ඡන්දයට කඩුව කරකවන ජනපතිට බඩ කපා ගන්න වේවි!

71

කඩුවත් එපා – අපි සටනට එන්නෙත් නෑ

පළාත් පාලන මැතිවරණය පවත්වනවා වෙනුවට වෙනත් පාළු පිටියක කඩුවක් කරකවමින් සිටින ජනාධිපතිවරයාට දිනෙක එම කඩුවෙන්ම තම බඩ කපා ගන්න සිදුවනු ඇතැයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) කීය.

ජනතාව සමග ඡන්දපොළේදී බේරා ගත යුතු ගනුදෙනුවට ජනාධිපතිවරයා ‘එනු සටනට ගනු කඩුව’ යැයි කියමින් කඩුව වැනුව ද ජාතික ජන බලවේගය කඩුව නොගන්නවා සේම සටනට යන්නේ ද නැතැයි ද සඳහන් කළේය.

සර්වජන ඡන්ද බලය පිළිබඳ කල් තැබීමේ විවාදයේ දෙවැනි දින අදහස් දක්වමින් හෙතෙම මේ බව කී අතර එහිදී මෙසේද කීයා සිටියේය.

මේ ආණ්ඩුව ජනතාව සමග ඡන්ද පොළේදී මේ ඡන්ද ගනුදෙනුව බේරා ගන්නවා වෙනුවට එය වෙනත් පාළු පිට්ටනියකට ගෙනැවිත් තිබෙනවා. ඒ පාළු පිටියේ රනිල් වික්‍රමසිංහ මහතා කඩුවක් කරකවමින් කියනවා ‘ගනු කඩුව එනු සටනට’ කියලා. ඔහු ඉන්නේ පාළු සෙනඟ නැති පිටියක. අපි කතා කරන්නේ සෙනඟ ඉන්න පිටියේයි. ඔහු ‘ගනු කඩුව එනු සටනට’ කිව්වත් අපි ඒ සටනට යන්නෙත් නෑ. කඩුව ගන්නෙත් නෑ. ඔහුට ඔය කඩුව කරකව කව ඉඳලා වෙන්නේ ඒ කඩුවෙන්ම තමන්ගේ බඩ කපා ගන්නයි. ඒක තමයි මේ දේශපාලනයේ සිද්ධවෙන්නේ. අපි ඒ ගැන දන්නවා. ඔහු හැමදාමත් බලය ඔය විදිහට අයුතු ලෙස පරිහරණය කරනවා. ඔය විදිහට හැසිරෙනවා. අවසානයේදී ඔහුත් නොදන්න උගුලකට අහුවෙනවා. ඔහු ඒ පාළු පිට්ටනියේ කඩුව කැරකෙව්වාට අපි නම් ඒ පිට්ටනියට එන්නේ නෑ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment