ඡන්දය ඉල්ලා මැතිසබේ ගාලගෝට්ටි

138

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දැමීමට ආණ්ඩුව ගන්නා උත්සාහයන්ට එරෙහිව ‘දියව් දියව් ඡන්දේ දියව්’ යැයි සටන් පාඨ කියමින් සහ විවිධ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගැබ මැද සහ කථානායක අසුන අවහිර කරමින් විරෝධතා දැක්වීම නිසා පාර්ලිමේන්තුවේ කටයුතු වහාම නවත්වා අද (22දා) දක්වා කල් දැමීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (21දා) පියවර ගත්තේය.

ඊයේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුම බණ්ඩාර, චමින්ද විජේසිරි සහ විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන් මේ වන විට මැතිවරණයට එල්ල වී ඇති බාධා සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් අනතුරුව විපක්ෂය සිටි දෙසින් එක්වරම මෙම උද්ඝෝෂණය ආරම්භ විය.

එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු විකාශයේ සජීවි රූප රාමුවලට පෙනෙන පරිදි ද, ඒ වන විට අදහස් දැක්වීමට ඉදිරිපත්ව සිටි ඇමැති රමේෂ් පතිරණ මහතා සහ කථානායකවරයා වැසෙන පරිදි ද උද්ඝෝෂණයේ නිරත වූහ. තුෂාර ඉඳුනිල්, අශෝක අබේසිංහ, නලින් බණ්ඩාර, කාවින්ද ජයවර්ධන, ජේ.සී. අලතුවල යන මන්ත්‍රීවරුන් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයට එක්ව සිටි අයුරු පෙනිනි.

ඡන්දය ඉල්ලා මැතිසබේ ගාලගෝට්ටි

මෙහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ද අසුන්වලින් නැගිට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ප්‍රතිචාර දැක්වූ අතර දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇති වුණේ නැත. කෙසේ වෙතත් විපක්ෂයේ බාධා මැද ආණ්ඩු පක්ෂය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඉදිරිපත් කරන ලද නියෝග කිහිපයක් ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබීය.

පළාත් පාලන මැතිවරණය ඉල්ලා පාර්ලිමේන්තුවේ පැවැති විරෝධතාවට ජාතික ජන බලවේගය මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, විජිත හේරත් සහ ආචාර්ය හරිනි අමරසූරිය යන තිදෙනා සහභාගි නොවීම විශේෂත්වයකි. මෙම විරෝධතාව හේතුවෙන් ඊයේ පාර්ලිමේන්තු කටයුතු විනාඩි 50කට පමණ ද සීමා විය. මෙහිදී අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවසීය.

අපේ රටේ ව්‍යවස්ථාව අනුව මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ පසු මැතිවරණය සාර්ථක කරගන්න සියලු රාජ්‍ය ආයතන සහයෝගය දෙන්න ඕනෑ. එහෙම සහයෝගය ලබා දෙන්නේ නැතිනම් සහයෝගය නොදෙන රාජ්‍ය ආයතනවල ප්‍රධානින්ට නීතියෙන් වසර තුනක් දක්වා සිරදඬුවම් ලබා දෙන්න පුළුවන්. අද මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණය ප්‍රකාශ කළාට පස්සේ මුදල් අමාත්‍යාංශය කියනවා මුදල් ලබා දෙන්න බෑ කියලා. රජයේ මුද්‍රණාලයාධිපති කියනවා ඡන්ද පත්‍රිකා අච්චු ගහන්න බෑ කියලා. රජයට වගකීමක් තියෙනවා මැතිවරණයට අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසමට ලබාදෙන්න. පළාත් පාලන මැතිවරණය අවිනිශ්චිත තත්ත්වයකට පත් වෙලා තියෙනවා. නාමයෝජනා දීලා, මුදල් වියදම් කරලා, රාජ්‍ය සේවකයන් සේවයෙන් ඉවත් වෙලා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් විශාල ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. අයිපීපීආර් එක යටතේ මැතිවරණය පැවැත්වූයේ නැතිනම් අපේ ජීඑස්පී සහනය අහිමි වෙනවා. දැනටමත් ජපානය, ජර්මනිය වැනි රටවල් අපේ රටේ ව්‍යාපාර අත්හැරලා යනවා. මොකක්ද මේ ආණ්ඩුව කරන්නේ?

රංජිත් මද්දුම බණ්ඩාර මහතා-

රටේ මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. 2023 අයවැයේදී අපි පැහැදිලිව මැතිවරණ සඳහා බිලියන 10ක් වෙන් කරලා තිබෙනවා. පාර්ලිමේන්තුව ඒ වගේ තීරණයක් අරගෙන තිබෙද්දී පාර්ලිමේන්තුවට මූල්‍ය බලතල තිබෙද්දී මේ මුදල් අමාත්‍යංශයේ ලේකම් හෝ ජනාධිපති හෝ මේ කරන ඒකාධිපති වැඩේ හරිද? කථානායකතුමා කරුණාකරලා නියෝගයක් දෙන්න මේ මැතිවරණය පවත්වන්න අවශ්‍ය මුදල් දෙන්න කියලා.

චමින්ද විජේසිරි මහතා-

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව සහ පාර්ලිමේන්තුවෙනුත් මුදල් සම්මත වෙලා තිබෙනවා. මැතිවරණය කල් දැමීම සාධාරණ නෑ. මුදල් නෑ කීම පට්ටපල් බොරුවක්.

විමල් වීරවංශ මහතා-

මැතිවරණය පැවැත්වීම අහෝසි කිරීමට නීතියෙන් බාධාවක් එල්ල කරන්න බැරිවුණාම ආණ්ඩුව එල්ල කරපු බාධාව තමයි මුදල් නෑ කියන බාධාව. මුදල් නෑ කියලා මැතිවරණ කල් දාන්න පුළුවන් නම් මීළඟ ජනාධිපතිවරණයත් කල් දාන්න බලයි මුදල් නෑ කියලා. ඒ විතරක් නොවෙයි ජනාධිපතිට හිතුණොත් මේ පාර්ලිමේන්තුව පවත්වගෙන යන්න බෑ කියලා පාර්ලිමේන්තු කටයුතුත් අත්හිටුවන්න පුළුවන්. මුදල් නෑ කියන කාරණය ඉස්සරහට දාලා රටේ මැතිවරණ කල් දැමීම වැරදියි. ජනතාව අද අනාථ වෙලා ඉන්නේ ජීවත් වෙන්න බැරුව. බදු වැඩි කරලා. විදුලි බිල වැඩි කරලා.

(සභාවේ ඝෝෂා)

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment