චීන බෞද්ධ ජනතාව මෙරටට ලබාදෙන ආධාර උපකාර බෙහෙවින් අගය කරනවා

94

කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි

චීන බෞද්ධ ජනතාව මෙරටට ලබාදෙන ආධාර උපකාර බෙහෙවින් අගය කරන බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණෝ ප්‍රකාශ කර සිටියහ.

උන්වහන්සේ මේ අනුශාසනාව සිදුකළේ කොට්ටාව රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක විහාරයේ පැවති උත්සවයක් අමතමිනි. චීනයේ පාහියන් පදනම විසින් අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ලබාදුන් ආධාර බෙදාදීම සඳහා මෙය සංවිධානය කර තිබිණි. මෙම අවස්ථාව සඳහා මෙරට චීන තානාපති කී සෙන්හොං මහතා හා එම මහත්මියත් එක්ව සිටියහ. චීන ශ්‍රී ලංකා බෞද්ධ මිත්‍රත්ව සංගමය මගින් මෙම කටයුත්ත සංවිධානය කර තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්මාලංකාර නාහිමියෝ මෙසේද ප්‍රකාශ කර සිටියහ.

මේ අවස්ථාවේ අපේ රටේ ජනතාව අර්බුදයට ලක්ව ඇති අවස්ථාවක මේ ලබාදෙන ආධාර උපකාර අපි බෙහෙවින් අගය කරනවා. චීනය කොරෝනා කාලයේදීත් මෙරටට ආධාර කළා. මේ විහාරස්ථානයට චීනය කිහිපවරක් ම ආධාර උපකාර කරලා තියෙනවා. ලෝකයේ බලවත්ම රාජ්‍යයක් ලෙස චීනයෙන් අපට ආදර්ශ රැසක් ගන්න පුළුවන්. දෙරට අතර මිත්‍රත්වය ශක්තිමත් වන්නේ බුදු දහම නිසයි. එම නිසාම පාහියන් පදනමෙන් ලංකාව පුරාම වියලි ආහාර පාර්සල් පනස්දහසක් බෙදාදීමට කටයුතු යොදා තියෙනවා. අභයගිරියෙන් ආරම්භ වූ මේ කටයුත්ත අද අපේ පන්සලේදී සිදුකෙරෙනවා. ඒ නිසා අපි චීනයට ස්තුතිවන්ත වෙනවා.

මෙහිදී ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හෝං මහතා ප්‍රකාශ කළේ මේ අර්බුදකාරී අවස්ථාවේ පමණක් නොව ඉදිරියටත් චීනය ලංකාවේ ජනතාව වෙනුවෙන් උදව් කිරීමට කැපවන බවය. වසර දහස් ගණනක් තිස්සේ චීන – ශ්‍රී ලංකා සබඳතා පවතින බවත් චීනය ලංකාවේ අවංකම මිතුරා ලෙස සෑම විටම පෙනී සිටින බවත් තානාපතිවරයා සඳහන්කර සිටියේය. 75 වැනි නිදහස් දිනය වෙනුවෙන් ලංකාවේ ජනතාවට සුභාශිංසන පිරිනැමීම සඳහා මේ අවස්ථාව යොදා ගන්නා බව තානාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේය. මෙම අවස්ථාව සඳහා චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙන්ම චීන – ශ්‍රී ලංකා බෞද්ධ මිත්‍රත්ව සංගමයේ සභාපති අජිත් ධර්මවර්ධන මහතා ඇතුළු නිලධාරීන් ද සහභාගි වී සිටියහ.
චතුර පමුණුව – ඡායාරූප – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment