ඡන්දය දියව්! – සජබ අද කොළඹට

177

මාර්තු 09 අනිවාර්යයෙන් ම ඡන්දය දියව්… යන සටන් පාඨය පෙරටු කරගෙන අද (20 දා) මහා ජන ගඟක් කැඳවා කොළඹම වටලන බව සමගි ජන බලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා කොළඹ පුරපති අපේක්‍ෂක මුජිබර් රහුමාන් මහතා ‘දිවයින’ ට පැවසීය.

ආණ්ඩුව තවදුරටත් ඡන්දය කල් දමන්නේ නම් මාර්තු 09 වැනිදා වනතුරු අඛණ්ඩවම විරෝධතා උද්ඝෝෂණ රටපුරා ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා කීය.

මෙහිදී තවදුරටත් කතා කළ මුජිබර් රහුමාන් මහතා මෙසේද කියා සිටියේය.

“ජනතාව තව තවත් පීඩාවට පත්කරමින් මේ අලි පොහොට්ටු ආණ්ඩුව ඡන්දය කල්දමමින් ඉන්නවා. ජනතා පරමාධිපත්‍යයට පයින් ගහමින් කටයුතු කරන මේ ජන පීඩක ආණ්ඩුවට එරෙහිව අපි අද කොළඹ දැවැන්ත විරෝධතාවක් පවත්වනවා. අද කොළඹට මහා ජන ගඟක් එනවා. බදු වැඩි කිරීම, විදුලිය වැඩි කිරීම, ජලය, ඉන්ධන ගෑස් මේ හැම එකකම මිල වැඩි කිරීම ජනතාවට දරාගන්න බැහැ.

“අනිවාර්යයෙන්ම ඡන්දය මාර්තු 09 වැනිදා පවත්වන්න ඕන. ඡන්දය තියන්න සල්ලි නැහැ කියලා ආණ්ඩුව කියනවා. හැබැයි නිදහස් උත්සවයට වියදම් කරන්න සල්ලි තියෙනවා. මොන තරම් විහිළුවක්ද මේ?”

“ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය මංකොල්ල කන මේ අලි – පොහොට්ටු ආණ්ඩුවට එරෙහිව අපි දිගටම විරෝධය පානවා. ඉදිරියේදී ජනතාවත් මේ ආණ්ඩුවට එරෙහිව නියමෙට උත්තර දේවි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment