ඡන්දයට සිටියේ නැත්තේ 22 ට විරුද්ධ නිසා නොවේ – මහාචාර්ය තිස්ස විතාරණ

152

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා අවස්ථාවට තමා මැති සබයේ නොසිටියේ එම සංශෝධනයට විරුද්ධ නිසා නොවන බවත්, විධායක ජනපති ක්‍රමය සහමුලින්ම ඉවත්කළ යුතු මතයේ තම පක්‍ෂය දිගින් දිගටම සිටින බවත් ලංකා සමසමාජ පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

22 තුළින් බලාපොරොත්තු වූ තරමට ජනපති බලතල අඩුවී නැති බවද අගමැතිටත් යම් බලතල එකතුවන බවද කී ඔහු ද්විත්ව පුරවැසිභාවයට පක්‍ෂයක් ලෙස විරුද්ධ බවද එවැනි අය තනතුරුවලින් සහ පාර්ලිමේන්තුවෙන් ඉවත් විය යුතු බවද පැවසීය.

එදින ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ ආචාර්ය එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ විශේෂ රැස්වීමක් පැවතුණ බවත් එන්. එම්. පෙරේරා භාරයේ සභාපති ලෙස තමන් කටයුතු කරන බැවින් ඊට එක්වූ බවත් පැවසූ ඒ මහතා ආචාර්ය එන්. එම්. පෙරේරා මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉවත් කර භූමියෙන් කොටසක් විකුණා මුදල් ලබාගෙන නව ගොඩනැගිල්ල ඉදිකිරීමේ සාකච්ඡාව එදින එම අවස්ථාවේ පැවති බවද පැවසීය. ඒ නිසා තමන්ට ඡන්දයට පැමිණීමට නොහැකි වූ බවද ඒ මහතා අවධාරණය කළේය.

ලංකා සමසමාජ පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (25දා) දහවල් පැවති විශේෂ මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා එසේ පැවසීය. 22 තුළින් යම් ප්‍රමාණයක බලතල ඉවත්වී ඉදිරියට යෑමක් වී තිබෙන බවත් මැතිසබයේ තමා නොසිටියද බහුතරය ඊට පක්‍ෂව ඡන්දය දෙන බව ස්ථීරවම තමා දැනගෙන සිටි බවත් ඔහු කීය. රජයේ පාලනයක් නැතිනිසා මෙරට උද්ධමනය වැඩිවී තිබෙනවා. එය වළක්වාගන්න රජය නිසි තීරණ ගත්තේ නෑ. රජයේ මැදිහත්වීම අත්‍යවශ්‍යයි උද්ධමනය නවතා ගැනීමට. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරීක්‍ෂණවලදී හෙළිවී තිබෙනවා සියයට විස්සකට වැඩි පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව. අවුරුදු පහට අඩු ළමයින් 05 කට එක් ආයෙක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. සියයට අසූවකටම පෝෂණ ආහාර ලැබෙන්නේ නැහැ යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුවට එම පක්‍ෂයේ නියෝජ්‍ය ලේකම් අනිල් ද සොයිසා මහතා සහ නාගරික මන්ත්‍රී කාන්තා සංවිධානයේ ලේකම් දිල්රුක්ෂි පෙරේරා මහත්මිය ද එක් වූහ.

නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment