චීන වරායේ තෙල් ටැංකි ගනුදෙනුව: 14ක් ඉන්දියාවට 61 ක් ටි‍්‍රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට

133

සාකච්ඡා සාර්ථකයි – ඇමැති ගම්මන්පිල කියයි

ති‍්‍රකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ දැනට ඉන්දීය තෙල් සමාගම භාවිත කරන තෙල් ටැංකි 14ක් වසර පනහකට එම සමාගමට බදු දී එහි ඇති තෙල් ටැංකි 61ක් ටි‍්‍රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම යටතේ පාලනය කිරීමට අදාළව ඉන්දියාව සමග කළ සාකච්ඡුා සාර්ථකව අවසන් වූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

මෙම එකඟතාවට අනුව ති‍්‍රකුණාමලයේ තිබෙන තෙල් ටැංකි 99න් තෙල් ටැංකි 24ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පවරාදීමට ශී‍්‍ර ලංකා රජය පියවර ගන්නා බව ද ඇමැතිවරයා කියා සිටියේය.

එහි තිබෙන තෙල් ටැංකි 61ක් එකතු කර ස්ථාපිත කරන ටි‍්‍රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමේ කොටස්වලින් සියයට 51ක් ඛනිජ තෙල් සංස්ථාවටත්, ඉතිරි සියයට 49 ඉන්දීය තෙල් සමාගමටත් හිමිවන බව ද ගම්මන්පිල මහතා සඳහන් කළේය. මෙම නව සමාගමට සභාපතිවරයකු හා අධ්‍යක්ෂවරුන් හත්දෙනකු පත්කරන අතර සභාපතිවරයා පත් කිරීමේ අයිතිය තෙල් සංස්ථාවට හිමිවනු ඇත. අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් හත්දෙනාගෙන් සිවුදෙනකුම තෙල් සංස්ථාව මගින් පත් කරන බව ද බලශක්ති ඇමැතිවරයා සඳහන් කළේය. මෙම සමාගම විගණනයට ලක් කරන අතර විගණකාධිපතිට එහි බලතල පවරා තිබේ. ඒ අනුව කෝප් කමිටුවට එම සමාගමේ නිලධාරීන් කැඳවීමටත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට සමාගම පිළිබඳ පාර්ලිමේන්තුවේ ප‍්‍රශ්න කළ හැකි පරිදි මෙම සමාගම ස්ථාපිත කෙරේ.

තෙල් සංස්ථාවට පවරා ගන්නා තෙල් ටැංකි 24 තෙල් සංස්ථා පාලිත සමාගමකට පැවරීමට නියමිතව ඇත.

1987 ජූලි 29 වැනිදා ඉන්දියාව සමග පැවති එකඟතාව මත 2003 පෙබරවාරි 07 වැනිදා තෙල් ටැංකි 99ම වසර තිස්පහකට ඉන්දියාවට ලබාදුන් බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

2017 වසරේදී මලික් සමරවික‍්‍රම සහ සුෂ්මා සිවරාජ් අවබෝධතා ගිවිසුම යටතේ තෙල් ටැංකි යම් ප‍්‍රමාණයක් අතුරු බදු දීමකට උත්සාහ කළත් එය සාර්ථක නොවූ බව ද ගම්මන්පිල මහතා කීවේය.

මේ අනුව ති‍්‍රකුණාමල තෙල් ටැංකි 99න් 85කම පාලනය තෙල් සංස්ථාව වෙත ලබා ගනිමින් ජනතාවට සතුටු විය හැකි ලෙස මෙම ප‍්‍රශ්නය විසඳා ගැනීමට හැකි වූ බව ද බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment