චේතනාගේ වෛවර්ණ නාරී

1508

වෛවර්ණ නාරි මා රතදර සලා
සක්මන් කළා පියුමන් තබා
සඳසාර වත රූ කමලේ සිත්තම් බලා
සැනසෙන්න ශෘංගාරෙන් මත්වී මා හා සරා

ජනප‍්‍රිය ගායන ශිල්පිනියක් වන චේතනා රණසිංහ ‘වෛවර්ණ නාරි’ නමින් ඇගේ නවතම ගීත නිර්මාණය පසුගිය පළමුවැනිදා එළිදැක්වූවාය. ඉහතින් දැක්වෙන්නේ එම ගීතයෙන් උපුටා ගන්නා ලද විචිත‍්‍රවත් පද පේලි කිහිපයකි.

‘වරින් වර සංගීත කටයුතු වල නිරත වුණත් වසර පහක් වගේ කාලයක් මම අලූතින් නිර්මාණයක් කළේ නැහැ. කාලයක් තිස්සේ මගේම ගීත නිර්මාණයක් එළිදැක්වීමේ වුවමනාවක් මට තිබුණා. ඒ නිසා තමයි වෛවර්ණ නාරී ගීතය සහ මියුසික් වීඩියෝව නිර්මාණය කළේ’ මෙම ගීතයේ පද නිර්මාණය ශෙහාන් ගලහිටියාව විසින් සිදු කර ඇති අතර පසන් ලියනගේ විසින් සංගීතවත් කර ඇත.

කුඩා කාලයේ සිටම ගීත ගායනයට කැමැත්තක් දක්වන චේතනා දෙරණ ඞී‍්‍රම්ස්ටාර් (සීසන් වන්) තරඟාවලිය හරහා පේ‍්‍රක්ෂක ආකර්ෂණය දිනාගෙන

ඇගේ සංගීත ජීවිතය ආරම්භ කළාය. එම තරඟයේදී අවසන් එකොළොස් දෙනා දක්වා එන්නට සමත් වූ ඇය අනතුරුව රූපවාහිනී සංගීත වැඩසටහනක නිවේදිකාව ලෙසින් ද කටයුතු කළාය. ඉඩක් ලැබෙන සෑම අවස්ථාවකදීම විවිධ සංගීත ප‍්‍රසංග පවත්වමින් ගීත ගායනා කරමින් නිරන්තරයෙන් සිය ගායන කෞශල්‍යය වර්ධනය කර ගත් දක්ෂ තරුණියක් වන චේතනා මේ වන විට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කලා උපාධිධාරිනියක් සහ සංගීත විශාරදවරියක් ද වේ.

‘මම පොඩි කාලේ ඉඳන්ම ගීත ගායනයට කැමති කෙනෙක්. ගායන ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෙලා කටයුතු කරද්දි මට අවුරුදු දහසයක් විතර ඇති. මීට කලිනුත් මම ගීත නිර්මාණ කිහිපයක්ම කරලා තියෙනවා. ‘නිල්වන් ජලාශේ’ මගේ සැමියා එක්ක එකතු වෙලා කරපු ගීතයක්. ඊට අමතරව නොකිව් ආදරේ ලෙසිනුත් ගීතයක් කළා.”

වර්තමානයේ රසිකයින් විසින් මැය හඳුනාගනු ලබන්නේ ගායන ශිල්පී කසුන් පැස්කුවල්ගේ බිරිඳ ලෙසයි. එසේත් නොමැතිනම් ජනප‍්‍රිය සහ ප‍්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මහතාගේ ලේලිය ලෙසයි. වොලී බැස්ටියන්ගේ මිණිපිරියක්ද වන චේතනා සිය ගායන හැකියාව පරම්පරාවෙන් ලත් දායාදයක් බව ද සිහිපත් කළාය.

චේතනාගේ වෛවර්ණ නාරී

‘විරහ ගීත රැුල්ලක් නිර්මාණය වන යුගයක මගේ ගීතය ආදරය කියන තේමාව ඔස්සේ අලූත් විදිහට කරන්න බලාපොරොත්තුවක් තිබුණා. ඒ නිසා විචිත‍්‍රවත් ලෙසින් මේ ගීතයේ රූප රචනය සිදු කළා. සදේශ් බණ්ඩාර තමයි මියුසික් වීඩියෝ එක කළේ. ගීතය වගේම වීඩියෝ එකත් වෛවර්ණ ලෙසින් හැඩ ගන්වන්න සදේශ් බණ්ඩාර, අසංග ද සිල්වා, වෙනුක යසස් වික‍්‍රමාරච්චි යන පිරිස විශාල සහයෝගයක් දැක්වූවා.’

ගායනයෙන් තම හැකියාවන් ප‍්‍රදර්ශනය කරන අතරම, චේතනා පැතුම් ජනිත් සමග මෙම ගීතයේ රූප රචනය සඳහා ද නර්තනයෙන් එක් වන්නීය. ගායනයට මෙන්ම නර්තනයට ද අවස්ථාව ලැබීම නිසා අන් නිර්මාණ වලට වඩා මේ ගීත නිර්මාණය තමාට සුවිශේෂී බව චේතනා පැවසුවාය.

‘මම විනෝදාංශය විදියට තමයි ගායනය තෝරා ගත්තේ. කවදාවත් සංගීතය අතහරින්න අදහසක් නෑ. දැන් සංගීතය මගේ ජීවිතයේම කොටසක් වෙලා. ඒ වුණත් වෘත්තියක් ලෙසින් ගායනය තෝරාගන්නෙ නැහැ. මම පුද්ගලික ආයතනයක රැුකියාවක් කරනවා. නමුත් ඒ නිසා සංගීත කටයුතු නවත්තන්නේ නැහැ.’

වෛවර්ණ නාරි ගීතය සඳහා මේ වන විට ප‍්‍රවීණයන්ගෙන් මෙන්ම රසික රසිකාවියන්ගෙන් ඉහළ ප‍්‍රතිචාර ලැබෙමින් පවතින බවත්, තවමත් එම ගීතය රස නොවිඳි කෙනෙක් සිටී නම් යූටියුබ් සහ සමාජ මාධ්‍ය ඔස්සේ එම ගීතය රසවිඳින ලෙසත් ඇය ආරාධනය කරයි.

‘මේ ගීතයට වගේම මගේ සංගීත කටයුතුවලට කසුන් විශාල

සහයෝගයක් ලබා දෙනවා. ඔහුත් ගායන ශිල්පියෙක් නිසා මට ඔහුගෙන් ලැබෙන සහයෝගය අතිවිශාලයි. ඒ වගේම මට උදව් උපකාර කරපු හැම දෙනාටමත්, මගේ නිර්මාණ රසවිඳින මාව අගය කරන හැම දෙනාටමත් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.’

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment