චීන නෞකාව අද ශ්‍රී ලංකාවට  පැමිණෙයිද?

301

චීන නැවේ අරමුණ අග්නි මිසයිල අත්හදා බැලීම් නිරීක්‍ෂණය ද?

යුවැන්ග් වැන්ග් -5 නමැති අධි තාක්ෂණික නැව හම්බන්තොට වරායට ඒමට පෙර ඉන්දියාව දැඩි කලබලයට පත් වූයේ ඇයි? ඊට මුල් වූ හේතු දැන් හෙළි වී තිබේ.

පසුගිය කාලය තුළ ඉන්දියාව බෙංගාල බොක්කේ පිහිටි විලර් දූපතේ මිසයිල අංගණයේ සිට අග්නි, ඇස්ට්‍රා බ්‍රහමොස් ප්‍රහාර් ප්‍රින්ට්, දරුසා යන මිසයිල සාර්ථකව අත්හදා බැලීය. ඉන්දියාවේ ඔචිස්සා ප්‍රාන්තයට අයත් විලර් දූපත ඉන්දීය රජය වසර 99 කට මහ ඇමැතිව සිටි බිර්ජු පැට්නික්කෙන් ලබාගෙන තිබිණි.

අක්කර 990 කින් යුත් විලර් දූපතේ මිසයිල අංගණ දෙකක සිට ඉන්දියාව සාර්ථකව මිසයිල ගුවන්ගත කිරීම නිසා චීනය බියට පත් විය. යම් දිනෙක ඉන්දීය මිසයිල ප්‍රහාරයක් විලර් දූපතේ සිට චීනයට එල්ල වීම ඉඩ ඇති බව චීනයට අවබෝධ විය.

වසර ගණනකට පෙර ඉන්දීය විද්‍යාඥයකු වූ අබ්දුල් කලාම් යවනු ලැබූ විද්‍යඥයන් දෙදෙනක් මෙම විලර් දූපත ඇතුළත් ප්‍රදේශය සොයාගෙන තිබිණි.

ඉන්දීය ලුතිනන්වරයකු වූ හියු විලර් අනුස්මරණය කිරීමට මෙම දූපතට විලර් දූපත යැයි නම් කර තිබූ අතර ඉන්දීය රජය පසුව එම දූපත අබ්දුල් කලාම් යැයි නම් කෙරිණි.

හිටපු ඉන්දීය අගමැති නරසිංහ රාම් මෙම දූපත අත්පත් කර ගැනීමේ නියෝගය නිකුත් කර තිබිණි. මෙම විලර් දූපතේ සිට චීනයට ඇත්තේ සැතපුම් 1468 කි.

ඉන්දීයාව නිපද වූ අග්නි දිගු දුර මිසයිල කිලෝමීටර් 8000 ක් දක්වා යැවිය හැකි. මේ වනවිට ඉන්දියාව අග්නි මිසයිල කීපයක් නිපදවන බව වාර්තා වේ. එයට කිලෝමීටර් 12000 ක් ගමන් කළ හැකිය.

මෙවන් පසුබිමක් මත චන්ද්‍රිකා තාක්ෂණයෙන් මිසයිල ආගමනය සෙවිය හැකි පැරබෝලින් ඇන්ටනා හතරක් සහිත යුවැන්ග් වැන්ග් -5 නැව ඉන්දීය සාගරයට එවීමට චීනය ක්‍රියා කළේය.

එය ඉන්ධන සහ අනිකුත් පහසුකම් ලබාගැනීමට චීනය සතු හම්බන්තොට වරායට එන බවට මෙරටට දන්වා තිබිණි.

එහෙත් ඉන්දීය මාධ්‍ය මෙම නැව ඔත්තු බැලීමේ නැවක් ලෙසට හඳුන්වනු ලැබීය. එම පසුබිම මත යුවැන්ග් වැන්ග් නැව හම්බන්තොටට ඒමට ඉඩදීම ගැන ඉන්දියාව දැඩි විරෝධය පෑවේය. එම ඉන්දීය චීන ගැටුමේ පසුබිමේ සිටින්නේ ඇමරිකාවයි. ඇමරිකාව ලබන ඔක්තෝබර් මස චීන දේශසීමාවට නුදුර ඉන්දීය උත්තරාකන්ද් ප්‍රදේශයේ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවැත්වීමට තීරණය කර ඇත.

ඉන්දු චීන ගැටුමේ ප්‍රතිඵලයට ශ්‍රී ලංකාව කොටු විය. රැවුලක් කඳක් දෙකම ශ්‍රී ලංකාවට අවශ්‍ය විය. මේ තත්ත්වය මත ශ්‍රී ලංකාව මුහුණ පා ඇත්තේ ගෙදර ගියොත් අඹු නසි මඟ හිටියොත් තෝ නසි යන තත්ත්වයකටයි.

අගෝස්තු 11 වැනිදා මෙරටට ඒමට නියමිත යුවැන් වැන්ග් නැව ඇත්තේ ඉන්දීය සාගරයේ කොතැනද? එම නැවේ ගමන් මඟ පෙන්වන ට්‍රාන්ස්පොන්ඩර් යන්ත්‍රය නැව මෙහෙයවන්නන් විසින් අක්‍රීයට කර ඇත.

මේ නිසා නැව සිටින්නේ කුමන දේශාංශකයේ ද සහ අක්ශාංශකයේ ද නොදනී.

අවසන් වරට වාර්තා වී ඇත්තේ නැව ඉන්දුනීසියානු මුහුදේ සිටින බවයි. මේ අතර චීනය තර්කයක් මතු කරමින් චීන නෞකාවලට නාවික නීති රීති යටතේ යාත්‍රා කළ හැකි බව දක්වා ඇත.

මේ නිසා ඉන්දු චීන ගැටුම වර්ධනය වී ඇත. නැවට හම්බන්තොට වරායට ඒමට ඉඩදිය හැක්කේ ශ්‍රී ලංකාවටය. ඊට ඉඩ දුන්නොත් ඉන්දියාව තරහ වේ. නැවේ ගමනාන්තය නතර කළහොත් චීනය තරහ වේ.

එවන් පසුබිමක් මැද ශ්‍රී ලංකාව බලවත් රටවල් දෙකකට මැදි වී තිබේ.

මෙම නැවේ ඇති වෘත්තාකාර ඇන්ටනා මගින් අන්තර් මහාද්වීපික මිසයිලවල ගමනාන්තය විමර්ශනය කළ හැකිය.

එසේම ඉන්දියාව හමුදා පණිවුඩ හුවමාරු කිරීමේ සබ්මැරීන් කේබල් පද්ධතියක් මුහුදේ එළීමේ යෙදී සිටී.

මෙම නැවේ ශ්‍රී ලංකා ආගමනය ගැන රෝ සංවිධානය ඉන්දීය රජයට අනතුරු අඟවා තිබූ බව ද වාර්තා විය.

එසේම ඔඩිස්යා මිසයිල අංගණයේ සිදුවන කතාබහට සවන්දීමේ හැකියාවක් ද නැවට තිබේ.

චීනය සතු කුමන අධි තාක්ෂණික පද්ධති තිබේදැයි ඉන්දියාව නොදනී. චීනයේ සන්නිවේදන ජාලයට හොඳම නිදසුන හුවායි සමාගමයි.

ඉන්දියානු රජය අග්නි හා මිසයිල සාර්ථකව අත්හදා බැලිමක් සමගම චීනයේ ඔත්තු බැලීමේ ක්‍රියාවලිය වර්ධනය වී ඇතැයි වාර්තා වේ. මෙවැනි විටෙක චීනය එම නෞකාව එවීම නතර කරනු අතැයි සිතිය නොහැක.

චීන තානාපතිවරයා දැනටමත් ජනපති රනිල් හමුවී තිබේ. යම් ලෙසකින් එම නැව චීනය බදු ගත හම්බන්තොට වරාය පරිශ්‍රයට ඇතුළු වුවොත් ශ්‍රී ලංකාවට එය නතර කළ හැකිද?

චීනයට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ඇමරිකාව විසින් කුවඩ් සංවිධානය ස්ථාපිත කරනු ලැබීය.

අගෝස්තු 11 සිට අගෝස්තු 17 දක්වා හම්බන්තොට වරායේ රැඳී සිටීමට මෙරට ආරක්ෂක බලධාරීන් විසින් යුවැන් වැන්ග් නැවට අවසර දී තිබුණි.

මේ චීන නැවේ අර්බුදය ඇමරිකානු ඉන්දීය උපාය මාර්ගික මෙහෙයුමේ මුල් පියවර බව තහවුරු වේ.

ශ්‍රී ලංකාව මෙම උපාය මාර්ගික වැඩපිළිවෙළට සම්බන්ධ කර ගැනීමට ඇමරිකාව දරන උත්සාහය අසාර්ථක වීම නිසා චීන නැවේ අර්බුදය ඇති විය.

එම වැඩපිළිවෙළට මාලදිවයින ද සම්බන්ධ වී තිබේ.

පසුගිය ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ මෙරට ප්‍රංශ තානාපතිවරයා ද ජපන් ආරක්ෂක ඇමැති ද හම්බන්තොට වරාය වෙත ගොස් නිරීක්ෂණයට යෙදුණි. එදා පැවැති රජය මෙම නිරීක්ෂණ හඳුන්වනු ලැබුවේ විදේශ ආයෝජන ආරම්භ කිරීම සඳහා විමර්ශන චාරිකාවක් ලෙසිනි. එහෙත් ජපන් හා ප්‍රංශ විමර්ශනයේ ඇත්ත තත්ත්වයනම් චීනය බදු ගත හම්බන්තොට වරායේ උපාය මාර්ගික තත්ත්වය නිරීක්ෂණයෙනි.

මේ අතර ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමේන වළකින ලෙස චීන රජය ඉන්දීය බලධාරීන්ගේන ඉල්ලා ඇත.

එහෙත් අතීතය අමතක කළ යුතු ද ඉන්දු චීන ගැටුම නිමා වූයේ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය නිසාය.

මෙවන් පසුබිම මැද චීන ඉන්දීය ගැටුමේ වසන් වූ කරුණු රැසක් ඇත. මෙයට පෙර කොළඹ වරායට චීන සබ්මැරීන් එන බවට ප්‍රචාරය විය. එම ප්‍රචාරය දියත් කළේ මෙරට සිටින රෝ ඔත්තුකරුවෙකි.

මේ අතර චීන නැව අද (11 දා) හම්බන්තොටට පැමිණෙන බවට තොරතුරු පැතිර ගොස් ඇත.

එසේ වුවහොත් ගැටුම තවත් වර්ධනය වනු ඇත. මෙම නැව ගැන ඉන්දියාව දක්වන විරෝධය සාධාරණ යැයි කිව හැක.

● කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment