

සේවකයන් විසිහය දහසක් පමණ මණ්ඩලයේ සේවය කරද්දී විදුලිබල මණ්ඩලයේ විවිධ කටයුතු කොන්ත්‍රත් ලබාදීමෙන් සිදු කරනු ලබන අවස්ථාද රාශියකි. එකී කොන්ත්‍රාත් ලබාදීමද දැවැන්ත ගසා කෑමක් ලෙසින් සිදුවන්නක් බව මණ්ඩලයේ දූෂණ විරෝධී සේවකයෝ පවසති. විදුලි ව්‍යාපෘති බොහොමයක් කරනුයේ ටෙන්ඩර් දැමීම් තුළින් ඒවා ලබා ගන්නා විදේශීය සමාගම්ය.

අද විදුලිබල මණ්ඩලය මගින් රුපියල් පනස් දහසකට විකුණනු ලබන ලයිට් කනුවක සැබී මිල කීයක් වී තිබේද? එය සාමාන්‍ය වෙළෙඳ පොළේ රුපියල් විසිදහසකට පමණ මිලදී ගත හැකිය. එහෙත් ලයිට් කණු විකුණන්නේ විදුලි බල මණ්ඩලයම නිසා එවැනි පහසුවක් ලැබීමේ අවස්ථාවද ජනතාවට අහිමිය.

මේ අන්දමට විදුලිබල මණ්ඩලය තුළ සිදුවන වංචා, දූෂණ සහ අයථා ක්‍රියා සියල්ලට වැට බඳින්නට පියවර ගතහොත් කිසිසේත්ම විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට සිදුවන්නේ නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එවැනි කොන්දේසියක් පැනවීමට ඉඩක් ද නොලැබෙනු ඇත. එසේම විදුලි බිල වැඩිකිරීමටද අවශ්‍ය වන්නේ නැත. විදුලිබල මණ්ඩලය පාඩු ලබන්නේද නැත.

ඉතිං කංචන ඔයාට තේරෙනවද? බිල වැඩි කරන්න ඉස්සරවෙලා තව කරන්න දේවල් කොච්චර තියෙනවද නේද? ඒව නොකර බිල වැඩි කළොත්, ඒක කළේ මණ්ඩලේට වැඩේ දෙන්නම ඕන හින්දා කියල ජනතාවට නොතේරී තියෙයිද?

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment