ඡන්දයට බිලියන 10ක් නැතැයි කීම ජනතාව මුළා කිරීමක් – අනුර කුමාර කියයි

87

පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් බිලියන දහයක් සොයා ගැනීමට ආණ්ඩුවට නොහැකි නම් මෙම මාසය සඳහා රුපියල් බිලියන 700 ක් වන ආණ්ඩුවේ ඇස්තමේන්තුගත වියදම් සොයාගන්නේ කෙසේදැයි ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (08දා) ප්‍රශ්න කළේය.

මෙම වසරේ ආණ්ඩුවේ මුළු වියදම ලෙස රුපියල් බිලියන 7900ක් වෙන් කර ඇති අතර මැතිවරණයට රුපියල් බිලියන දහයක් නොමැති යැයි ආණ්ඩුව පැවසීම මුළුමනින්ම ජනතාව මුළා කිරීමක් බව ද හෙතෙම කීවේය.

ජනතා අප්‍රසාදයට පත්ව ඇති ආණ්ඩුව විවිධ උප්පරවැට්ටි යොදමින් ඡන්දය කල් දමාගැනීමට උත්සාහ ගනිමින් ඇති බවත් මැතිවරණයට මුදල් නැතැයි කීම එහි එක් කොටසක් බවත් දිසානායක මහතා සඳහන් කළේය. මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී ඉතිහාසයේ පළමු වරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිය නිවසට කැඳවා බලපෑම් කර ඇති බවට චෝදනා කළ දිසානායක මහතා එය සම්පූර්ණයෙන්ම වැරදි බව කියා සිටියේය. මුදල් නොමැති බව කියමින් ඡන්දය කල් දමාගැනීමට ආණ්ඩුව උත්සාහ කළ ද ඡන්දය පැවැත්විය යුත්තේ පාලකයන් රටේ ධනය මංකොල්ල කා ඇති නිසා බවත් හෙතෙම පැවසීය.

යම් හෙයකින් මැතිවරණය පැවැත්වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතාට සහ පොහොට්ටුවට තමන්ගේ සැබෑ තරම පෙනෙන බවත් එය රටින් වසන් කිරීමට ඡන්දය කල් දමා ගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවත් අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment