චීන ජාතිකයන් මරාගෙන මැරුණු පාකිස්තාන විද්‍යා ගුරුවරිය

936

අඟහරුවාදා පස්වරු 2.20 ට පමණ කරච්චි විශ්වවිද්‍යාලය අසලට පැමිණි 30 හැවිරිදි කතක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කළාය. මේ ප්‍රහාරයේ ඉලක්කය කරච්චි විශ්වවිද්‍යාලයට අනුබද්ධ කොන්ෆියුසස් අධ්‍යයන අංශයේ සේවය කරන චීන ජාතිකයන්ය. මේ ප්‍රහාරයෙන් චීන ජාතිකයන් ගමන්ගත් වාහනය විනාශ වූ අතර චීන ජාතිකයන් තිදෙනෙක් හා වාහනය පැදවූ පාකිස්තාන රියැදුරා මරණයට පත්විය. ඇෆ්ගනිස්ථානයේ සිට ක්‍රියාත්මක වන බැලොච් විමුක්ති හමුදාව මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ. මරාගෙන මැරුණු බෝම්බකාරිය විද්‍යා ගුරුවරියක් වන අතර ඇය සත්ව විද්‍යාව පිළිබඳ උපාධියක් තිබේ. දෙදරු මවක් වන ඇය විවාහ වී සිටියේ වෛද්‍යවරයකු සමගය. පුරා වසර දෙකක් තිස්සේ බැලොච් විමුක්ති හමුදාවට අයත් මජීඩ් බළකායේ සාමාජිකාවක ලෙස කටයුතු කළ ඇය නමින් ශාරී බැලොච් වේ. ශාරී ගුරුවරිය බැලොච් විමුක්ති හමුදාවේ මෙහෙයුම් වෙනුවෙන් මරාගෙන මැරුණු පළමු කාන්තාවයි. මේ කණ්ඩායම පාකිස්තානය තුළ සිදුවන චීන සංවර්ධන ව්‍යාපෘතිවලට මෙන්ම පාකිස්තාන හමුදාවටද එරෙහිව ප්‍රහාර එල්ල කරයි. ඔවුනට අවශ්‍ය වෙනම රටකි. එය ලංකාවේ කොටි ක්‍රියාකාරකම් හා සමානය. විශේෂයෙන්ම පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ සිදු කෙරෙන චීන ව්‍යාපෘතිවලට මේ සංවිධානය දැඩි විරෝධයක් පල කරයි. බලුකිස්තාන ප්‍රාන්තයේ බහුතරය ෂියා මුස්ලිම් ආගම අදහන බැලොච් ජාතිකයන් වන අතර ඔවුන්ගෙන් මේ විමුක්ති බළකාය නිර්මාණය වී තිබේ. පාකිස්තාන රජය මොවුන් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇති අතර මොවුනට ඉන්දියාවේ සහය ලැබෙන බවට චෝදනා කරයි. පාකිස්තානයේ සිදු කරන චීන සංවර්ධන කටයුතු ගැන දිල්ලි ආණ්ඩුව කිසිසේත් සතුටු නොවන අතර එනිසා චීන ජාතිකයන්ට එල්ලවන ප්‍රහාර ඉන්දියාව කුල්මත් කරයි. මේ ප්‍රහාරය ගැනත් මරාගෙන මැරුණු බෝම්බකාරිය පිළිබඳවත් ඉන්දීය මාධ්‍ය ප්‍රමුඛව වාර්තා කර තිබුණු අයුරු දකින්නට ලැබිණි.

මේ පිළිබඳව පාකිස්තානයේ ඩොන් පුවත්පත බදාදා දිනයේ සිය කතුවැකිය මගින් සටහන් කර තිබිණි. රට තුළ නව ත්‍රස්තවාදී රැල්ලක් මුදා හැර තිබේ. ඇෆ්ගනිස්ථානය පදනම් කරගත් ආගමික ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් පාකිස්තාන දේශසීමා ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරන අතර බැලොච් සටන්කාමීත්වය ද වැඩිවෙමින් පවතින බව පැහැදිලි වේ. කරච්චි විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනය අසල චීන විද්වතුන් රැගත් වෑන් රථයක් ඉලක්ක කරගත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ප්‍රමුඛය. බලුච් සටන්කාමීන් කරච්චි නගරයේ චීන මධ්‍යස්ථානවලට පහර දුන් පළමු අවස්ථාව නොවේ. 2018 දී, කරච්චි පොලිසිය විසින් චීන කොන්සල් කාර්යාලයට බලුකිස්තාන් විමුක්ති හමුදාවේ කැරලිකරුවන් විසින් කරන ලද ප්‍රහාරයක් ව්‍යර්ථ කරන ලදී. එසේම තවත් ප්‍රහාරයක් 2020 පකිස්තාන කොටස් වෙළෙඳපොළට එල්ල කිරීමට සූදානම් වුවත් එයත් ව්‍යර්ථ කිරීමට හැකිවිය. ත්‍රස්තවාදීන්ගේ දෘෂ්ටි කෝණයෙන් බලන කල කරච්චි ප්‍රහාරයෙන් අවම වශයෙන් චීන ජාතිකයන් තිදෙනෙකු මරා දැමූ බැවින්, පෙර ප්‍රහාර දෙකට වඩා බෙහෙවින් ඵලදායී ප්‍රහාරයක් විය. (උපුටනය අවසන්)

මේ ප්‍රහාරය පිළිබඳව බැලොච් විමුක්ති හමුදාවේ ප්‍රකාශක ජෙයන්ඩ් බැලොච් මෙලෙස පවසා තිබිණි. “චීන ආර්ථික, සංස්කෘතික සහ දේශපාලන ව්‍යාප්තවාදයේ සංකේතය වන කොන්ෆියුසියස් ආයතනයේ අධ්‍යක්ෂ සහ නිලධාරීන් ඉලක්ක කර අපි ප්‍රහාර එල්ල කළේ චීනයට පැහැදිලි පණිවිඩයක් ලබා දීමටයි, බලුකිස්තානයේ සම්පත් කොල්ලකෑමෙන් වළකින ලෙසත්, බැලොච් ජනයා සංහාරය කිරීමට පකිස්ථානයට හමුදාමය සහ මූල්‍යමය වශයෙන් ආධාර කිරීමෙන් වළකින ලෙසත් අපි චීනයට චීනයට කිහිප වතාවක්ම අනතුරු ඇඟවූ නමුත් චීනය බලුකිස්තානයේ සිය ව්‍යාප්තිවාදී සැලසුම් සඳහා අඛණ්ඩව සම්බන්ධ වෙමින් සිටිනවා. ඒ නිසා මේ ප්‍රහාරය එල්ල කළා”

කෙසේ නමුත් මේ ප්‍රහාරය නිසා පාකිස්තාන රජය මෙන්ම චීන රජයද කම්පනය වී ඇති බව සටහන් කළ යුතුය. ප්‍රහාරය ගැන ආරංචි වූ වහාම පාකිස්තාන අගමැති ශේබාෂ් ෂරිෆ් මහතා වහාම ඉස්ලාමාබාද් නුවර චීන තානාපති කාර්යාලයට ගොස් සිය බලවත් කනගාටුව ප්‍රකාශ කළේය. එසේම එරට වෙසෙන චීන ජාතිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස අදාළ අංශ දැනුවත් කර ඇත. මෙම ප්‍රහාරය පිටුපස ඉන්දීය ඔත්තු සේවා ක්‍රියාත්මක වන්නේද යන්න දෙරටම ඉතා විමසිල්ලෙන් සිටී. මේ ප්‍රහාරය සම්බන්ධව චීන රජය සිදු කළ නිවේදනයේ සඳහන් වූයේ “චීන ජනතාවගේ රුධිරය නිෂ්ඵල ලෙස වැගිරවිය යුතු නැත, මෙම සිද්ධිය පිටුපස සිටින කණ්ඩායම් ඉදිරියේදී වන්දි ගෙවනු ඇත,” යනුවෙනි. බලුකිස්තානයේ ක්‍රියාත්මක වන්නේ අනෙකාට සැඟවුණු යුද්ධයකි. (PROXY WAR) එය අසල්වැසි ඇෆ්ගන් දේශයේත් ක්‍රියාත්මකය. නමුත් බැලොච් විමුක්ති හමුදාව වේගයෙන් හිස එසවීම ඉස්ලාමාබාද් ආණ්ඩුව අපහසුවට පත්කරයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment