චීන සමාගමකට කෝටි 700 ක දොළ පිදේනියක්

1137

තාක්ෂණික ඇගයීම් කමිටු නිර්දේශ ද නොසලකා හැර ඉහළ ඇලහැර උමං ව්‍යාපෘතිය වසර දෙකකින් කඩිනම් කිරීමට බව පවසා චීන සමාගමක් වෙත අමතර රුපියල් කෝටි හත්සියයකට ආසන්න (ඇමෙරිකානු ඩොලර් මිලියන 35 ක) මුදලක් ලබාදීමට සැලසුමක් ක‍්‍රියාත්මක බව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට වාර්තා වෙයි.

ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත රුපියල් කෝටි 4327ක මුදලට වඩා, අමතර ගෙවීම් ක‍්‍රමවේදයක් ඔස්සේ එම මුදල ලබා දීමට කටයුතු සිදු කෙරෙමින් ඇති බව ද සඳහන්ය.

මෙම අමතර ගෙවීම් ක‍්‍රමවේද පිළිබඳ සොයා බැලීමට රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව ආචාර්ය කමල් ලක්සිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් තාක්ෂණික ඇගයීම් කමිටුවක් පසුගිය ජුලි මාසයේ පත්කර ඇති අතර එහි සාමාජිකයන් නව දෙනෙකි. මෙම අමතර ගෙවීම් ක‍්‍රමවේදය (Variation Order) ඉතා අවිධිමත් බව කමිටුවේ බහුතර අදහස වී ඇත.

එසේ තිබියදී වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා විසින් මෙම තාක්ෂණික ඇගයීම් කමිටු වාර්තාවට එකඟ නොවී අවිධිමත් ලෙස විශේෂ තාක්ෂණික ඇගයීම් කමිටු දෙකක් පත්කර නිර්දේශ ලබා ගැනීමට කටයුතු කර ඇති බව සඳහන් වේ.

තාක්ෂණික ඇගයීම් කමිටුව සහ දිසානායක මහතා පත් කළ විශේෂ තාක්ෂණික ඇගයීම් කමිටු ද්විත්වයේ පූර්ණ අනුමැතිය ද නොමැතිව අමතර ගෙවීම් අනුමත කරවා ගැනීමට මේ වන විට කැබිනට් මණ්ඩලය පත් කළ ප‍්‍රසම්පාදන මණ්ඩලයට පත‍්‍රිකාවක් ද යොමු කර ඇති බව ද සඳහන් වේ. ව්‍යාපෘතිය සඳහා ලංසු කැඳවන අවස්ථාවේදී ව්‍යාපෘති අවසානය පිළිබඳ නිසි නිගමනයකට නොගොස් ව්‍යාපෘතියේ එක් සමාගමක් වෙත භාර දීමෙන් අනතුරුව වසරක් ගත වීමටත් මත්තෙන් ව්‍යාපෘති කාලය අඩු කිරීම පිටුපස යම් මුදල් අක‍්‍රමිකතාවක් සිදු වීමට ඉඩ ඇති බව නම හෙළි නොකිරීමේ පදනම මත ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට තොරතුරු සැපයූ වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් පැවැසීය. එසේම මේ තුළින් තවත් අසාධාරණයක් වන බව ද හෙතෙම කීවේය.

මොරගහකන්ද ජලාශයේ සිට මහකන්දරාව දක්වා උතුරුමැදට ජලය රැගෙන යෑම සඳහා ඉහළ ඇලහැර ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක අතර එහි උමං ව්‍යාපෘතිය සිදු කරනු ලබන්නේ China State Construction Engineering Corporation (CSCEC) නමැති චීන සමාගමකි. ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර මත වසර හයකින් වැඩ අවසන්වීමට යෝජිත මෙම ව්‍යාපෘතියේ පිරිවැය රුපියල් කෝටි 4327කි. එනම් ඇ.ඩො.මි 243කි.

මේ පිළිබඳව වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ තාක්ෂණික ඇගයීම් කමිටු නිර්දේශ බෙදුම් තීන්දුවක් බැවින් තමාට හිමි බලතල ප‍්‍රකාරව විශේෂ තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත්කර අවශ්‍ය නිර්දේශ ගෙන අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩලය පත් කළ ටෙන්ඩර් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි. තාක්ෂණික ඇගයීම් කමිටුව තුළින් තාක්ෂණික ඇගයීමක් බලාපොරොත්තු වුවත් ඔවුන් ඉන් ඔබ්බට ගොස් කටයුතු කර ඇති බවද හෙතෙම කීවේය. අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් තමාට පවරා ඇති බලතල සහ තිස් වසරක අත්දැකීම් අනුව මෙම තීරණය ගත් බවද සඳහන් කළ දිසානායක මහතා එහි ප‍්‍රතිලාභ ඉදිරියේදී ජනතාවට ලැබෙනු ඇති බවත් කීවේය. එසේම ව්‍යාපෘති සිදු කරන චීන සමාගම ඉංජිනේරු ඇස්තමේන්තු මුදලට වඩා අඩු මුදලකින් ව්‍යාපෘතිය සිදු කරන බවත් එබැවින් අදාළ සමාගමට වසර දෙකක් කඩිනම් කිරීම වෙනුවෙන් අමතර යම් මුදලක් ගෙවීම පාඩුවක් නොවන බවත් හෙතෙම කීවේය.

එසේම ව්‍යාපෘති භාර අධ්‍යක්ෂ ඉංජිනේරු ඞී. බී. විජේරත්න මහතාගෙන් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ මේ පිළිබඳව කළ විමසීමේදී ඒ මහතා සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත මෙම ව්‍යාපෘතිය කඩිනම් කර ඇති බවයි. එසේම ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර වසර තුන හමාරක් තුළ අවසන් වීමට නියමිත බැවින් ව්‍යාපෘතිය කඩිනම් කළ යුතු බව ද හෙතෙම කීවේය. අනෙකුත් ඇළ මාර්ග වසර තුනක් තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් උමං මාර්ගය පමණක් වසර හයක් ක‍්‍රියාත්මක වුවහොත් උතුරුමැදට ජලය සැපයීම ප‍්‍රමාද වන බවත් ඉංජිනේරු ඞී. බී. විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment