චීන බාල පොහොර නැව ආපසු හැරවීම: ඩොලර් මිලියන 6.7 ක් ගෙවා සමථයකට

580

නිසි ප‍්‍රමිතියට නොමැති බව කියමින් ආපසු හරවා යැවූ කාබනික පොහොර ආනයනය කළ චීන සමාගම ජාත්‍යන්තර වාණිජ්‍ය අධිකරණයේ නඩු පැවරීමට ගෙන තිබෙන තීරණය මත එම සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 6.7 ක් ගෙවා දමා වාණිජ්‍ය කොන්දේසි මත සමථයකට පත් කිරීමට ඉකුත් කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබේ.

නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මත මෙම තීරණය ගත් බවත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමිතියට අනුව නැවත එම සමාගමෙන් කාබනික පොහොර ආනයනය කිරීමට තීරණය කළ බවත් මේ සම්බන්ධයෙන් ‘‘දිවයින’’ කළ විමසීමේදී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා පැවසීය.

චීනයේ ක්වින්දා ඕ බයෝටෙක් සමාගමෙන් ආනයනය කළ කාබනික පොහොර මෙටි‍්‍රක් ටොන් 20,000 ක් අඩංගු නෞකාවෙන් ලබාගත් සාම්පලවල බැක්ටීරියාවක් ඇතැයි ශ‍්‍රී ලංකා පැළෑටි නිරෝධායන සේවය නිගමනය කිරීමෙන් පසුව එම පොහොර තොගය ප‍්‍රතික්‍ෂේප කිරීමට පියවර ගැනිණි.

මෙරට ගත් එම තීරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය කියා සිටියේ යළි සාම්පල් පරීක්‍ෂණයක් කළ යුතු බවත් නොඑසේ නම් එම සමාගමට වන්දි ගෙවිය යුතු බවත්ය.

කෙසේ වෙතත් දින ගණනාවක් තිස්සේ එම පොහොර නැව මෙරට මුහුදු සීමාවේ රඳවා තබා ඉකුත් දෙසැම්බර් මස 04 වැනිදා මෙරට මුහුදු සීමාවෙන් පිටව ගියේය. ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා ද පසුව නිල ප‍්‍රකාශයක් කළේය.

මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය ඉකුත් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත‍්‍රිකා දෙකක් ඉදිරිපත් කර ඇත.

අධිකරණ ඇමැති අලි සබ්රි මහතාගෙන් මේ පිළිබඳ ‘‘දිවයින’’ කළ විමසීමේදී ඇමැතිවරයා කියා සිටියේ චීන සමාගම සිංගප්පූරු වාණිජ්‍ය අධිකරණයේ නඩු පැවරුවේ නම් එම නෞකාව නැංගුරම්ලා තිබූ එක් දිනකට ඇමරිකානු ඩොලර් 30,000 බැගින් ගෙවීමට සිදුවන බවයි. දැනටමත් එම සමාගම සිංගප්පූරු වාණිජ්‍ය අධිකරණයට නොතීසි නිකුත් කර ඇතැයි ද ඇමැතිවරයා කීය.

ඒ අනුව නීතිපතිවරයා ලබාදුන් උපදෙස්වලට අනුව මෙම ප‍්‍රශ්නය වාණිජ්‍ය කොන්දේසි මත සමථ කර ගැනීමට රජය තීරණය කළ බවත් වාණිජ්‍ය අධිකරණයේ නඩු කීමට ගියේ නම් රටට සිදුවන පාඩුව සිතාගත නොහැකි වන බවත් අලි සබ්රි මහතා පැවසීය. කෙසේ වෙතත් අදාළ සමාගමෙන් යළි මෙරටට ගැළපෙන ප‍්‍රමිතියෙන් යුතු කාබනික පොහොර ආනයනය කරන්නට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක මෙසේ සඳහන් වේ.

චීනයේ ක්වින්දා ඕ බයෝටෙක් සමාගමෙන් ආනයනය කළ කාබනික පොහොර සම්බන්ධයෙන් කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම ඇති කරගත් ගිවිසුම ක‍්‍රියාත්මක කිරීමේදී මතුව ඇති වාණිජ අර්බුදය දෙපාර්ශ්වයටම එක`ගවිය හැකි වාණිජ කොන්දේසි මත සමථයකට පත් කර ගැනීමට නීතිපතිවරයා විසින් උපදෙස් දී ඇත. ඒ අනුව අධිකරණ අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩලයට පෙරේදා (13 දා) ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකා 02 ක් පිළිබඳව අවධානය යොමු කළ අමාත්‍ය මණ්ඩලය නීතිපතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කිරීමට අදාළ බලධාරීන්ට බලය දී ඇත.

ශිරාන් රණසිංහ, අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment