චීන ණය උගුල ගැන ජාත්‍යන්තර මාධ්‍ය කියන කතාව

565

පාර්ලිමේන්තුවේ අතිබහුතරයක් හිමිවූ පමණින්ම රටක් ස්ථාවර වන්නේ නැත. විරුද්ධ පක්ෂයෙන් මහජන නියෝජිතයින් බිලිබා ගෙන තුනෙන් දෙකේ බලය පෙන්වීම ද ස්ථාවරත්වයට හේතුවන්නේ නැත. ඊට පරිබාහිරව නොයෙකුත් සාධක තිබෙන බව රට කරවන්නන් පිළිගත යුතුය. ශ‍්‍රී ලංකාවේ චීන භූමිකාව එවැනි කාරණාවකි. වරක ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ මියන්මාරයේ, නයිජීරියාවේ සහ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත ස්ථාපිත කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 585 වැය කළ බවයි. ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම ප‍්‍රකාශය අදාළ වූයේ 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරදා මෛත‍්‍රිපාල සිරිසේන ජයග‍්‍රහණය කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත ස්ථාපිත කිරීම ලෙස ඇමෙරිකාව පෙන්වා දුන් බැවිනි. එම සුවිශාල මුදලින් ඇමෙරිකාව ශ‍්‍රී ලංකාවේ කළ ආයෝජනය කොපමණද? එම මුදල මොළ සේදීමට බටහිර බලවේග මෙහි ආයෝජනය කර ඇති සමස්ත ආයෝජනයෙන් කොටසක් පමණි. දේශපාලන පක්ෂ, ප‍්‍රධාන මාධ්‍ය, සමාජ මාධ්‍ය ජාලා, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සංවිධාන සහ නොයෙකුත් ආගමික නියෝජිතයින් සහ පුරවැසියන් කටයුතු කරන ආකාරය විමසා බැලීම කාලීන අවශ්‍යතාවයකි.

ශ‍්‍රී ලංකාව චීන ණය උගුලක සිරවී ඇති බව නැවතත් යම් ජාත්‍යන්තර මාධ්‍ය අවධාරණය කර ඇත. ඉන්දියාවේ ‘වියෝන්’ මාධ්‍ය ජාලය පවසන්නේ චීන ණය උගුල ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය හදිසි තත්ත්වයකට පත්කර ඇති බවයි. සතොස ඇතුළු නොයෙකුත් වෙළෙඳසල් අසල සහ ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝලිම් පෙන්වමින් ශ‍්‍රී ලංකාවේ උග‍්‍ර අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවී තිබෙන බව එම මාධ්‍ය අවධාරණය කළේය. ශ‍්‍රී ලංකාව චීනයෙන් නොනවත්වා ණය ගැනීම මෙම අවාසනාවන්ත තත්ත්වයට හේතුව බව නැවත නැවතත් සඳහන් කළේය. ශ‍්‍රී ලංකාව චීනයට ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක් ණය බවත්, ඊට අමතරව මෑතකදී ඇමෙරිකානු ඩොලර් මිලියන 308 ද චීනයෙන් ණයට ගත් බවය.

ප‍්‍රබල අල් ජසීරා මාධ්‍ය ජාලයද ශ‍්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය අනතුරේ බව අවධාරණය කළේය. රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල්, ජාතික සමගි ජන බලවේගයේ ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ‘වෙරිටේ රිසච්’ ප‍්‍රධානි නිශාන් දී මැල් සහභාගී වූ වැඩසටහනේදී එම මාධ්‍ය ජාලයේ අරමුණ වූයේ සමස්ත ආර්ථිකයම මස්තබාල්දු වී ඇති බව පෙන්වීමය. චීනයට කෙලින්ම චෝදනා නොකළත්, එම මාධ්‍ය ජාලා දෙකම අවධාරණය කළේ ශ‍්‍රී ලංකාවට හිමි ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 ක් වූ විදේශීය සංචිත ජාත්‍යන්තර ණය සහ පොලිය පියවීමටත් ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනිමටත් ප‍්‍රමාණවත් නොවන බවයි.

වෙළඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වූයේ ශ‍්‍රී ලංකාව චීන ණය උගුලක සිරවූ නිසාද? ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වාදෙන ආකාරයට අප ආර්ථිකයට හුස්ම ගැනීමට නොහැකි වී ඇත. මෙම තත්ත්වයට වග කිව යුත්තේ කවුරුද? චීනය ශ‍්‍රී ලංකාවට ණය ගැනීමට බල කළාද? කොවිඞ් ව්‍යසනය සහ 2019 පාස්කු ප‍්‍රහාරය (සංචාරක කර්මාන්තය බලපෑම) ආර්ථිකයට කළ හානිය තක්සේරු කළ හැකිද?

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කළේ කොවිඞ් තත්ත්වය හේතුවෙන් රජයට රුපියල් බිලියන 1,500-1,600 අතර ප‍්‍රමාණයක් අහිමි වූ බවයි. රජය බරපතළ අභියෝගයකට මුහුණ දෙන බව අමාත්‍යවරයා පිළිගත්තේය. විපක්ෂයේ සහය ද පැතුවේය. ආර්ථික උපදේශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විපක්ෂය රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව පැවසීය. දෙපාර්ශ්වය වර්තමාන අභියෝග හමුවේ දේශපාලන පසෙකලා කටයුතු කළ යුතුමය. මෙම තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ එකඟතාවයක් ඇතිකර ගත යුතුමය. ශ‍්‍රී ලංකාවට එරෙහිව යම් ජාත්‍යන්තර මාධ්‍ය විනාශකාරී මෙහෙයුමක යෙදෙන බව අමුතුවෙන් කිව යුතු නැත. ද්‍රවිඩ ත‍්‍රස්තවාදයට යම් ප‍්‍රබල ජාත්‍යන්තර මාධ්‍ය පූර්ණ සහයෝගය පළ කළ ආකාරය ජනතාවට අමතක විය නොහැක. කොවිඞ් ව්‍යසනයෙන් බැටකන ශ‍්‍රී ලංකාව අස්ථාවර කිරීමේ මෙහෙයුමක් ක‍්‍රියාත්මක බව පැහැදිලිය. ඇමෙරිකාව නායකත්වය දෙන යුද-දේශපාලන-ආර්ථික හවුල නැගී එන ලෝක සුපිරි බලවතා වන චීනය සමග ගැටුම ශ‍්‍රී ලංකාව තුළ ද ක‍්‍රියාත්මක කරන බව අවධාරණය කළ යුතුය. මෙම අශුද්ධ හවුල දේශපාලන අරමුණකින් ශ‍්‍රී ලංකාවට පහර දෙන බව තේරුම් ගැනීම අපහසු නැත.

මාධ්‍ය මෙහෙයුම් දේශපාලන-ආර්ථික-යුදමය ක‍්‍රියාන්විතයක දිගුවක් බව අවධාරණය කළ යුතුමය. මෙවැනි තත්ත්වයකට බොහෝ රටවල් මුහුණ දී ඇත. බටහිර මාධ්‍ය පුන පුනා වාර්තා කළ කිසිදා ඉරාකයෙන් සොයා නොගත් සමූල ඝාතන අවි සදාම් හුසේන්ගේ රටට හිමි බවට ගෙතූ ප‍්‍රලාපය මත 2003 දී සශ‍්‍රීක වූ එම දේශය ආක‍්‍රමණය කළ ආකාරය ලෝකයට අමතක නැත. අදටත් එවැනි අවි ආයුධ සොයා ගත්තේ නැත. එවකට ශ‍්‍රී ලංකාවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇමෙරිකානු ආක‍්‍රමණය වෙනුවෙන් පෙනී සිටි බව මතකය.

කොවිඞ් ව්‍යසනය මධ්‍යයේ මහජන කැළඹීමක් ඇති කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට උත්සාහයක් ගන්නා බව තේරුම් ගැනීම අපහසු නැත. වර්ධනය වෙමින් පවතින ණය අර්බුදය චීනය පිට පැටවූ ‘වියෝන්’ වීඩියෝව සමාජ මාධ්‍ය ජාලා තුළ ඉහළ ප‍්‍රතිචාරයක් ලැබීය. දේශපාලන බංකොලොත්භාවයට පත්වී ඇති උදවිය ආර්ථිකය කඩා වැටෙන තුරු බලා සිටිති. ද්‍රවිඩ ත‍්‍රස්තවාදය කිසිදා පරාජය කළ නොහැකි බව ද එදා කීවේ මෙම කණ්ඩායම බව මතක තබා ගත යුතුය.

බටහිර බලවේග සමඟ ක‍්‍රියාත්මක විදේශීය මාධ්‍ය සහ ශ‍්‍රී ලංකාවේ අතකොළු චීන-ශ‍්‍රී ලංකා සම්බන්ධතා ඉලක්ක කර පහර දෙන බව පැහැදිලිය. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟකම සම්බන්ධයෙන් කිඹුල් කඳුළු වගුරුවන මෙම කණ්ඩායමට ශ‍්‍රී ලංකාව පුරා මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගන්නා කාලයේදීවත් මෙවැනි ආකාරයට හිත උණු වූයේ නැත.

චීන ණය උගුල ගැන ජාත්‍යන්තර මාධ්‍ය කියන කතාව

කොවිඞ් ව්‍යසනය හේතුවෙන් ශ‍්‍රී ලංකාව මුහුණ දෙන අර්බුදය සහ චීනය පටලවාගෙන ඇත. ශ‍්‍රී ලංකාව තුළ චීනයට එරෙහිව විරෝධයක් ගොඩනැගීම දේශපාලන ව්‍යාපෘතියකි. කලක පටන් චීනයට එරෙහිව මාධ්‍ය මෙහෙයුමක් සිදු වූ බව සත්‍යයකි. මෙම ක‍්‍රියාන්විතය ප‍්‍රහාරයක් බවට පත්වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ 2010 ජනාධිපතිවරණය වැඩි ඡන්ද ලක්ෂ 18 කින් ජයග‍්‍රහණය කිරීමෙන් පසුවය. එජාපය-ද්‍රවිඩ ජාතික සන්ධානය -ජවිපෙ ඇතුළු හවුලක් 2015 ජනාධිපතිවරණයට මෛත‍්‍රිපාල සිරිසේන ඉදිරිපත් කළ අවස්ථාවේ එම කණ්ඩායමේ ප‍්‍රධානම ඡන්ද පොරොන්දුවක් වූයේ චීන ව්‍යාපෘති ආපසු හැරවීමයි.

කොළඹ වරාය ව්‍යාපෘතිය ද නවතා දැමිණි. ශ‍්‍රී ලංකා චීන සම්බන්ධතා උඩු යටිකුරු විය. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ද ප‍්‍රශ්නකාරී තත්ත්වයකට පත්විය. නමුත් එම ව්‍යාපෘති දෙකම ඉදිරියට ගෙන යෑමට චීනය සමත් විය. එම ගිවිසුම් දෙකම අවසානයේ චීනයට වාසිදායක ලෙස තීරණය වූ බව මෙම ලියුම්කරුගේ පිළිගැනීමයි. හම්බන්තොට වරාය 2017 දී වසර 99-බද්දට චීනයට දුන් ගිවිසුම පාවාදීමකි. එදා වරාය භාරව සිටි අර්ජුන රණතුංග අමාත්‍යවරයා තම ඇමැතිකම අතහැරියේ ඔහුට පිටකොන්දක් තිබූ නිසාය. නමුත් එජාපය සහ ශ‍්‍රීලනිපය එකතු වී හම්බන්තොට චීනයට පවරා දුන්නේය. වසර පහකට පත්වන ජනාධිපතිවරයකුට සහ ආණ්ඩුවකට වසර 99 ක ගිවිසුමකට ඇතුළු විය හැකිද?

චීනය ද ලෝක බලවතෙකි. ලෝක බලවත්තු මෙන්ම කලාපීය ප‍්‍රබලයින් කුඩා ආර්ථිකයන් ඇති රටවල් සම්බන්ධයෙන් අනුගමනය කරන ක‍්‍රියාකලාපය තේරුම් ගැනීම අපහසු නැත. චීන, ඇමෙරිකානු හෝ ඉන්දියානු නායකත්වය ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ක‍්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් සහ අප පත්වී ඇති අස්ථාවරත්වය විදේශීය බලවතුන් පිට පමණක් පැටවිය හැකිද? එසේත් නැතහොත් දූෂිත ශ‍්‍රී ලංකා දේශපාලන ක‍්‍රමවේදය මෙම තත්ත්වයට කොපමණ වගකිව යුතුද?

අමෙරිකාව මෙන්ම චීනයද ශ‍්‍රී ලංකා දේශපාලන භූමිය හැසිරවීමට මූල්‍ය මැදිහත් වීම් කරන බවට චෝදනා ඇත. ඊට අමතරව නොයෙකුත් විදේශීය බලවේග ප‍්‍රබල මැදිහත් වීම් කරන බව රහසක් නොවේ. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ රට පාලනය කළ සමයේ (2002-2004) නොර්වේ රාජ්‍ය නොවන සිවිල් සංවිධාන ජාලයට කළ මුදල් සැපයීම අදහාගත නොහැක.

යහපාලන රජයේ මුදල් ඇමැති සහ එජාප ප‍්‍රබලයකු වූ රවී කරුණානායක එවකට කොළඹ සිටි චීන තානාපතිවරයා අතර ණය සම්බන්ධයෙන් ගැටුමක් ඇති විය. එවැනි තත්ත්වයක් කිසිදා චීන-ශ‍්‍රී ලංකා තානාපති අංශ අතර සිදුවී නැත. චීන තානාපතිවරයා කරුණානායක ඇමැතිවරයාට මාධ්‍ය හරහා පහර දුන්නේය. චීන ණය අසාධාරණ නම් කරුණානායක ඇමැතිවරයා තවත් එම අසාධාරණ යැයි පවසන පොලියට ණය ඉල්ලන්නේ කුමන හේතුවකටදැයි තානාපතිවරයා ප‍්‍රශ්න කළේය.

ශ‍්‍රී ලංකාවට එරෙහි මාධ්‍ය යාන්ත‍්‍රණය අතිශයින් බලවත්ය. රජයේ මාධ්‍ය මෙහෙයුම් සාපේක්ෂව දුර්වලය. ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් මස ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළ වහාම එම මාධ්‍ය යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක විය. රහස් පොලිසියේ පරීක්ෂක නිශාන්ත සිල්වා ස්විස්ටර්ලන්තයේ තම පවුලත් සමඟ දේශපාලන රැකවරණ පැතූ වහාම කොළඹ පිහිටි එම තානාපති කාර්යාලය එහි සේවිකාවක වූ ගානියර් ෆ‍්‍රැන්සිස් බැනිස්ටර් යොදා දුෂ්ට නාටකයක් රඟ දැක්විය. තානාපති කාර්යාලයේ සේවිකාව පැහැරගෙන, ලිංගික අතවර කළ බවටත් රජයට චෝදනා එල්ල විය.

නිශාන්ත සිල්වාට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබා දීමට සම්බන්ධ වූ නිසා ඇයට මෙම ඉරණම අත්වූ බව ප‍්‍රකාශ විය. සේවිකාව තානාපති කාර්යාලයේ පූර්ණ ආරක්ෂාව යටතේ සිටියේය. එවකට කොළඹ සිටි ස්විස්ටර්ලන්ත තානාපති හැන්ස් පීටර් මොක් දූෂණයට ලක්වූ බවට සහතික කළ සේවිකාව ගුවන් මගින් ශ‍්‍රී ලංකාවෙන් පිට කිරීමට කළ උත්සාහය ව්‍යර්ථ වූයේ ජනාධිපතිවරයා මැදිහත් වූ නිසාය. ස්විස්ටර්ලන්තය ගෙතූ කතාව ශ‍්‍රී ලංකාවේ මාධ්‍යයේ අවධානය ලක්වීමට පෙර ජාත්‍යන්තරයට
ගියේය. නිව්යෝක් ටයිම්ස් පවා ස්විස්ටර්ලන්ත මෙහෙයුමේ කොටස්කරුවකු කර ගැනීමට තරම් ජනාධිපතිවරයා ඉලක්ක කර ක‍්‍රියාත්මක වූ මාධ්‍ය මෙහෙයුම බලවත් විය. ස්විස් නැටුම සම්බන්ධයෙන් විමසා බැලිය යුත්තේ එජාප ජනාධිපතිවරණ සටන මෙහෙයවපු කණ්ඩායම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැහැර ගත් මිනිසුන් ඝාතනය කර මොණරාගල වැවකට විසිකර දැමූ බවට ඡන්දයට සතියකට පෙර රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවකදී කළ ‘හෙළිදරව්ව’ ද සැලකිල්ලට ගනිමිනි.

චීනය සහ බටහිර බලවේග අතර ගැටුම වර්ධනය වෙමින් පවතී. ඉන්දියාව එම කණ්ඩායමේ ප‍්‍රබල සාමාජිකයෙකි. ජපානය ද කොටස්කරුවෙකි.

ශ‍්‍රී ලංකාව මෙම ගැටුමට මැදිවී ඇත. මාධ්‍ය මෙහෙයුම් ද ක‍්‍රියාත්මකය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහජන ආරක්ෂක පනතේ 5 වන වගන්තිය අනුව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා දැනට සේවයේ නියුතු මේජර් ජනරාල්වරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් ජාත්‍යන්තර මාධ්‍ය හරහා කළ විරෝධතාවය ජාත්‍යන්තර මෙහෙයුමේම කොටසකි.

ශ‍්‍රී ලංකාවේ හදිසි නීතිය/මහජන ආරක්ෂක පනත ක‍්‍රියාත්මක කිරීම බටහිරට කවදත් ප‍්‍රශ්නයකි. පොහොට්ටු ආණ්ඩුවේ වරද සහ නොසැලකිල්ල නිසා ඇතිවූ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟකම චීනය පිට පැටවීම, ජනාධිපතිවරයාට තිබෙන බලතල පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කිරීම සමස්ත දේශපාලන ව්‍යාපෘතියේම කොටසකි. විශේෂයෙන්ම අසුචි වළක් ලෙස වරක් ඇමෙරිකාව හැඳින්වූ ජිනීවා මානව හිමිකම් කොමිසම රැස්වන සැප්තැම්බරයේදී මෙවැනි ප‍්‍රහාර දෙවන රාජපක්ෂ රජය බලාපොරොත්තු විය යුතුය.

කොරෝනා ව්‍යසනය ආරම්භ වූ ආකාරය සම්බන්ධයෙන් චීනය සහ අමෙරිකාව අතර ගැටුම ද අතිශය ආන්දෝලනාත්මකය. පසුගියදා ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍යංශය අවධාරණය කළේ අදාළ ජාත්‍යන්තර පරීක්ෂණ දේශපාලනයෙන් තොරව විද්‍යාත්මක පදනමක් මත සිදුවිය යුතු බවයි. මෙම ශ‍්‍රී ලංකා ප‍්‍රකාශය චීනය මෙම තත්ත්වය සම්බන්ධයෙන් ගත් ස්ථාවරයට ගැලපෙන බවට ඇමෙරිකාව චෝදනා කළ හැකිය. කෙසේ වෙතත් පැති කිහිපයකින් වර්ධනය වෙමින් පවතින චීන-ඇමෙරිකා බල පොරය ශ‍්‍රී ලංකාවට බරපතළ ලෙස බලපානු ඇත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment