චෝදනා සේරම බොරු…අස්වුනේ ආණ්ඩුව ගැන හිතලා – රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ

2171

දිවයිනට විශේෂයි

“පිස්තෝල අරන් යන්න මට පිස්සුද?”

“මොන සුරූපිනියන්ද?”

“බන්ධනාගාරයේ පාතාල සංස්කෘතිය අපි නැති කළා”

“එතුමා මගෙන් ඇහැව්වා මොකද වුණේ කියලා”

පසුගිය සතියේ මෙරට වඩා කතාබහට ලක්වූ දේශපාලනඥයා බවට පත්වූයේ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ, සිරකරුවන් පුනරුත්ථාපනය රාජ්‍ය ඇමැතිවරයාව සිටි එමෙන්ම තවමත් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත ආශ‍්‍රිත රාජ්‍ය ඇමැති ලෙස කටයුතු කරන ලොහාන් රත්වත්තේ මහතාය.

බීමතින් වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වෙත ඇතුළු වීම, සිරකරුවන් දණගැස්සීම ඇතුළු චෝදනා ගණනාවක් ඔහුට එල්ල වී තිබිණි. රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතාට එල්ල වී ඇති එම චෝදනා සම්බන්ධයෙන් ”දිවයින ඉරිදා සංග‍්‍රහය” ඔහුගෙන් සෘජුව ප‍්‍රශ්න කළෙමු. පහතින් පෙළගැසෙන්නේ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා සමඟ ”දිවයින ඉරිදා සංග‍්‍රහය” කළ එම සාකච්ඡාවයි.

ප‍්‍රශ්නය:- වගකීමක්, විනයක් ඇතුව කටයුතු කළ යුතු රාජ්‍ය ඇමැතිවරයකු වන ඔබ ඒ සියල්ල පසුගිය සතියේ අමතක කළා නේද?

පිළිතුර:- එහෙම කියන්නේ කවුද?

ප‍්‍රශ්නය:- බීමතින් යාළු හිතමිත‍්‍රාදීන් පිරිසක් සමග වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වෙත අවතීර්ණවීම, සිරකරුවන් දණගැස්වීම ඇතුළු චෝදනා ගණනාවක් ඔබට එල්ල වී තිබෙනවා. එම චෝදනාවන්ට ප‍්‍රතිචාර දක්වමින් ඔබ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ සහ සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට මේ වන විට කටයුතු කර තිබෙනවා.

පිළිතුර:- මම ඉල්ලා අස් වූ ලිපිය දැක්කද?

ප‍්‍රශ්නය:- ඔබගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ වගේම ජනාධිපතිවරයා ඔබගේ ඉල්ලා අස්වීම පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.

පිළිතුර:- ඉල්ලා අස් වුණත් ඔය චෝදනා කිසිවක් මම පිළිගන්නේ නැහැ. එම සියලූ චෝදනා මම ප‍්‍රතික්ෂේප කරනවා. මම ඉල්ලා අස්වුණේ එල්ල වූ බොරු මඩ ප‍්‍රහාර හේතුවෙන් ආණ්ඩුව අපහසුතාවයට පත්වන නිසයි. විශේෂයෙන් ජනාධිපතිවරයා නොබෝ දිනකින් එක්සත් ජාතීන්ගේ මණ්ඩලය වෙත යෑමට නියමිතයි. එහි දී ප‍්‍රශ්නයක් සිදුවෙතැයි මතු වූ සිතුවිල්ල නිසා මම ඉල්ලා අස්වුණා. එහෙම නැතුව වෙන හේතුවකට නෙමෙයි.

ප‍්‍රශ්නය:- එතකොට ඔබ වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වෙත ගියේ නැද්ද?

පිළිතුර:- වැලිකඩට සහ අනුරාධපුර බන්ධනාගාර දෙකටම මම ගියා. එය මම ප‍්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඕනෑම බන්ධනාගාරයට යන්න මට අවසරය තියෙනවා. ඒකට කාගෙන්වත් අවසරයක් ගන්න අවශ්‍ය නෑ. මම වැලිකඩ හිරගෙදර වෙත ගියේ සිරකරුවන්ගේ සුබසාධනය ගැන බලන්න. සාමාන්‍යයෙන් එහි කිසිවකුට නොදන්වා තමයි එවැනි ගමන් මම යන්නේ. එහෙම නැතිව දන්වා යනවා නම් ඔවුන් මගේ පැමිණීම වෙනුවෙන් සූදානම් වෙනවා. එසේ වුවහොත් සිර ගෙවල් තුළ සත්‍ය තත්ත්වය වටහාගන්න මට ලැබෙන්නෙ නෑ. ඒ නිසා නොදන්වා මම වැලිකඩ සිරගෙදරට ගියා.

ප‍්‍රශ්නය:- වැලිකඩ බන්ධනාගාරය වෙත යනවිට සුරූපිනියක් සහ හිතවතුන් පිරිසක් එහි රැගෙන ගිය බව පැවසෙනවා. එසේම හිතවතුන්ට එල්ලූම් ගහ පෙන්වීමට අවශ්‍ය බව ඔබ සඳහන් කළ බව පැවසෙනවා. ආයුධ රැගෙන යෑම ඇතුළු තවත් චෝදනා ගණනාවක් එල්ල වෙනවා.

පිළිතුර:- බන්ධනාගාර නීතිය තුළ බන්ධනාගාර නිලධාරියෙකුට හෝ ආයුධයක් ඇතුළට ගෙනියන්න බැහැ. මම බන්ධනාගාරයක් වෙත යන විට මගේ ජංගම දුරකතනය හෝ රැගෙන යන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම බන්ධනාගාරයක් වෙත ගිය පසු පළමුව යන්නේ මුළුතැන්ගේ වෙත. මම බන්ධනාගාරයක් වෙත යන්නෙ සිරකරුවන්ගේ සුබසාධනය ගැන බලන්න මිස වෙන දේකට නෙවෙයි. ඔබ කියන විදිහට හිතවතුන්, හිතවතියන් කවුරුවත් මම එහි රැගෙන ගියේ නැහැ. වැලිකඩ බන්ධනාගාරය වෙත මා ගියේ හවස තුන හතරට විතර. ආයුධ රැගෙන කොට කලිසම් හැඳ එහි ගියෙත් නැහැ.

ප‍්‍රශ්නය:- ඔබ අනුරාධපුර බන්ධනාගාරය වෙත ගොස් එල්ටීටීඊ රැඳවියන් දෙදෙනකු එළියට ගෙන පිස්තෝලය ඔළුවට තබා තර්ජනය කළ බව සඳහන් වනවා.

පිළිතුර:- මිරිසවැටිය පන්සලේ තිබූ පිංකමක අවසන් දින දායකත්වය දැක්වූයේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය. මම එදා අනුරාධපුරයට ගියේ ඒ වෙනුවෙන්. මම අනුරාධපුර බන්ධනාගාරයේ ක්ෂේත‍්‍ර චාරිකාවක නිරත ව තිබුණේ නැහැ. එම නිසා අනුරාධපුරයට ගිය ගමන් අනුරාධපුර බන්ධනාගාරය වෙත ගියා. එහි සිරකරු සුභසාධනය සහ එහි කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීම මට අවශ්‍ය වුණා. කොට කලිසම් ඇඳගෙන, බීමතින්, යාළුවෝ සමඟ ආයුධ අරගෙන මා එහි ගියේ නැහැ. ඔය සේරම බොරු චෝදනා පමණයි.

ප‍්‍රශ්නය:- ඔබ අනුරාධපුරයට යෑම සඳහා හෙලිකොප්ටර් යානයක් භාවිතා කර තිබෙනවා. රාජ්‍ය ඇමැතිවරයකුට ගමන් බිමන් යෑමට හෙලිකොප්ටර් කොයින්ද?

පිළිතුර:- එය මගේ හිතවතකුගේ එකක්. එසේ නැතිව එය ගුවන් හමුදාවේ යානයක් නෙමෙයි. අපි උදේ පාන්දර තමයි අනුරාධපුරේට ගියේ.

ප‍්‍රශ්නය:- ඔබ එල්ටීටීඊ සිරකරුවන් දෙදෙනෙකු සිර මැදිරිවලින් එළියට ගෙන පිස්තෝලයක් හිසට එල්ල කර උඹලව නිදහස් කරන්නේ මට ඕන නම් පමණක් යැයි කියමින් තර්ජනය කර ඇති බව චෝදනා එල්ල වෙනවා.

පිළිතුර:- ඔය කියන කිසිවක් එහි වුණේ නැහැ. මට පුළුවන්ද හිරකාරයන් එළියට දාන්න. ඒක කරන්න පුළුවන් ජනාධිපතිවරයාට සහ අධිකරණයට පමණයි. හිරකාරයෙක් එළියට දාන්න මට බලයක් නැහැ. මොළේ ඇති ඕනෑම අයකුට එය තේරෙනවා. අනිත් කාරණය සිරකරුවන් එළියට ගෙන ඔළුවට පිස්තෝලය තියා තර්ජනය කරන්න මට තිබෙන අවශ්‍යතාවය කුමක්ද?

ප‍්‍රශ්නය:- නමුත් ගින්නක් නැතුව දුමක් නගින්න විදිහකුත් නැහැ නොවේද?

පිළිතුර:- එහෙම කතාවක් තියෙනවා නම් තමයි. නමුත් මෙතන වෙලා තියෙන්නේ වෙන දෙයක්. මට බාර දුන්නේ ගිනි ගනිමින් තිබූ හිරගෙයක්. ඒ ගින්න මම ක‍්‍රම ක‍්‍රමයෙන් නිවා දැම්මා. මහර ගිනි ගනිද්දී කොට තමයි මට මෙම ඇමැති ධුරය බාර දුන්නේ. දවස් දෙකෙන් එම ප‍්‍රශ්න විසඳුවා. ඊට පසු වහලවල් උඩ උද්ඝෝෂණ හෝ වෙන ප‍්‍රශ්න මුකුත් නැහැ. මට මෙම රාජ්‍ය ඇමැති ධුරය භාර දුන් පසු මේ රටේ පාතාල මරණ එකක්වත් සිදුව තිබෙනවා ද… මම අහන්නේ ඔබතුමාගෙන්.

ප‍්‍රශ්නය:- ඔබ විමසන්නේ බන්ධනාගාර තුළ මරණ ද? එසේත් නැත්නම් බන්ධනාගාරයෙන් පිට සිදු වූ පාතාල මරණද?

පිළිතුර:- එළියේ…එළියේ…

ප‍්‍රශ්නය:- යම් ඝාතන සිදු නොවුණා යැයි කියන්න බැහැ. නමුත් සාපේක්ෂව අඩුවක් තිබෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් නිවැරැදිව පිළිතුරක් ලබා දීමට මා සතුව නිශ්චිත තොරතුරු මේ මොහොතේ නැහැ.

පිළිතුර:- මට ඔබට විස්තරාත්මකව කියන්න බැහැ. ඒ, එය ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුත්තක් නිසා. නමුත් අපි ඇතුළේ ඉඳන් එළියෙ කළ පාතාල ඝාතන මුළුමනින්ම නතර කළා. ඒ වගේම බන්ධනාගාරය තුළ තිබූ පාතාල සංස්කෘතිය නැති කළා. ඇතුළේ කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය ව්‍යාපාරය නැති කළා. එළියට නොපෙනුනාට බන්ධනාගාර තුළ දැවැන්ත වෙනසක් අපි පසුගිය සුළු කාල සීමාව තුළ සිදුකර තිබෙනවා. එය ඉවසා ගන්න බැරි බොහෝ පිරිසක් ඉන්නවා. මේ චෝදනා පිටුපස සිටින්නේ ඔවුන්. බන්ධනාගාරය තුළ අපි ඇති කළ යහපත් පරිසරය ආපිට හරවන්න සමහරුන්ට අවශ්‍ය වෙලා තිබෙනවා.

ප‍්‍රශ්නය:- ඔබව මෙම තනතුරෙන් ඉවත් කිරීම සඳහා සැලසුම් සහගත කුමන්ත‍්‍රණයක් තිබුණ කියලද ඔබ කියන්න හදන්නේ?

පිළිතුර:- පැහැදිලිවම ඔව්.

ප‍්‍රශ්නය:- එය එසේ නම් ඔබව මෙම තනතුරෙන් ඉවත් කිරීම සඳහා සැලසුම් කළ අය සාර්ථක වෙලා තිබෙනවනේ. ඔවුන් සාර්ථක වීම යනු ඔබලාගේ අසමත්කම නොවේද?

පිළිතුර:- අපේ අසමත්කමක් මෙතන නැහැ. අපි හරියට වැඩ කරලා තිබෙනවා. ඒක දන්න අය දන්නවා. මෙතනදී මට බොරු චෝදනා එල්ල වුවත් තනතුරෙන් ඉවත් වීමට තීරණය කළේ ආණ්ඩුවට සිදු වන අපහසුතා ගැන හිතලා. මේ නිශ්චිත මොහොතේ මම බැලූවේ එය පමණයි. මම, මා ගැන බැලූවේ නැහැ.

ප‍්‍රශ්නය:- නමුත් ඉල්ලා අස්වීම තුළ ඔබ වගකීම භාරගෙන තිබෙනවා.

පිළිතුර:- මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න, හිතන්න පුළුවන්. නමුත් මේ සිදුවීම් සමුදාය දෙස බුද්ධිමත්ව බැලිය යුතුයි. මම බන්ධනාගාරය හොඳ තැනකට ගෙනැවිත් තිබෙනවා. මෙය බාර ගන්න කෙනාට එය අපහසුවකින් තොරව ඉදිරියට කරගෙන යන්න පුළුවන්.

ප‍්‍රශ්නය:- ඔබ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත ආශ‍්‍රිත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන්නේ නැද්ද?

පිළිතුර:- නැහැ. ඉන් ඉවත් වීමට හේතුවක් නැහැ. එය අනිවාර්යයෙන්ම මම කරනවා.

ප‍්‍රශ්නය:- නමුත් ඔබට එම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ සිට නියෝග කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පිළිතුර:- එහෙම නියෝගයක් එතුමා කර නැහැ . මේ වන තෙක් එතුමා මට කතා කර නැහැ. මට බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් වෙන්නවත් කවුරුත් කිව්වේ නැහැ. මම ඉන් ඉවත් වුණේ ස්වකැමැත්තෙන්.

ප‍්‍රශ්නය:- ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔබ අමතා බැණවැදී ඉන් ඉවත්වන ලෙස තරයේ සඳහන් කර ඇති බව පැවැසෙනවා.

පිළිතුර:- නැහැ. එහෙම කිසිම දෝෂාරෝපණයක් එතුමා කළේ නැහැ. එතුමා මගෙන් ඇහුවා මොකක්ද මෙතන වුණේ කියලා. මම එතුමාට කරුණු පැහැදිලි කළා. එතුමා ඒ දේ පිළිගත්තා.

ප‍්‍රශ්නය:- මෙම ප‍්‍රශ්නයේ දී ඔබ නිවැරදි නම් ඔබගේ නිර්දෝෂීභාවය ඔබට ඔප්පු කළ හැකි නොවේද?

පිළිතුර:- ඔව්. මට පෙන්නන්න පුළුවන්. දැනට ඒකට හදිසියක් නැහැ. මම මෙතන වරදක් කර ඇත්නම් එය කාට හරි ඔප්පු කර පෙන්වන්න කියන්න.

ප‍්‍රශ්නය:- කවුරු හරි එය ඔප්පු කරනවට වඩා ඔබගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීම මේ මොහොතේ සුදුසු නැද්ද? බන්ධනාගාර තුළ කැමරා පද්ධති ස්ථාපිත කර තිබෙන නිසා එම වීඩියෝ දර්ශන ඔබට පෙන්වන්න වුණත් පුළුවන්.

පිළිතුර:- ඔව්.. අපි පොඞ්ඩක් ඉවසලා ඉමු. ඉවසීමෙන් තමයි සැනසීම ලැබෙන්නේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේටත් චෝදනා එල්ල වුණා නම් අපි කවුරුන්ද. චෝදනා එල්ල වුණා කියලා අපි සැලෙන්නේ නැහැ. අටලෝ දහමට කම්පා නොවී කාලයට ඉඩදී ප‍්‍රශ්නය දිහා බලාගෙන ඉමු.

ප‍්‍රශ්නය:- ලොහාන් රත්වත්තේ මහතා මේ දවස්වල බුදු දහම අනුව ද කටයුතු කරන්නේ?

පිළිතුර:- මම හැමදාම කටයුතු කළේ බුදු දහමට අනුව තමයි.

ප‍්‍රශ්නය:- ඔබට එරෙහිව චෝදනා කරන අයට විරුද්ධව නීතිමය කටයුතු කරන්න පුළුවන් නේද?

පිළිතුර:- ඇත්තටම ඔවුන්ට විරුද්ධව නීතියෙන් කටයුතු කරන්න පුළුවන්. ඊට මේ වෙලාව නෙවෙයි. කොරෝනා ප‍්‍රශ්නයක් රට තුළ තිබෙන වෙලාවක තවත් ප‍්‍රශ්න රැසක් තියන වෙලාවක නිහඬව සිටීම තමයි හොඳම දේ…

ප‍්‍රශ්නය:- මේ සම්බන්ධයෙන් කරන පරීක්ෂණයකදී ඔබ නිර්දෝෂී වුවහොත් නැවතත් මෙම රාජ්‍ය අමාත්‍ය ධුරය භාර ගන්නවද?

පිළිතුර:- එය තීරණය කරන්නේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා. එතුමන්ලා ලබාදෙන ඕනෑම වගකීමක් සියයට සීයකින්ම මම ඉටු කරනවා.

ප‍්‍රශ්නය:- මෙම ආණ්ඩුවට ඡුන්දය ලබා දුන් හැට නව ලක්ෂය ජනතාවට සහ ඔබ වෙනුවෙන් මනාපය භාවිතා කළ ජනතාවට ඔබ අසාධාරණයක් කර ඇති බවට කාට හෝ චෝදනා කරන්න පුළුවන්…

පිළිතුර:- කාටවත් එහෙම චෝදනා කරන්න බැහැනේ. මොකද මම වරදක් කර නැහැ. මට ලබාදුන් අමාත්‍යාංශය දෙකම හොඳම අමාත්‍යාංශය දෙකක් ලෙස ක‍්‍රියාත්මක කර තිබෙනවා. එහි ඉහළ කාර්ය සාධනයක් තිබෙනවා. වත්මන් රජයට ඡුන්දය ලබාදුන් හැටනව ලක්ෂයක ජනතාවට හෝ මට මනාපය ලබා දුන් එක්ලක්ෂ හතළිස් දෙදහසක ජනතාවට මම අසාධාරණයක් කර නැහැ. කරන්නෙත් නැහැ. විශේෂයෙන්ම මම මේ රටේ ජනතාවට කියන්නේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති රාජපක්ෂ මහතා බොහෝම විශාල මහන්සියකින් කැප කිරීම් කරමින් කටයුතු කරනවා. ආණ්ඩුවේ ඉදිරි ගමන වැළැක්වීම සඳහා විපක්ෂය සහ විරුද්ධවාදීන් මොන යම් දේ කළත්, මාධ්‍ය තුළ මොනයම් කතා කිව්වත් මොන යම් දේවල් නොකිව්වත් සිහි බුද්ධියෙන් මේ සියල්ල දෙස බැලිය යුතුයි. සිහි බුද්ධියෙන්, සිහි නුවණින් අවබෝධයෙන් කටයුතු කරන ලෙස මම ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

සාකච්ඡා කළේ – සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment