චීන සංචාරයද සමගින් 2022 දී ක‍්‍රිකට් කණ්ඩායමට වැඩ වැඩිවෙයි

891

චීනයේ පැවැත්වෙන ආසියානු තරගාවලිය, ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය සහ තවත් ජාත්‍යන්තර තරග 43 ක් සමග 2022 වසර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට කාර්යබහුල වසරක් බවට පත්වී ඇත.

අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද නවතම තරග කාලසටහනට අනුව මේ බව ප‍්‍රකාශයට පත් කර ඇත.

ආසියානු තරගාවලිය 2022 සැප්තැම්බර් මාසයේදී චීනයේදී පැවැත්වෙන අතර පන්දුවාර 20-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මාසයේදී ඔස්ටේ‍්‍රලියාවේදී පැවැත්වේ.

චීනයේ පැවැත්වෙන ආසියානු ක‍්‍රීඩා උළෙල සඳහා ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහ කාන්තා කණ්ඩායමද සහභාගි වීමට නියමිත අතර එම තරග පන්දුවාර 20-20 තරග ලෙස පැවැත්වේ.

ආසියානු ක‍්‍රීඩා තරගාවලිය සඳහා 37 වැනි ක‍්‍රීඩාව ලෙස එකතු වූ ක‍්‍රිකට් ක‍්‍රීඩාව පළමු වරට තරගාවලියට එකතු වූයේ 2014 වසරදී වේ.

එම තරගාවලි දෙකට අමතරව 2022 වසරේදී ශ‍්‍රී ලංකාව ටෙස්ට් තරග 10 කට, එක් දින තරග 19 කට සහ පන්දුවාර 20-20 තරග 13 කට ක‍්‍රීඩා කිරීමට නියමිත වේ.

2022 වසර ආරම්භ කරමින් සිම්බාබ්වේ කණ්ඩායම එක්දින තරග 3 කට සහ විස්සයි විස්ස තරග 2 කට සහභාගි වීම සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණෙන අතර එම තරගවලින් අනතුරුව ඔස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එහිදී ඔස්ටේ‍්‍රලියාව සමගින් පන්දුවාර 20- 20 තරග 5 ක්ද, ඉන්දියාව සමගින් ටෙස්ට් තරග 2 ක් සහ පන්දුවාර 20- 20 තරග 3 ක්ද ශ‍්‍රී ලංකාව ක‍්‍රීඩා කිරීමට නියමිත වේ.

2022 වසරේ පළමු සංචාරය ආරම්භ කරමින් ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලියක් සඳහා මැයි මාසයේදී ශ‍්‍රී ලංකාව බංග්ලාදේශයේ තරග සංචාරයක නිරත වීමට නියමිත අතර එය නිමා වීමෙන් පසුව නැවතත් ඔස්ටේ‍්‍රලියාව ටෙස්ට් තරග 2 කට එක්දින තරග 5 කට සහ පන්දුවාර 20 – 20 තරග 3 කට සහභාගි වීමට ශ‍්‍රී ලංකාවට පැමිණේ.

ජුලි සහ අගෝස්තු මාසවලදී ශ‍්‍රී ලංකාව පකිස්ථානය වෙනුවෙන් ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් සඳහ සත්කාරකත්වය දක්වන අතර අගෝස්තු මාසයේදී එල්පීඑල් තරගාවලිය පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

2022 වසරේ නොබැම්බර් මාසයේදී ශ‍්‍රී ලංකාව නවසීලන්තයේ දී ටෙස්ට් තරග 2 ක් සහ එක්දින තරග 3 ක්ද ක‍්‍රීඩා කිරීමට නියමිත අතර වසරේ ශ‍්‍රී ලංකාව සහභාගි වන අවසාන සංචාරය සහ තරගාවලිය ලෙස ඉන්දියාවේදී පැවැත්වෙන තරග 5 කින් යුත් එක්දින තරගාවලියකට සහභාගි වීමට නියමිතය.

 කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment