චීන කොරෝනා රැල්ලෙන් ඉන්දියාවත් රත්වෙයි

183

ස්වයං පාලනයක් ඇති කර ගන්න
ශ්‍රී ලංකාව ජනතාවට කියයි

චීනයේ පැතිර යන දැවැන්ත කොරෝනා රැල්ල හේතුවෙන් අසල්වැසි ඉන්දියාව නැවත කොරෝනා මර්දන නීති ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතත් තවමත් මෙරටට එවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිල මට්ටමින් පියවර ගෙන නොමැති බව වසංගත රෝග අංශ පවසයි.

කෙසේ වුවද චීනයේ හටගෙන ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙරට මහජනතාවද සිය දෛනික කාර්යයන් ඉටු කර ගැනීමේදී කොරෝනා මර්දන නීති රීතිවලට අනුව කටයුතු කිරීම සඳහා ස්වයං පාලනයක් ඇති කරගැනීම වැදගත් බව එම අංශ පෙන්වා දෙයි. මෙම උත්සව සමයේ බොහෝ පිරිස් සිටින ස්ථානවලට යෑමේදී තම ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් විය යුතු බවද එම අංශ සඳහන් කරයි.

මේ වන විට ඉන්දියාවේ දෛනිකව සිදු කෙරෙන කොරෝනා පරීක්ෂණ වැඩි කර ඇති අතර ගුවන් තොටුපළවලින් එරටට පැමිණෙන විදේශිකයන් මෙන්ම ඉන්දීය ජාතිකයන් අතරින් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගන්නා සංඛ්‍යාවේ සුළු වැඩිවීමක් පෙන්නුම් කරන බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මේ අතර චීනයේ අලුතින් පැතිර යන දැවැන්ත කොරෝනා රැල්ල මෙම මස අවසන් වීමට පෙර මුළු මහත් චීනයම ආක්‍රමණය කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මේ වන විට කොරෝනා පැතිරීම සීමා කිරීමට පනවා තිබු අගුලු දැමීම් ඇතුළු කොරෝනා මර්දන සීමාවන් රැසක් ඉවත් කිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබීම හේතුවෙන් මෙසේ පාලනයක් නොමැතිව වසංගතය පැතිර යෑමට පටන් ගෙන ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය හමුවේ චීන ආර්ථිකය තවදුරටත් කඩා වැටෙමින් තිබෙන අතර චීන ජාතිකයන් වැඩි දෙනකු එළිමහනට නොගොස් නිවෙස්වලම රැඳී සිටිමින් කොරෝනා ආසාදනයට ගොදුරු වීමෙන් වැළකී සිටීමට උත්සාහ ගන්නා බව ද පැවසේ.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment