චෙන්නායි ‘කොටි’ සිංහල මහීෂ්ට කලබලවීම

1340

මහීෂ් තීක්ෂණ ජාත්‍යන්තර එක්දින වරම් හිමිකර ගත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් 07 වැනිදාය. දකුණතින් පිටදඟ පන්දු යවන ක‍්‍රීඩකයකු වූ හෙතෙම ශ‍්‍රී ලංකාව හා දකුණු අප‍්‍රිකාව අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිල් ජර්සියෙන් සැරසෙන විට 21 හැවිරිදි වියේ පසුවිය. පළමු තරගයේ පළමු පන්දුවෙන්ම දකුණු අප‍්‍රිකා පිතිකරුවෙකු දවාගත් ඔහු වාර්තාවක් තැබූ ආකාරය අපට මතකය. කෙටි කාලයකින්ම පිටදඟ පන්දු යවන්නෙකු ලෙස සුපිරි දස්කම් දැක්වූ මහීෂ් අද ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රමුඛ චරිතයක් බවට පත්ව ඇත. මේ දක්ෂතා නිසා ඔහුව චෙන්නායි සුපර් කිං පිලට මිලදී ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 70කටය. වනිඳු හසරංග අලෙවි වූයේ ඉන්දීය රුපියල් කෝටි දහයකටය. කවරක් නමුත් ශ‍්‍රී ලංකා හමුදාව නියෝජනය කරන සිංහල ක‍්‍රීඩකයකු චෙන්නායි පිලට බඳවා ගැනීම කොටි හිතවාදීන් කුලප්පු කර ඇත. ගජබා රෙජිමේන්තුව නියෝජනය කරන මේ තරුණ ක‍්‍රීඩකයාත් යුද අපරාධකරුවකු ලෙස කොටි හිතවාදීහු හංවඩු ගසා ඇත. කොටි හිතවාදී උන්මත්තකයන්ගේ ප‍්‍රචාර ට්විටර් සමාජ ජාලයේ දක්නට ලැබේ. #Boycott ChennaiSuperKings මැයෙන් මේවා ප‍්‍රචාරය වේ. චෙන්නායි සුපර් කිංග්ස් හි නිල ට්විටර් ගිණුම හරහා මහීෂ් තීක්ෂණගේ ඡායාරූපයක් බෙදා ගනිමින්, ‘මහේෂ් අපේ පිලට’ මැයෙන් ප‍්‍රචාරය වීමත් සමග කොටි හිතවාදීන් කලබලයට පත්ව තිබේ.

ෂෙරිෆ් අලි බින් නම් පුද්ගලයෙක් සිය ට්විටර් ගිණුමේ ”දෙමළ ජාතික ධීවරයාට වධ දී මරා දැමීම, දෙමළ විරෝධතාකරුවන් දූෂණය කිරීම සහ වධ හිංසා කිරීම යන නිල නොවන ප‍්‍රතිපත්තියක් ඇති බෞද්ධ රට’ යනුවෙන් ලියා මහීෂ් තීක්ෂණගේ සේයාරුවක් පළ කර ඇත. මෙයින් කියවෙන්නේ මහීෂ් චෙන්නායි කණ්ඩායමෙන් ඉවත්කළ යුතු බවය. තවත් කොටි හිතවාදියෙක් මෙසේ ලියා ඇත. ‘පකිස්තාන් ජාතිකයන්ට අයි. පී. එල්. තහනම් කර ඇත්තේ ඔවුන් ඉන්දියාවේ සතුරන් නිසා ය. නමුත් දෙමළාගේ සතුරන් වන ශ‍්‍රී ලංකා රාජ්‍යය ජාත්‍යන්තර තලයේ තම අපරාධ සුදු හුණු ගෑමට මෙම ක‍්‍රීඩාව භාවිතා කරයි, මෝඩයන් ගණන් ගන්නේ නැත! දැන් චෙන්නායි පිලේ පවා සිංහල ක‍්‍රීඩකයෙක් ඇත. දෙමළ අය නැත !’ තවත් ට්විටර් පණිවුඩයක මෙසේ විය. ‘අපේ දෙමළ ජනතාව දස දහස් ගණනක් සමූලඝාතනය කළ රට තුළ’ තවමත් යුක්තිය ඉටු නොවී, #GenocideSrilanka නියෝජනය කරන ක‍්‍රීඩකයාට ඉඩ දීම ගැන ඔබ ලැජ්ජා විය යුතුය! CSK ට මගේ ගෞරවය නැති වුණා’’ සවිතා සිවන්දර් සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණේ සිංහලයන්ට චෙන්නායි පිලේ ඉඩ නැත යනුවෙනි. ඇත්තෙන්ම 2008 දී පිහිටුවනු ලැබූ චෙන්නායි පිලට නායකත්වය දුන්නේ දෙමළ ජාතිකයකු නම් නොවේ. කොටි හිතවාදීන් මහීෂ් තීක්ෂණගේ ප‍්‍රශ්නය චෙන්නායි පිලේ ප‍්‍රධාන විධායක කාශි විශ්වනාත් වෙත ඉදිරිපත් කළ යුතුය. එසේ නොමැතිව සිංහල විරෝධය උලූප්පා දැමීමෙන් පලක් නොවේ.

පසුගිය වසරේ යොහානි සිල්වාගේ මැණිකේ ගීතය ඉන්දියාවේ ඉතා ජනප‍්‍රිය වූ විටත් කොටි හිතවාදී බලවේග කලබලයට පත්විය. මන්ද මේ සිංහල ගායිකාව ජෙනරාල් ප‍්‍රසන්න සිල්වා මහතාගේ දියණිය වීම නිසාය. යුද විරුවාගේ දියණිය ගීත ගයා ඉන්දියාව කැළඹීම උග‍්‍ර කොටි හිතවාදීන්ට ප‍්‍රශ්නයක් විය. මේ ගැන ඔවුන් එදා පළ කර තිබූ ට්විටර් පණිවුඩ මගින් හෙළිව තිබිණි. එක පණිවුඩයක දැක්වුණේ දෙමළ ඊළාම් ප‍්‍රජාව යොහානිට වසඟ නොවිය යුතු බවයි. ඒ ඇගේ පියා නිසාය. 2009 මැයි මාසයේ උතුරේ සටන් බිමේ මෙහෙයුම් කළ හමුදා නායකයන්ගේ ඡායාරූප පවා දමමින් ට්විටර් හරහා මැණිකේ විරෝධය ඉස්මතු කෙරිණි. අද මහීෂ්ට විරෝධය පළ කරන්නේ ගජබා රෙජිමේන්තුවේ සේයාරූ පළ කරමිනි.

ක‍්‍රීඩාවට ජාතිය ආගම හෝ දේශපාලනය ගාවන්නේ නැත. එය අශිෂ්ට ක‍්‍රියාවකි. නමුත් මේ ජාතිවාදීන් එම සදාචාරය නොහඳුනති. 2013 වසරේදී ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර කාඩිෆ් ක‍්‍රීඩාංගණයේ පැවති ක‍්‍රිකට් තරගයට කඩා වැදුණු කොටි හිතවාදීන්ගේ ප‍්‍රකෝපකාරී හැසීරීම අපට අමතක නැත. එදා එංගලන්තයේ වෙසෙන සිංහල තරුණ පිරිසක් මේ අන්තවාදීනට එරෙහිව හොඳ උත්තරයක් ලබා දුන්හ. කොටි හිතවාදීන් ශ‍්‍රී ලංකා කණ්ඩායමටත්, තරගය බැලීමට ගිය සාමකාමී ශ‍්‍රී ලාංකිකයන්ටත් එරෙහිව කාඩිෆ් පිටිය අසලදී එල්ල කළ මැර තර්ජන එල්ල කරන අයුරු රූපවාහිනිය මගින් දැකගන්නට හැකිවිය. මියගිය ප‍්‍රභාකරන්ට පණ දෙන්නට උත්සාහ කරන මොවුහු සිංහල ක‍්‍රීඩකයන්ටත් වෛර කරති.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment