චෝදනා එල්ලවූ ලොක්කෙක් යළිත් ඖෂධ සංස්ථාවට!

209

ඖෂධ හිඟය ඇතුළු අර්බුද රැසක් රටේ තිබියදී දූෂණ චෝදනා එල්ල වූ හිටපු ප්‍රධානියකු දේශපාලන හිතවත්කම මත යළිත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

මෙම පත්කිරීම පසුගිය සිකුරාදා (15 දා) සිදුකර ඇති බවත් ප්‍රමිතියෙන් යුත් ඖෂධ නොසැපයීම නිසා අසාදු ලේඛන ගතවූ සමාගමක තහනම ඉවත්කර ගැනීම සහ එම සමාගමට රජයෙන් ගෙවිය යුතු රුපියල් මිලියන 500 ක් ලබා ගැනීමට මෙම පත්වීම සිදුකර ඇති බවත් එම ආරංචි මාර්ග කියා සිටී.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට මේ වනතෙක් මෙම තනතුරට හිටපු අයෙකු යළි පත්වී නොමැති බවත්, පත්වූ ප්‍රධානියාට එරෙහිව මීට පෙර චෝදනා එල්ලවීම නිසා කෝප් කමිටුව, අල්ලස් කොමිසම, ජනාධිපති කොමිසම සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව මගින් විමර්ශන සිදුකර ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

මෙම ප්‍රධානියා මීට පෙර මෙම තනතුරේ කටයුතු කරමින් සිටියදී එල්ල වී තිබූ චෝදනා හේතුවෙන් හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ සමයේ ඉවත්කර සිටි අයකු බවද, මෙම පත්කිරීම දේශපාලන හිතවත්කම මත සිදුකර ඇති බවත් එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment