චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.9 ක් ගෙවයි

239

ණයවර ලිපියේ එකඟතාවයට අනුව චීන කාබනික පොහොර තොගය සඳහා වන ඇමරිකානු ඩොලර් මිලියන 6.9 ක මුදල ඊයේ (07 දා) දින මහජන බැංකුව විසින් අදාළ චීන සමාගමට ගෙවූ බව මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා ‘දිවයින’ ට පැවසීය.

එම ණයවර ලිපියට අනුව මහ බැංකුවට තිබෙන බැඳීමට අනුව මේ ගෙවීම සිදුකර තිබේ.

කොළඹ වාණිජ මහාධිකරණය මගින් අදාළ ගෙවීම සිදු කිරීම සඳහා පනවා තිබූ වාරණය ඉවත් කිරීම නිසා මෙම ගෙවීම සිදු කිරීමට මහජන බැංකුවට පැවැති නීතිමය බාධාව ඉවත්වී තිබේ.

ප‍්‍රශ්නගත පොහොර නෞකාව මෙරටට භාර නොගත්තද ප‍්‍රමිතියෙන් යුත් පොහොර නැවත ලබාදෙන බවට දෙපාර්ශ්වය අතර එකඟතාවකට පැමිණි බවට අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත්ව ඇති බව ද වාර්තා වේ.

මීට පෙර ශ‍්‍රී ලංකා මහ බැංකවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා සඳහන් කළේ අදාළ ගෙවීම මහජන බැංකුව විසින් සිදු නොකළේ උසාවියෙන් ලාබා දී තිබූ අතුරු තහනම් නියෝගය අනුව බවයි.

එම නීතිමය බාධාව ඉවත්වීමෙන් පසු අදාළ ගෙවීම් සිදුකළ හැකි බව ද මහබැංකු අධිපතිවරයා සඳහන් කර තිබුණි.

අදාළ චීන කාබනික පොහොර තොගයේ සාම්පල් පරීක්‍ෂා කිරීමෙන් පසු ශී‍්‍ර ලංකා ශාක නිරෝධායන සේවය පවසා තිබුණේ ඒවායේ අර්වීනියා නම් බැක්ටීරියාව අඩංගු බවයි. මේ නිසා එම පොහොර ශ‍්‍රී ලංකාවට භාර ගැනීම ප‍්‍රතික්ෂේප කර තිබුණි.

චීනයේ චින්දා ඕ බයෝටෙක් සමාගමෙන් එම පොහොර ගෙන්වා තිබූ අතර ඊට අදාළ ගෙවීම් සිදුකිරීම සඳහා බැංකුවෙන් ණයවර ලිපි නිකුත් කර තිබුණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment