පළාත් පාලන ඡන්දය මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට කටයුතු නොකළහොත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවත් සමග පාරට බැස ආණ්ඩුව සමග ගනුදෙනුව බේරා ගැනීමට අනිවාර්යෙන්ම කටයුතු කරන බව ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (14 වැනිදා) පැවසීය.
එය ජාතික ජනබලවේගයේ කැමැත්ත හෝ තෝරා ගැනීම හෝ අපේක්ෂාව හෝ බලාපොරොත්තුව නොවන බව කී දිසානායක මහතා නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ මාර්ගයේ කැඳවන්නේ නම් ඒ පාරෙදී ඔහු සමග හැප්පෙන්න ලෑස්ති බවත් හෙතෙම කීවේය.
කෙක්කෙන් හෝ කොක්කෙන් හරි ඡන්දය අපි ගන්නවා. ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කිරීමට කිසිවකුට නොහැකි බවත් එය රැකගැනීම වෙනුවෙන් ජාතික ජනබලවේගය කැපවී කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියේය.
එසේම විවිධ තාන්න මාන්න බලාපොරොත්තුවෙන් මහජනතාවගේ ඡන්ද අයිතිය කෙලෙසීම කටයුතු නොකරන ලෙස රජයේ මුද්‍රණාලයාධිපතිනියට අවධාරණය කරන බවත් අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ සවස එම අදහස් පළ කළේ මොනරාගල ප්‍රදේශයේ පැවැති ජනහමුවකදීය.
සිරිමන්ත රත්නසේකර