චෝදනා ඇති ඊටීඑෆ් නිලධාරීන් දෙදෙනා ගැන කෝප් හරහා පරීක්ෂණයක් කරන්න!

250

වෘත්තීය සමිති ඉල්ලයි

කූට ලේඛන සකසා වෛද්‍ය බිල්පත් ප්‍රතිපූර්ණය කිරීම හා එවැනිම කූට ලේඛන සකසා උසස් තනතුරකට පත්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සේවා නියුක්තියන්ගේ භාර අරමුදල මණ්ඩලයේ උසස්ම නිලධාරීන් දෙදෙනෙකු සම්බන්ධයෙන් එහි අභ්‍යන්තර විගණන අංශය සිදු කරන විමර්ශන කෝප් කමිටුව මගින් සිදු කිරීමට පියවර ගන්නැයි වෘත්තීය සමිති එහි සභාපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

එවැනි බරපතළ චෝදනා එල්ලවී තිබියදී එම නිලධාරීන් දෙදෙනා අනිවාර්ය නිවාඩු යවා විමර්ශනයක් සිදු කළ යුතු වුවත් එලෙස නොකර සේවයේ තබාගෙනම සිදු කරන විමර්ශනවලට ඔවුන් අනීතික ආකාරයෙන් බලපෑම් කරනා බව පෙනී යන බැවින් අපක්‍ෂපාතී විමර්ශනයක් සිදුවීම සම්බන්ධයෙන් තමන්ට කිසිදු විශ්වාසයක් නොමැති බව පෙන්වා දෙමින් වෘත්තීය සමිති සංගම් නායකයෝ හා ක්‍රියාකාරී සාමාජිකයෝ එම ඉල්ලීම කරති.

මීට පෙර ද එවැනි කූට වෛද්‍ය බිල්පත් ඉදිරිපත් කර ඇති බවට කරුණු ඉදිරිපත්වීම නිසා එකී ගෙවීම් අත්හිටුවා ඇති බවත් අනෙක් නිලධාරියා මීට පෙර සේවය කළ ආයතනයෙන් ඉවත් කර ඇත්තේද එවැනි වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් චෝදනා මත බවත් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, වාණිජ කර්මාන්ත හා සේවා සංගමය, සමගි සේවක සංගමය හා ජාතික සේවක සංගමය ලිඛිතව කියා තිබේ.

තවද එම නිලධාරියකු ගිනුම් යාවත්කාලීන කිරීම සඳහා අධ්‍යක්‍ෂ මණ්ඩලය ලබාදෙන ලද උපදෙස් වැරදි ආකාරයෙන් කාර්ය මණ්ඩලයට ලබාදීම නිසා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් තරයේ අවවාද කර තවදුරටත් ඔහුගේ සේවය අවශ්‍ය නොවන බවට අධ්‍යක්‍ෂ මණ්ඩලය දැනුම් දී ඇති අයකු වන්නේ යැයිද මණ්ඩලයේ සභාපති ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී වෘත්තීය සමිති ලිඛිතව හා වාචිකව කියා තිබේ.

ඉහළ නිලධාරීන් එලෙස ක්‍රියා කරන විට පහළ නිලධාරීන් සඳහා ලබාදෙන උපදෙස් පිළිගැනීමක් නොකරන බැවින් ආයතනයේ විනය හා කාර්යක්‍ෂමතාවය පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් වෘත්තීය සමිති කියයි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment