චේතිය රජුගේ වත්මන් කතාවක්… ගුරු සේවයේ රස කතා

675

අතීතයේ මුළු පළාතේ හොඳම පාසල් අතලොස්සෙන් එකක් වූ එම මහ විදුහල බලා සිටියදී ගරා වැටෙන්නට පටන් ගත්තේය. කීර්තිධර විදුහල්පතිතුමා උසස්වීමක් ලැබ විදුහලට ආයුබෝවන් කීවේය. ඇදුරු මඩුල්ලේ සිටි අති දක්ෂ ගුරුවරු හතර දෙනෙක් එකවර විශ‍්‍රාම ලැබූහ. තවත් එවන් ගුරුවරු හය දෙනෙක් වසර අවසානයේ මාරුවීම් ලැබ නික්ම ගියහ. ඇබෑර්තු නොපිරවිණි. දෙමාපියන් බලවත් ප‍්‍රයත්න දරා ගුරුවරු කිහිප දෙනෙක් ලබා ගත්ත ද පෙර සිටි ගුරුවරුන්ගේ හිදැස පිරවීමට ඔවුහු සමත් නොවූහ. හරි හමන් විදුහල්පතිවරයෙක් නොවූයෙන් නියෝජ්‍ය විදුහල්පතිට වැඩ භාරදීමට අධ්‍යාපන ලොක්කන්ට සිදුවිය. විදුහලේ පරිහානිය ඒ සමග ඇරඹිණි.

දවසින් දවසම ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වෙද්දී වැඩ බැලූ විදුහල්පති ද විශ‍්‍රාම ගියේය. එවකට සිටි නියෝජ්‍ය විදුහල්පති වැඩ භාර ගැනීම තරයේම ප‍්‍රතික්ෂේප කළෙන් අධ්‍යාපන ලොක්කා බලවත් අමාරුවක වැටුණේය.

ශිෂ්‍ය සංඛ්‍යාව දවසින් දවස අඩු වී 20-25කට වැටි තිබූ එක් ප‍්‍රාථමික විදුහලක් ප‍්‍රදේශයේ තිබුණි. අධ්‍යාපන ලොක්කා එහි විදුහල්පති කාර්යාලයට කැඳවීය.

‘‘දැන් කීයද එහේ ශිෂ්‍ය සංඛ්‍යාව?’’ හේ ඇසීය.

‘‘දහසයයි සර්’’ විදුහල්පතිගේ පිළිතුරයි ඒ.

‘‘අහවල් ස්කෝලෙ ළමයි දෙදහස් පන්සීයක් හිටියලූ අහවල් පි‍්‍රන්සිපල් කාලෙ. දැන් දෙසීයකුත් නෑ. තමා එතැන විදුහල්පති හැටියට පත් කරලා ඕක වහලා දානන් මම තීරණය කළා’’ ප‍්‍රධානියා කීවේය.

‘‘මම කැමැතියි සර්. මම ඒ ස්කෝලෙ හදනවා.’’ විදුහල්පති කීවේය.

‘‘ඇයි ඉතින් ඔය ඉන්න තැන හදන්න බැරි වුණේ? තමාට ස්කෝලෙ භාරදෙන කොට ළමයි දෙසිය පනහක් විතර හිටියනේ. මාස කීයකටද ඔය දහසයට බැස්සෙ?’’ ප‍්‍රධානියා ඇසුවත් විදුහල්පති උත්තර දුන්නේ නැත.

ඒ අනුව අධ්‍යාපන ප‍්‍රධානියා එම විදුහල වසා දමා ඔහු යටකී මහ විදුහලේ විදුහල්පති ලෙසින් පත් කළේය.

ඔහු තම අබලන් යතුරුපැදියෙන් පාසලට ආවේය. එය මිදුලේ අඹගස යට නතර කළ හෙතෙම සිය බෑගයද රැගෙන කාර්යාලයට ගොඩවිය. රාජකාරි කටයුතු භාර ගත්තේය.

ජංගම දුරකථන මෙරටට හඳුන්වාදුන් සමයේ රටපුරා බොහෝ දෙනෙකුට තිබුණේ ‘ගඩොල් භාගය’ යන නමින් හඳුන්වන ලද විශාල එකකි. මෙම විදුහල්පතිවරයාට ද එවන් ජංගම දුරකථනයක් තිබිණි.

හේ එම ජංගම දුරකථනය සුරතින් දරාගෙන මහේශාක්‍ය ලීලාවෙන් විදුහල පුරා ඇවිද්දේය. පංතිවල උගන්වමින් සිටි ගුරුවර ගුරුවරියෝ මුහුණින් මුහුණ බලාගනිමින් සිනාසුනහ. විවිධ ඉඟිබිඟි පෑහ. සිසුනට එම දසුන මහා විහිළුවක් වූ සෙයකි. ඔවුහු අසුන්වලින් නැඟිට ඉස්සි ඉස්සී බලන්නට වූහ.

විවේක කාලයේදී හෙතෙම ගුරු විවේකාගාරයට පැමිණියේය. ‘‘සර්… තේ ටිකක් බොමුද?’’ ගුරුවරියක් ඇසුවාය.

‘‘බොමු බොමු. ඔහේල මාව හඳුනනවාද?’’ හේ ඇසීය.

‘‘නෑ…. දැකලා නම් තියෙනවා…. නිච්චියක් නෑ.’’ සමහර ගුරුවරු එසේ කියද්දී ‘‘මම නම් හොඳට දන්නවා’’ විශ‍්‍රාම යෑමට ආසන්න වියේ ගුරුවරයෙක් කීවත් විදුහල්පති එය නෑසුනාක් මෙන් සිටියේය. ‘‘මම මේ ජොබ් එක කරන්න ඕන කෙනෙක් නෙවෙයි. මට මාතර කොළඹ දුවන ඒ. සී. බස් හතරක් තියෙනවා. දෙනියායෙ තේ අක්කර පනහක් තියෙනවා. ඒ ඔක්කෝටම වඩා ඔහේල ඔක්කෝම විශේෂයෙන් මේ මිස්ලා දැනගන්න ඕන කාරණයක්. මට දෙනියායෙ ලොකු සාප්පුවක් තියෙනවා. ඉලෙක්ටි‍්‍රක් බඩු ටී. වී. ෆි‍්‍රජ් වොෂින් මැෂින් සොයිං මැෂින් ඕන දෙයක් තියෙනවා. වෙළෙඳපොළේ මිලට වඩා භාගයක් අඩුවෙන් දෙන්න පුළුවන්.’’ හේ එසේ කියාගෙන කියාගෙන යද්දී ගුරුවරු ඉඟි මැරූහ. ගුරුවරියෝ ‘‘මේ නම් අපට පහළ වූ කප් රුකක්’’ යැයි සිතන්නට ඇත.

විදුහල්පති කාර්යාලයට ගියේය. යටකී වයෝවෘද්ධ ගුරුවරයා කතාව ඇරඹීය.

‘‘කතාවට නම් කෝටිපතියා කොහොමද කලිසම කමීසෙ සෙරෙප්පු දෙක බලපල්ලා මෑන් පෙන්ෂන් යනතුරු අඳින්නෙ ඕක නෙවෙයිද කියලා. අර බයික් එක බලාපල්ලා. කෑලි මඟ හැලෙනවා. ලොකු දූලා දෙන්නෙකුත් එක්ක ඉන්නෙ මැටි ගහපු පුංචි ගේක. ගෙයක් හදනවා අවුරුදු විස්සක් තිස්සෙ. තාම බිත්ති හතර විතරයි. අහපල්ලා ඔය මහ ලොකු සාප්පුව තියෙන්නෙ කොහේද කියලා. පලයල්ලා මොනවා හරි ඉලෙක්ටි‍්‍රක් බඩුවක් ගන්න. මෑන්ට කියන්නෙ චේතිය රජ්ජුරුවෝ කියලා. අල්ලෙ පැළවෙන බොරු කියන්න හරිම දක්ෂයි. ඒවා අහු වුණත් කිසිම ලජ්ජාවකුත් නෑ.’’

විදුහල්පතිගේ පුරසාරම් කෙළවරක් නැත. දැන් දැන් ගුරුවරු ඒවා අසා සිටින්නේ ද නැත.

මිදුලේ අඹ ගස යටට යන ඔහු සිය ජංගම දුරකථනයෙන් නිතර නිතර කතා කරයි. සිසු කැලට එය මහා විනෝදයක් වූ සෙයකි. එය සෙල්ලම් දුරකථනයක් බවට ගුරුවරු සැක කළහ.

‘‘කෝල් එකක් ගන්න ෆෝන් එක ඉල්ලපල්ලා. නැත්නම් එයාගෙ නම්බර් එක ඉල්ලපල්ලා’’ වයෝවෘද්ධ ගුරුවරයා කීවේය.

‘‘සර්ම ඒක කරන්නකො’’ ගුරුවරියෝ කීහ.

ඒ මොහොතේම විදුහල්පති ගුරු විවේකාගාරයට ආවේය.

‘‘සර්…. මං දුවට හදිසි පණිවුඩයක් දෙන්න තියෙනවා. මට සර්ගෙ ෆෝන් එක ටිකකට දෙනවද?’’ ඒ එම වයෝවෘද්ධ ගුරුවරයාය.

‘‘අනේ…. මිස්ට…. එක්ස්ටී‍්‍රම්ලි සොරි. බැටරිය හොඳටම ලෝ. නෝනාගෙන් කෝල් එකක් එන්න තියෙනවා. ඔහේ හන්දියෙ තැපැල් කන්තෝරුවට දුවලා එන්න. මෙන්න යතුරු’’ හේ තම යතුරුපැදියේ යතුර ඔහුට දෙමින් කීවේය.

පරාජයට පත්වූ ගුරුවරයා විදුහල්පතිගේ යතුරුපැදියෙන් හන්දියට ගොස් කඬේකින් තේ පානය කැර පුවත්පත් ද කියවා ආපසු එන්නට සැරසුණේය. අභාගයකි. අබලන් යතුරුපැදිය පණගැන්වීම උගහට විය. සැතපුමක් පමණ දුර එය තල්ලූ කරගෙන ඒමට ඔහුට සිදුවිය.

‘‘හොඳ වැඬේ…. ඕන නැති පරීක්ෂණ කරන්න යනවට’’ ගුරුවරියක් කීවාය.

දින ගණනාවක් පාසලට නොපැමිණි විදුහල්පති ඊළඟ සඳුදා පාසලට ආවේ බසයෙනි. ඒ අතකුත් කරේ එල්ලාගෙනය . ‘‘මේ මොකේ සර්?’’ සැවොම විස්මයෙන් කුතුහලයෙන් ඇසූහ.

‘‘බයික් එක ට‍්‍රැක්ටරේක හැපුණා. සතියක් ඉස්පිරිතාලෙත් හිටියා.’’ හේ කීවේය.

‘‘කොහේදිද සර්?’’ ගුරුවරියක් ඇසුවාය.

‘‘ අහවල් හන්දිය ළඟදි’’

‘‘අපේ ගේ තියෙන්නෙ එතැනනේ. ඇක්සිඩන්ට් එකක් ගැන කිසිම ආරංචියක් වුණේ නෑ.’’ ගුරුවරයෙක් කියද්දී විදුහල්පති එතැනින් නික්ම ගියේය.

අල්ලපු ගෙදර සමග ආරවුලකට ගොස් එහි තරුණයෙක් පොල්ලකින් ගසා විදුහල්පති රෝහල්ගතව සිටි බව පසුව ගුරු මණ්ඩලය දැන ගත්හ. ඒ අදාළ රාජකාරිය සඳහා පාසලට පැමිණි පොලිස් නිලධාරියකුගෙනි.

පාසලේ සිසුවෙක් එම පාසලේම සිසුවියකගේ නිවසට රිංගා ඇයට අතවරයක් කරන ලදුව සිසුවිය රෝහල්ගත කළ අතර සිසුවා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. එම පාසලේම ගුරුවරයෙක් සිසුවා සමග ඇති පෞද්ගලික සම්බන්ධතාව මත කි‍්‍රයාත්මක විය. විශාල මුදලක් වැය කර සිසුවා බේරා ගැනීමට හේ සමත් විය.

විදුහල්පති අපූරු රාජකාරියක් කළේය. සිසුවා ලවා තමා ඇතුළු ගුරු මණ්ඩලයට වන්දවා කළ වරදට සමාව ගන්වන ලදී. සිසුවියගේ මව රවටා ඇය ලවා ලියුමක් ලියවා අත්සන් ගෙන සිසුවිය පාසලෙන් අස් කරන ලදී.

‘‘අනේ බුදු සර්… කෙල්ලගෙ විභාගෙ ඉවර වෙන කල්වත්……’’

ඒ බව වැඳ වැටෙමින් කීවද ඔහුගේ තීරණය වෙනස් නොවීය.

‘‘මේක පාසලට අදාළ නැති සිදුවීමක්. අපට පැත්තක් ගන්න බෑ. අපි ගන්නවා නම් ගන්න ඕන ගෑනු ළමයාගෙ පැත්ත.’’ යටකී වයෝවෘද්ධ ගුරුවරයා කීවද සෙසු ගුරු භවතුන්ගෙන් ඔහුට සහායක් පළ නොවීය.

‘‘වන්නි…. අපි මේ හැම පි‍්‍රන්සිපල් කෙනෙකුගෙම ගෙදර ගිහින් තියෙනවා. තාම යන්න බැරි වුණේ උඹලගෙ ගෙදර විතරයි. හෙට පෝයනේ. අපි පස්දෙනෙක් උඹලගෙ ගෙදර එනවා.’’ එදා විදුහල්පති රැස්වීම අවසන්ව එළියට බසිද්දී සහෝදර විදුහල්පතිවරයෙක් කීවේය.

‘‘මට හෙට දවසෙම දෙනියායෙ පංති’‘ හේ කීවේය.

‘‘බොරු කියන්න එපා. හෙට පෝය. මොන පංතිද? අපි එනවා. අපට හැම් බේකන් ඕන නෑ. අර වත්ත පහළ තියෙන මයියොක්කා පඳුරක් ගලවලා තම්බලා හොඳ පොල් සම්බෝලයක් හදලා තියපං. අපි බෝතල් දෙකක් අරගෙන එන්නම්.’’ විදුහල්පතිවරු කීහ.

‘‘අනේ බෑ මචං තාම ගෙයි වැඩ ඉවරත් නෑ. අපි දෙන්නයි අර කෙල්ලො දෙන්නයි ඉන්නෙ අර පොල් අතු මඩුවෙනේ. ගේ හදලා ඉවර වෙලා මම උඹලට ගේ‍්‍රට් පාටියක් දෙන්නම්.’’ ඔහු කීවේය.

‘‘අපි එන්නෙ ගෙවල් දොරවල් බලනන් නෙවෙයි. නොවරදාවම හෙට ගෙදර හිටපං අපි එනවා’’ විදුහල්පතිවරු තරයේම කීහ.

පසුදින උදේ නගරයට ආ විදුහල්පතිවරු පස්දෙනෙක් අරක්කු බෝතල් දෙකක් ද ඔහුට වටිනා ත්‍යාගයක් ද මිලදී ගෙන සිය යතුරුපැදිවලින් ගමනාරම්භ කළහ.

‘‘පොර ගෙදර නෑ. දොරට ඉබ්බත් දාලා.’’ මිදුලේ යතුරුපැදිය නවතමින් එක් විදුහල්පතිවරයෙක් කීවේය.

‘‘මාර පුතයා අපි අච්චරත් කියලා.’’ ඒ තවත් විදුහල්පතිරයෙකි.

‘‘දැන් දැන් ගිහින් තියෙන්නෙ. වතුර බේරෙන ඇඳුම් වගයක් පිළිකන්නෙ රෙදි වැලේ තියෙනවා.’’ ගේ වටා ගොස් පරීක්ෂා කර පැමිණි තවත් විදුහල්පතිවරයෙක් කීවේය.

‘‘ඔය දැන් හිටියෙ.’’ අල්ලපු ගෙදරින් විමසන ලදුව ඔවුන් ලද පිළිතුරයි ඒ.

‘‘මුන් දෙන්නා ගේ ඇතුළෙ ඇති.’’ කී එක් විදුහල්පතිවරයෙක් ආලින්දයේ තිබූ පුටුවකට නැඟ වහලේ එල්ලී බිත්තියට උඩින් බැලූවේය.

‘‘පොර ඉන්නවා මචං’’ හේ කීවේය.

විදුහල්පතිවරු මොන තරම් කතා කළ ද දොර ඇරියේ ඔහු නොවේ. ගෙදර නැති විදියටම සිටියේය.

‘‘බොරුවට නිදාගන්න එක. අවදි කරවන්න බැහැනෙ. අපි යමු. මචං වන්නි…. මෙන්න උඹට ගෙනා තෑග්ග මේ පුටු උඩ. ඔන්න අපි ගියා.’’ කී විදුහල්පතිවරු ත්‍යාගය තබා නික්ම ගියහ.

නුදුරු හන්දියට ගිය ඔවුහු එහි හෝටලයෙන් තේ බී සිය යතුරුපැදි එහි තබා විදුහල්පති නිවස වෙත පාගමනින් පැමිණියහ.

‘‘තෑග්ග නම් පුටුව උඩ නෑ. දොරේ ඉබ්බා නම් එහෙමමයි. පිටිපස්සෙ දොරෙන් ඇවිත් ගන්න ඇති.’’ කී එක් විදුහල්පතිවරයෙක් හීං සීරුවේ නිවෙස පිටුපසට ගියේය.

එහි දොර විවෘතය. හේ ඇතුළට ගියේය.

‘‘මචං… මූ ඉන්නවා.’’ තමන් තබා ගිය ත්‍යාගය ලිහා බලමින් සිටි විදුහල්පති හා බිරිඳ දකිමින් ඔහු කෑ ගසා කීවේය.

අනෙක් විදුහල්පතිවරු ද පිටුපස දොරින් ගෙට ඇතුළු වූහ. ‘‘කමක් නෑ. මචං… අපි යන්නම්’’ කී ඔවුහු නික්ම ගියහ.

මීට දශක දෙකකට පමණ පෙර මාතර පළාතේ නිල්වලා නදී අසබඩින් වාර්තා වූ සිද්ධි දාමයකි.

කේ. ඩබ්ලිව්. ගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment