චීන රාජ්‍ය නියෝජිතයන්ට මහ රැජිනට අවසන් ගෞරව දැක්වීම තහනම්

1057

දැනට ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එංගලන්තයේ සිටින චීන තානාපතිවරයා ඇතුළු චීන රාජ්‍ය දූත කණ්ඩායමකට අවසර ලබා නොදීමට එංගලන්ත රජය තීරණය කර තිබේ. මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා චීන රජයේ දූත කණ්ඩායමක් විසින් කරන ලද ඉල්ලීමක් එංගලන්ත පාර්ලිමේන්තුවේ මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ (හවුස් ඔෆ් කොමන්ස්) කථානායක ශ්‍රීමත් ලින්ඩ්සේ හොයිල් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

චීන රජය විසින් එරට වාසය කරන ‘උයිගුර්’ මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව සිදු කරන හිංසාකාරී ක්‍රියාවන් ප්‍රසිද්ධියේ විවේචනය කළ එංගලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 07 දෙනකු ඇතුළු එංගලන්ත ජාතිකයන් 09 දෙනකුට ඉකුත් වසරේදී චීනයට ඇතුළු වීම තහනම් කර ඔවුන්ගේ වත්කම් රජයට පවරා ගැනීමට ගෙන තිබූ පියවර හේතුවෙන් මහ රැජිනට අවසන් ගෞරවය දැක්වීමට චීන රජයේ නියෝජිතයන්ට තහනම් කිරීමට හේතු වී ඇති බව වාර්තා වේ. ‘උයිගුර්’ මුස්ලිම් ජාතිකයන්ගේ ගැටලුව හේතුවෙන් එංගලන්තයේ සිටින චීන තානාපතිවරයාට එංගලන්ත පාර්ලිමේන්තුවට ඇතුළු වීම තහනම් කිරීමට එංගලන්ත රජය විසින් පියවර ගෙන තිබිණි. චීන -එංගලන්ත සබඳතා මේ වන විටත් පළුදු වී ඇති අතර මෙවැනි තත්ත්වයක් පැවතුන ද චීන උප ජනාධිපතිවරයා ලබන සඳුදා (19දා) පැවැත්වෙන එළිසබෙත් මහ රැජිනගේ අවමඟුල් උත්සවය සඳහා සහභාගි වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment