චෝදනා නැති පාස්කු සැකකරුවන් වහා නිදහස් කළ යුතුයි

224

කිසිදු චෝදනාවක් නොමැතිව අත්අඩංගුවේ තබාගෙන සිටින පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් නීතිපතිවරයා විසින් වහාම නිදහස් කිරීමට කටයුතු කළ යුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ එච්. එම්. සුහයිර් මහතා “දිවයින ඉරිදා සංග්‍රහයට කියා සිටියේය.

ඇතැම් සැකකරුවන් කිසිදු චෝදනාවක් නොමැතිව වසර තුනහමාරකට වැඩි කාලයක් රඳවාගෙන සිටින අතර ඔවුන්ට චෝදනා නැත්නම් නිදහස් කිරීම නීතිපතිවරයාගේ වගකීම බවද සුහයිර් මහතා වැඩිදුරටත් පවසයි.

මේ සම්බන්ධයෙන් ඉරිදා දිවයින සංග්‍රහය”ට සුහයිර් මහතා මෙසේද කියා සිටියේය.

ඉකුත් 2019 සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් 2000කට අධික පිරිසක් අත්අඩංගුවට ගත්තා. මේ අයගෙන් බොහෝ දෙනෙක් ගත්තේ සාවාද්‍ය තොරතුරු මත විමර්ශනවලින් පස්සේ මේ අයගෙන් පිරිසක් පොලිසිය විසිනුත් තවත් පරිසක් නීතිපතිවරයා විසිනුත් තවත් කණ්ඩායමක් අධිකරණයෙනුත් නිදහස් කළා.

තවත් පිරිසක් ඇප නොමැතිව රඳවා සිටින අතර කිසිම චෝදනාවක් නොමැතිව තවත් පිරිසක් අත්අඩංගුවේ තබාගෙන සිටිනවා.

මේ බොහෝ පිරිසක් දුප්පත් මිනිස්සු. මේ පුද්ගලයන්ට එරෙහිව තිබෙන චෝදනා නඩු නීතිපතිවරයා විසින් කඩිනමින් විමසා බැලිය යුතුයි. ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති බවට කිසිම සාක්‍ෂියක් නොමැතිව චෝදනා නොමැතිව රඳවාගෙන සිටින අය වහාම යුක්තියේ නාමයෙන් නිදහස් කිරීමට කටයුතු කළ යුතු යැයි සුහයිර් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment