ඡන්දය කල් නොදමනු! විපක්‍ෂය ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තබති

152

මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතු බව කියමින් පළාත් පාලන මැතිවරනය කල් දැමීමේ රජයේ උත්සාහයට එරෙහි වෙමු යන තේමාව යටතේ විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සංවිධාන පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදී ඊයේ (20) ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබූහ.

ඒ අනුව සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, 43 සේනාංකය, දෙමළ ජාතික සංධානය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, නව ලංකා නිදහස් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, විජයධරණී ජනතා සභාව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ උත්තර සභාගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නායකයෝ සහ නියෝජිතයෝ මීට අත්සන් කළහ.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට රජය උත්සාහ කළහොත් එයට තනි පක්ෂ වශයෙන් හා ඒකාබද්ධව දැඩි ලෙස එරෙහි වීමට ඒකමතික තීන්දුවක් ගත් අතර එම තීන්දුව ප්‍රකාරව එහි ප්‍රමුඛ පියවරක් ලෙස ප්‍රකාශයට අත්සන් තැබීම සිදුවිය.

ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ආණ්ඩුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ගවලට එරෙහිව, ආගමික නායකයින්, සිවිල් සංවිධාන සහ වෘත්තිකයන් ඇතුළු පිරිස් වෙන් වෙන් වශයෙන් දැනුවත් කිරීමටත්, ජනතාව දැනුවත් කිරීමටත් ඉන් ඔබ්බට ජාත්‍යන්තරය දැනුවත් කිරීමටත් නියමිතය.

අදාළ ප්‍රකාශයට අත්සන් තැබීමට ජනතා විමුක්ති පෙරමුණ ද සිය පූර්ණ එකඟතාවය දැනුම් දී තිබේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment