චෝදනා තිබියදීත් OICට ඇමැතියි පොලිස්පතියි ‘කප්’ දීලා

685

වැඩ තහනමට ලක්කිරීම් ඇතුළු බරපතළ චෝදනා රැුසක් එල්ල වී තිබියදීත් ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා එම තනතුරට පත්කරද්දී ඔහු පළපුරුදු දක්‍ෂ නිලධාරියකු ලෙස පොලිස්පතිවරයා සහ මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් නිර්දේශ කර තිබූ බව මේ වන විට හෙළි වී ඇත.

පොලිස් නිල ඇඳුමින් සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන විජේසිංහ නමැත්තා ගන්දර පොලිස් ස්ථානාධිපති ධුරය සඳහා සුදුසු දක්‍ෂ නිලධාරියකු ලෙස නිර්දේශ කරමින් පොලිස්පතිවරයා විසින් ලිපියක් නිකුත් කර ඇත්තේ ඉකුත් ඔක්තෝබර් 26 වැනිදාය.

මෙම නිලධාරියා දක්‍ෂ පළපුරුදු නිලධාරියකු ලෙස ඇමැති සරත් වීරසේකර මහතාගේ අමාත්‍යාංශය මගින් ද පොලිස්පතිවරයාට නිර්දේශයක් එවා තිබී ඇත.

වැඩ තහනමට ලක්කිරීම් ඇතුළු බරපතළ චෝදනා රැසක් එල්ල වී තිබූ පොලිස් නිලධාරියකු දක්‍ෂ පළපුරුදු නිලධාරියකු ලෙස නිර්දේශ කර ඔහු ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්කිරීමට පොලිස්පතිවරයා සහ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය කටයුතු කිරීම ගැටලූ සහගත ක‍්‍රියාවක් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු කියා සිටිති.

වැල්ලවත්ත පොලිසියේ රාජකාරි කරද්දී මෙම නිලධාරියාට එරෙහිව ස්ථානාධිපතිවරයා විසින් සටහන් තැබූ පොලිස් පොත්වල කොළ ඉරා දැමීම සම්බන්ධයෙන් මොහු වැඩ තහනමට ලක්වී ඇත.

එමෙන්ම බගවන්තලාව, පිටබැද්දර, මාතර පොලිස් ස්ථානවල රාජකාරි කරද්දී අනියම් සම්බන්ධතා පැවැත්වීමට තම බිරිඳ යැයි පවසමින් කාන්තාවත් තම නිල නිවසේ නතර කර ගැනීම, කාන්තා නිලධාරිනියන්ට අයුතු යෝජනා සහ බලපෑම් කිරීම ඇතුළු තවත් චෝදනා රැුසක් මෙම නිලධාරියාට එල්ල වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment