ඡන්දයට බාධා එපා – ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලයි

69

මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීන කාර්යයන්ට සහ ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට බාධා කිරීමක් ලෙස අර්ථ දැක්විය හැකි කිසිදු පියවරක් ගැනීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් හා රජයෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ එහි ලේකම් ඉසුරු බාලපටබැඳි යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

පළාත් පාලන මැතිවරණයට අපේක්‍ෂකයන්ගෙන් ඇප මුදල් භාර ගැනීමෙන් වළකින ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝග කිරීම සඳහා ගත් තීරණය හේතුවෙන් පළාත් පාලන ආයතනවලට නාමයෝජනා භාරදීම නතර විය හැකි අතර එමගින් තේරීම් භාර නිලධාරීන් සහ මැතිවරණ කොමිෂන් සභාව විසින් නාමයෝජනා භාර ගැනීමට සහ ඉන් අනතුරුව රටේ පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ පැවැත්වීමට ගත් තීරණ නිෂේධ වනු ඇත.

රජයේ කුමන ආයතනයකට හෝ තම නියෝජිතයන් තෝරා ගැනීමට ජනතාවට තිබෙන ස්වෛරී අයිතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට ගන්නා ඕනෑම උත්සාහයක් හෝ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට බාධා කිරීමේ ඕනෑම නීති විරෝධී ප්‍රයත්නයක් හෝ ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි බලවත් ප්‍රහාරයක් ලෙස සැලකිය හැකිය. එවැනි පියවර දුරදිග යන ප්‍රතිවිපාකවලට හේතුවනු ඇත. ජනතාවගේ ඡන්ද බලයට බාධා කිරීමට වසර ගණනාවක් පුරා මීට පෙර විවිධ පාලන තන්ත්‍රයක් විසින් දරන ලද උත්සාහයන් රට සහ එහි ජනතාව කෙරෙහි බලපාන විනාශකාරී ප්‍රතිවිපාකවලට හේතු විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය යටතේ මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඉඩදිය යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි ලෙස විශ්වාස කරයි. එම කොමිෂන් සභාවේ ස්වාධීන කාර්යයට සහ ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට බාධා කිරීමක් ලෙස අර්ථ දැක්විය හැකි කිසිදු පියවරක් ගැනීමෙන් ජනාධිපතිවරයා සහ රජය වැළකී සිටිය යුතුය.

කෙසේ වෙතත්, 2023 ජනවාරි 10 දා ලිපියක් මගින් තැන්පතු භාර ගැනීම දිගටම කරගෙන යන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා තේරීම් භාර නිලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අවධානය යොමුවී ඇත. ජනතාවගේ ඡන්ද බලය ආරක්ෂා වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුව තවදුරටත් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් සහ සාමාජිකයන් ගෙන්ද, සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන්ද ඉල්ලා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment