ඡන්දයකින් පාර්ලිමේන්තුවට යන එක මට අමාරු දෙයක් නොවෙයි

141

තමාට මැතිවරණවලදී ඡන්දය දෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාවත්, දයාසිරි ජයසේකරවත් නෙමෙයි බදුල්ලේ ජනතාව බවත් මා හට ඡන්දයකින් පාර්ලිමේන්තුවට යන එක අමාරු කාර්යයක් නොවන බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

අමාත්‍ය වරයා මේ අදහස් පළ කළේ ඌව පරණගම අඹගස්දෝව දොළුන්ගහවත්ත ක්‍රීඩා මණ්ඩපයේදී 24දා පැවති ජන හමුවක් අමතමිනි.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

මගේ පක්ෂ සාමාජිකත්වය මම ඉවත් කරලා නැහැ. තනතුරුවලින් පමණයි ඉවත් කරලා තියෙන්නේ. අපි පක්ෂයේ ඉන්නවා. මොකද මට ඡන්දය දෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාවත් දයාසිරි ජයසේකරවත් නෙමෙයි. මට ඡන්දය දෙන්නේ මේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව. ඒ නිසා මට වට්ටියෙන් ආවත් පෙට්ටියෙන් ආවත් මට පාර්ලිමේන්තුවට යන එක ප්‍රශ්නයක් නෙමෙයි. මම ඇයි මේ සටන් කරන්නේ පක්ෂය ඇතුලේ. පක්ෂය ඇතුලේ මම සටන් කරන්නේ පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න. මේ පක්ෂය පුද්ගලයෝ එක්කෙනෙක් දෙන්නෙක්ගේ හෝ පවුලකට අයිති පක්ෂයක් නෙමෙයි. අපි කාලාන්තරයක් තිස්සේ පක්ෂය වෙනුවෙන් දර දිය ඇද්දා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය වෙනුවෙන් අපි උසාවි ගියා විශාල වැඩකොටසක් අපි කරා. අපි පක්ෂය ජනප්‍රිය කිරීමට කටයුතු කළා.
නමුත් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නම් 2015 මැතිවරණයේදී ආප්ප කාලා අනෙක් පැත්තට ගිහින් ඡන්දය ඉල්ලු‍වා. මට තමයි ඔය අවස්තාව ලැබුනේ. මට තමයි මුලින්ම ආරාධනා කළේ. නමුත් මම පක්ෂය දාලා ගියේ නැහැ. ජනාධිපති කම දෙනාවා කියලා පක්ෂය දාලා නොගිය මම වෙන දේකට පක්ෂය දාලා යනවාද ? එහෙම යන්නේ නෑ. මම පක්ෂයත් එක්ක පාක්ෂිකයෝ එක්ක රැඳිලා ඉන්නවා. පක්ෂය ඔහොම ගියාම බෝඩ් ලෑල්ලකට සීමා වෙනවා. අහන්න එපා මගෙන් මොන පක්ෂයෙන්ද ඊළඟට ඡන්දය ඉල්ලන්නේ කියලා. අපි අවස්තානුකුලව ඒ අවස්තාවේදී බලමු බිහිවන අළුත් බලවේග පක්ෂයේ ඇතිවන ප්‍රවණතා අරගෙන අපි එනවා. ඔබලා තමයි ඡන්දය දෙන්නේ. ඔබලාට වැදගත් වෙන්නේ බෝඩ් ලෑලි තියෙන පක්ෂද? එහෙම නැත්තම් වැඩ කරන පුද්ගලයිද කියන එක තීන්දු වෙයි.

දේශපාලනයේදී ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියන අය පක්ෂයේ අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕනි. ගෙදරට නැති දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය රටට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. මුලින් ප්‍රජාතන්ත්‍රවාදය පක්ෂය තුල ඇති කළොත් තමයි තමා මහ ලොකු ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියලා රටට කියන්න පුළුවන් වෙන්නේ.

බොරලන්ද සමන්ත කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment