චීන ලංකා අර්බුදයේ ඇත්ත කතාව

969

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ඉතාමත් ආසන්න බලයක් හිමි ආණ්ඩුව බරපතළ අර්බුද ගණනාවකට මැදිවී ඇත. ප‍්‍රබල ජනතා විරෝධයකට ලක්වී ඇත. ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 145 ක් හිමිය. අවශ්‍ය අවස්ථාවක විරුද්ධ කණ්ඩායමේ මන්ත‍්‍රීවරුන් ගේ ජන්දය ලබා ගැනීමේ අවස්ථාව ද ඇත. 20 වැනි සංශෝධනය සහ කොළඹ වරාය කොමිසම පිළිබඳව පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම ආණ්ඩුවේ බලය අවධාරණය කළේය. නමුත් භුමියේ තත්ත්වය අතිශයින් අර්බුදකාරීය. පාර්ලිමේන්තුවේ ආසන තුනක් හිමි ජවිපෙ ආණ්ඩුව හොල්ලයි. ඉන්දියානු පොහොර ගනුදෙනුව හරහා ජවිපෙ එල්ල කළ ප‍්‍රහාරය විනාශකාරීය. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, මන්ත‍්‍රී විජිත හේරත් සහ ආචාර්ය හරිනි අමරසූරිය තම පාර්ලිමේන්තු කාර්යභාරය ජනතාව වෙනුවෙන් කර ඇත. පාර්ලිමේන්තුවෙන් පිටත ක‍්‍රියාත්මක සුනිල් හඳුන්නෙත්ති ප‍්‍රමුඛ ක‍්‍රියාකාරීන් රජයට කරන බලපෑම ද සුළුපටු නොවේ. තවදුරටත් පාර්ලිමේන්තුවේ ශක්තිය මත තීන්දු තීරණ ගැනීම පිළිබඳව ගැඹුරින් සිත බැලිය යුතුය.

ශ‍්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ප‍්‍රජාව අතර සම්බන්ධතා අර්බුදකාරීය. අන් සෑම ක්ෂේත‍්‍රයක්ම මෙන්ම ජාත්‍යන්තර සම්බන්ධතා ද ව්‍යාකුලය. වර්ධනය වෙමින් පවතින තත්ත්වය හිතකර නැත. ආණ්ඩුව පමණක් නොව ප‍්‍රධාන විපක්ෂය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂ මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය.

නීතිපති දෙපාර්තමේන්තුව පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය ලබන චීන පොහොර සමාගමකට (Qingdao Seawin Biotech Group), එම සමාගමේ දේශීය නියෝජිත චෙලිනා කැපිටල් කෝපරේෂන් සහ මහජන බැංකුවට එරෙහිව ඔක්තෝබර් 22 සහ 26 දින කොළඹ වාණිජ අධිකරණයෙන් වාරණ නියෝග ලබා ගැනීම ජාත්‍යන්තර ප‍්‍රජාවේ, විශේෂයෙන්ම බටහිර බලවේගවල අවධානයට ලක්වී ඇත.

ශ‍්‍රී ලංකාව සහ චීනය අතර පවතින ඉතා කිට්ටු මිත‍්‍ර සම්බන්ධතාවය නුහූලන කණ්ඩායම් උද්දාමයට පත්ව ඇත. ඒ ගැන අමුතුවෙන් කිවයුතු නැත. කිසිදා පරාජය කළ නොහැකි යැයි අවධාරණය කළ බෙදුම්වාදී ද්‍රවිඩ ත‍්‍රස්තවාදය 2009 මැයි විනාශ කර දැමූ දා සිට බටහිර බලවේග ශ‍්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරයි. එම ක‍්‍රියාවලියේදී මානව හිමිකම් ශ‍්‍රී ලංකාවට එරෙහිව මුගුරක් ලෙස පාවිච්චි කරයි. ජිනීවා නුවර සිට ක‍්‍රියාත්මක ඒ මෙහෙයුමයි. එක්සත් ජාතීන්ගේ නිෂේධ බලය හිමි බලවතුන් පස් දෙනාගෙන් එක් අයෙකු වන චීනය ද්‍රවිඩ ත‍්‍රස්තවාදයට එරෙහිව ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාවට සහය දුන් ලෙසම ජිනීවා දී ශ‍්‍රී ලංකාවට ශක්තියක් වී ඇත. ශ‍්‍රී ලංකාව සහ චීනය අතර වර්ධනය වෙමින් පවතින සම්බන්ධතා හේතුවෙන් බටහිර බලවේග ශ‍්‍රී ලංකාවට එරෙහි තෙරපුම තවදුරටත් වැඩිකර ඇත. කාබනික පොහොර අර්බුදය එම කණ්ඩායමට චීන-ශ‍්‍රී ලංකා සම්බන්ධතා පළුදු කිරීමට අවස්ථාවක් දී ඇත. ඒ ගැන ජනතාව පුදුම විය යුතු නැත.

ශ‍්‍රී ලංකා දේශපාලනය මෙන්ම ජාත්‍යන්තර දේශපාලනය ද විසකුරුය. අවස්ථාවාදීය. විනාශකාරීය. ශ‍්‍රී ලංකාව සහ ඇමෙරිකාව නායකත්වය දෙන බටහිර බලවේග අතර රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා යහපත් නැත. එවැනි පසුබිමක් යටතේ නැගී එන ලෝක බලවතා වන චීනය සමඟ ද ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම කෙතරම් ප‍්‍රශ්නකාරීද? ඉතාමත් අවධානයෙන් කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමයි. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ විදේශීය ප‍්‍රතිපත්තිය, විදේශීය ආයෝජන සහ චීන සහ ඇමෙරිකානු ගැටුම සම්බන්ධව ස්ථාවරයක් නොමැති බව පැහැදිලිය. ඇත්ත වශයෙන්ම ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ අතර එකඟතාවයක් ඇත්තේ කුමකටදැයි විමසා බැලිය යුතුය.

කොවිඞ් ව්‍යසනය මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දූෂණය, වංචාව සහ බරපතළ අක‍්‍රමිකතා හේතුවෙන් දැඩි මූල්‍ය පසුබෑමකට ලක්වී ඇති ශ‍්‍රී ලංකාවට බලවත් රටවල් සමඟ අර්බුද කිසිසේත් අවශ්‍ය නැත. නමුත් චීනයේ නිෂ්පාදිත කාබනික පොහොර තත්ත්වයෙන් බාල බව ශ‍්‍රී ලංකාව ප‍්‍රකාශ කිරීම හේතුවෙන් ඇතිවූ අර්බුදය වළක්වාගත හැකිව තිබුණාද? අදාළ පොහොර මිලදී ගැනීම චීන සමාගම සහ ශ‍්‍රී ලංකා රජය (සී/ස ලංකා පොහොර සමාගම) අතර සිදු නොවූවේ මන්දැයි යන ප‍්‍රශ්නය නැගේ.

පොහොර ගැටලූව ශ‍්‍රී ලංකාව සහ චීනය අතර ඉතාමත් සංවේදී තත්ත්වයක් ඇති කළා සේම රජය තුළ ද විරසකයක් නිර්මාණය කර ඇත. ප‍්‍රශ්නගත කාබනික පොහොර තොගය නැව් ගත කළ සමාගම කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය හරහා මාධ්‍යයට තම ස්ථාවරය ප‍්‍රකාශ කිරීම විශේෂ තත්ත්වයකි. ප‍්‍රශ්නගත පොහොර තොගය ලොව පිළිගත් ‘ස්විස් එස් ජී එස්‘ ආයතනයේ පරික්ෂාවකට වහාම යොමුකර එම තීරණය කුමක් වුවත් එය පිළිගත යුතු බව තානාපති කාර්යාලය හරහා ප‍්‍රකාශ කිරීම ඇත්ත වශයෙන්ම ප‍්‍රබල අභියෝගයකි. රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමේ ගැටලූවකි.

ඔක්තෝබර් 26 දින එනම් නීතිපති දෙපාර්තමේන්තුව චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව දෙවැනි වාරණ නියෝගය ලබාගත් දින චීන තානාපති කාර්යාලය හරහා අදාළ ආයතනය නිකුත් කළ ප‍්‍රකාශය ඉතාමත් පැහැදිලිව කරුණු හයක් අවධාරණය කර ඇත. අදාළ සමාගම සහ චීන රජය පොහොර ප‍්‍රශ්නය සම්බන්ධයෙන් පැහැදිලි එක ස්ථාවරයක් ගෙන ඇත. එසේ නොවන්නේ නම් එවැනි බරපතළ ප‍්‍රකාශයක් කිසිසේත්ම තානාපති කාර්යාලය හරහා මාධ්‍යයට නිකුත් කරන්නේ නැත. විදේශ අමාත්‍යංශය වර්ධනය වෙමින් පවතින අර්බුදය සම්බන්ධයෙන් යම් මැදිහත් වීමක් කළ යුතුය. රජය තුළ අභ්‍යන්තර සාකච්ඡාවක් විය යුතුමය. චීන ප‍්‍රකාශය අවධාරණය කර ඇත්තේ (1) නැව්ගත කිරීම ශ‍්‍රී ලංකාවේ අවශ්‍යතාවය නැතහොත් වුවමනාව මත සිදු කළේය (2) කාබනික පොහොර තොගයට අදාළ ආනයන බලපත‍්‍රය ආනයනකරු වන ශ‍්‍රී ලංකාව ලබා ගත යුතුය (3) ආනයනකරුගේ ඉල්ලීම මත ශටර් ගෘප් නමැති ජාත්‍යන්තර තුන්වන පාර්ශ්වයක් සහ චීන රේගුව විසින් කාබනික පොහොර තොගය අපනයනයට සුදුසු බව තහවුරු කිරීම (4) ශ‍්‍රී ලංකාවේ තත්ත්ව පරික්ෂාව අදාළ ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල නොවන බව (5) මාධ්‍ය ඇතුළු ශ‍්‍රී ලංකා පාර්ශවයේ වගකීම් විරහිත ප‍්‍රකාශ චීන සමාගමට අපහාස කිරීම සහ (6) නව තත්ත්ව පරීක්ෂාවක් ලොව පිළිගත් ‘ස්විස් එස් ජී එස්’ ආයතනයේ කිරීම සහ එම තීන්දුව කුමක් වුවත් එය පිළිගැනීම. චීන අභියෝගයට නිසි පිළිතුරක් දිය යුතුය. ශ‍්‍රී ලංකාවට නිහඬව සිටිය නොහැක. චීනයේ සිටින ශ‍්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොනගෙන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් විමසිය යුතුය.

එවකට කොළඹ සිටි චීන තානාපතිවරයා සමඟ යහපාලන මුදල් ඇමැති රවී කරුණානායක චීනය ලංකාවට ණය ලබාදෙන පොලී අනුපාත සම්බන්ධයෙන් ඇතිකරගත් ගැටුමට වඩා පොහොර ප‍්‍රශ්නය බරපතළය. රජයේ නීතිඥයා වන නීතිපතිවරයා සී/ස ලංකා පොහොර සමාගම වෙනුවෙන් වාණිජ අධිකරණය හමුවට යෑම පොහොර ගැටලූව තීව‍්‍ර කර ඇත. දැනට ක‍්‍රියාත්මක අධිකරණ ක‍්‍රියාවලිය හේතුවෙන් පොහොර ප‍්‍රශ්නය නිරාකරණය කිරීමට ගන්නා ක‍්‍රියාමාර්ග ඇහිරේද? ඉන්දියාවෙන් මිලදී ගත් නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර තවත් අර්බුදයක් නිර්මාණය කර ඇත. එයද අතිශය බරපතළය. ජවිපෙ මන්ත‍්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේදී ඉන්දියාවෙන් දියර පොහොර මිලදී ගත් ආකාරය නිර්දය ලෙස විවේචනය කිරීම, ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දරගේ මැදිහත් වීම සම්බන්ධයෙන් චෝදනා කිරීම සහ එතුමා අදාළ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිලි කිරීම සමස්ත දියර පොහොර ගෙන්වීමේ ක‍්‍රියාවලිය ප‍්‍රශ්නකාරී තත්ත්වයකට පත් කර ඇත. අරුණ පත‍්‍රයේ කර්තෘ මහින්ද ඉලේපෙරුම මෙම ලියුම්කරු සමඟ පැවසුවේ පාර්ලිමේන්තුවේ හෙළිදරව් වූ කරුණු කාරණා පදනම් කරගෙන සියලූම මාධ්‍ය වාර්තා කළ ආන්දෝලනත්මක දියර පොහොර මිලදී ගැනීම සම්බන්ධයෙන් තෝරාගත් මාධ්‍යවේදීන් රහස් පොලිසිය කැඳවීම ප‍්‍රශ්නකාරී බවයි.

රහස් පොලිසියේ ප‍්‍රශ්න කිරීම් හමුවේ තමන් අදාළ වාර්තාකරණය සම්බන්ධයෙන් කර්තෘවරයා ලෙස වගකීම භාරගත් බව පැවසූ ඔහු පෙන්වා දුන්නේ නිසි පරීක්ෂණයක් සැබෑ තත්ත්වය හෙළිදරව් කරනු ඇති බවයි. සුදුලූනු මගඩිය සම්බන්ධයෙන් වාර්තා කළ මාධ්‍යවේදීන් රහස් පොලිසියට කැඳවීම මෙන්ම ඉන්දියානු පොහොර ප‍්‍රශ්නය ද මාධ්‍ය පිට පැටවීම අපූරු තත්ත්වයක් බව ඔහු අවධාරණය කළේය.

චීනයෙන් ආනයනය කිරීමට යෝජිත කාබනික පොහොර තොගය මෙටි‍්‍රක් ටොන් 99,000 කි. ඉන්දියාවෙන් මිලදී ගැනීමට යෝජිත දියර පොහොර ලීටර මිලියන 3.1 කි. දියර පොහොර යම් ප‍්‍රමාණයක් ලංකාවට ලැබී ඇත. හදිසි මිලදී ගැනීමක් ලෙස ආනයනය කරනු ලබන දියර පොහොර ගුවනින් කටුනායක පිහිටි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගෙන ඒමට සිදුවීම නැවත නැවතත් රටට අවධාරණය කරන්නේ සමස්ත ව්‍යාකූලභාවයයි. ගුවනින් පොහොර ගෙන්වීමට සිදුවීම සම්බන්ධයෙන් රජය පැහැදිලි කිරීමක් කළ යුතුය. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ පූර්ණ මැදිහත්වීම තුළ ක‍්‍රියාත්මක කළ දියර පොහොර ගනුදෙනුව පාර්ලිමේන්තුව සහ ඉන් පිටත වාද විවාදයට භාජනය විය.

ඉන්දියානු ගනුදෙනුවේදී ශ‍්‍රී ලංකාව වැඩි මිලක් ගෙවා ඇති බව ජවිපෙ සහ සමගි ජන බලවේගය කරන චෝදනා බැහැර කළ නොහැක. චීන කාබනික පොහොර සහ ඉන්දියානු දියර පොහොර අර්බුදකාරී තත්ත්වයක් යටතේ ආනයනය කිරීම සම්බන්ධයෙන් පසු විපරමක් කළ යුතුය. බලාපොරොත්තු වූ ප‍්‍රමිතියට නොමැති බව පවසමින් චීන කාබනික පොහොර තොගය ශ‍්‍රී ලංකාව ප‍්‍රතික්ෂේප කිරීම යම් ඉන්දියානු මාධ්‍ය මහත් උනන්දුවෙන් වාර්තා කළේය. ඔවුන් කාලකන්නි සතුටක් ලැබීම අවධාරණය කරන්නේ චීන – ඉන්දීය බල අරගලයට ශ‍්‍රී ලංකාව මැදිවී තිබෙන බවයි.

මහ කන්නයට අවශ්‍ය පොහොර සපයා ගැනීම සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටලූව ශ‍්‍රී ලංකාවට ඇති කරන බලපෑම සුළුපටු නොවනු ඇත. සති කිහිපයකට පෙර ඩඞ්ලි සිරිසේන ප‍්‍රමුඛ සහල් ව්‍යාපාරිකයින් මුළු රටම උඩුයටිකුරු කළේ සහල් තොග සහ සිල්ලර මිල නියම කිරීමේ කැබිනට් මණ්ඩලයේ වගකීම තමන් වෙත පවරා ගැනීමෙනි. අද වනවිට රජය නියම කළ මිලට හෝ පෞද්ගලික ව්‍යාපාරිකයින් නියම කළ මිලට වෙළෙඳ පොළේ සහල් නැත. මහ කන්නයට අවශ්‍ය කරන පොහොර සපයා ගැනීම අභියෝගයක් වී ඇත.

රජයේ පොහොර ප‍්‍රතිපත්තියට පටහැනි ස්ථාවරයක් ගැනීම සම්බන්ධයෙන් මහාචාර්ය බුද්ධි මාරඹේ ඔහු කෘෂිකර්ම අමාත්‍යංශයේ දැරූ සියලූ නිලතලවලින් ඉවත් කිරීම වර්තමාන අර්බුදයට පිළියමක් ලෙස දැකීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ පවසන්නේ දියර පොහොර යෝජනාව කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කළ බවයි. යුනයිටඞ් ෆාර්මස් ට‍්‍රස්ට් ලිමිටඞ් තම ශ‍්‍රී ලාංකීය නියෝජිතයා ලෙස පත්කර තිබෙන්නේ ද නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර නිෂ්පාදනය කරන ඉන්දියානු සමාගම විසිනි. චීන සහ ඉන්දියානු පොහොර ගනුදෙනු දෙකටම මහජන බැංකුව සම්බන්ධවීම ද දේශපාලන පිටියේ කතා බහට ලක්වී ඇත.

ශ‍්‍රී ලංකාව තුළ චීනය සහ ඇමෙරිකාව නායකත්වය දෙන බටහිර බලවේග සහ ඉන්දියානු ආයෝජන සහ ක‍්‍රියාකාරකම් පිළිබඳව විමසා බැලිය යුත්තේ සමස්ත බල කඳවුරු දෙක දේශපාලන, ආර්ථික සහ හමුදා ශක්තිය වර්ධනය කිරීමට ගන්නා පියවර ද අවධානයට ලක් කිරීමෙනි. වඩාත් පුළුල් ලෙස වර්ධනය වෙමින් තත්ත්වය අධ්‍යයනය කළ යුතුය. ශ‍්‍රී ලංකාව මුහුණ දෙන්නේ කාබනික පොහොර, දියර පොහොර හෝ යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් නොවේ. මෙම සිදුවීම් සියල්ල පෙන්නුම් කරන්නේ ශ‍්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වයට කරන බලපෑමයි. තදබල තෙරපුමයි. ශ‍්‍රී ලංකාව මුහුණ දෙන ජාත්‍යන්තර අභියෝගය ආණ්ඩුව නිසියාකාරව තේරුම් ගෙන නැද්ද? මෙම තත්ත්වය තුළ අර්බුදකාරී ‘ගැටුම්’ ඇතිවීම වළක්වා ගත නොහැක. කිසිදු අධිකරණ ක‍්‍රියාවලියක පදනම් නොමැතිව ශ‍්‍රී ලංකාව යුද අපරාධකරුවකු කර ඇත. එම තත්ත්වයට මුහුණ දීමට අදටත් අපට නොහැකි වී ඇත. ශ‍්‍රී ලංකාව මුහුණ දෙන ගැටලූව අවධාරණය කිරීමට විශ‍්‍රාමික ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් ශ‍්‍රී ලංකාවේ තානාපති ලෙස පිළිගැනීමට කැනඩාව සහ ඉතාලිය කැමති නොවීම පෙන්වා දිය හැක. ඉතාලිය ගත් තීන්දුව යුරෝපීය සංගමයේ අනෙකුත් රටවල් ද අනුගමනය කරනු ඇත. ශ‍්‍රී ලංකාව දේශීය සහ විදේශීය ප‍්‍රශ්න ගොන්නකට මැදිවී ඇත. යම් ප‍්‍රමාණයකට හෝ එම ප‍්‍රශ්නකාරී තත්ත්වය විසඳීමට උත්සාහයක් ගන්නා බව නොපෙනේ.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment