ඡන්දය පැවැත්වීම ව්‍යවස්ථාපිත වගකීමක් – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා

237

පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු දිනය පවා තීරණය වී ඇත. එසේ වුවද එම මැතිවරණය පැවැත්වේවිද නැද්ද යන්න පිළිබඳව බොහෝ දෙනා පසුවන්නේ දෙගිඩියාවෙනි. එම පසුබිම තුළ අපි මැතිවරණය පැවැත්වීමට ඇති සූදානම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතාගෙන් විමසා සිටියෙමු. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පළ කළ අදහස් පහත දැක්වේ.

ප්‍රශ්නය- මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක් ලෙස කටයුතු කළ ජී. එස්. එම්. චාල්ස් මහත්මිය කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඇය ඉල්ලා අස්වීමට පෙර එම තීරණය පිළිබඳව කොමිෂන් සභාව දැනුවත් කළාද?

පිළිතුර- නැහැ. අපිට කිසිම දැනුම්දීමක් කරලා නැහැ. ඉල්ලා අස්වූ බව ප්‍රකාශ වන්නේ ජනාධිපතිතුමාට හෝ ජනාධිපති ලේකම් කාර්යාලයට. එම ඉල්ලා අස්වීමේ පිටපතක් හෝ අපවෙත යොමුකර නැහැ. ඒ වගේම වාචිකාවත් අපිට කිසිම දැනුම්දීමක් කරලා නෑ.

ප්‍රශ්නය- පසුගිය දිනවල වාර්තා වූවා මැතිවරණ කොමිසම තුළ බෙදීමක් තිබෙන බව. චල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම මගින් එම වාර්තා තහවුරු වන බව පැවසුවොත්.

පිළිතුර- ප්‍රතික්‍ෂේප කිරීමට තමයි සිදුවන්නේ. මැතිවරණ කොමිෂන් සභාවේ බෙදීමක් ඇති වන්න, මෙම කොමිසම ගන්නා තීන්දුවල බෙදීමක් ඇතිවෙන්න ඕනී. මේ වෙනකම් අපි අරගෙන තිබෙන තීන්දු සියලු දෙනාගේම එකඟත්වයෙන් තමයි ගත්තේ. චාල්ස් මහත්මිය 25 වනදා සිට තමයි ඉවත් වූ බව ප්‍රකාශ වන්නේ. අපි 24 වන දා දේශපාලන පක්‍ෂවල ලේකම්වරු කැඳවලා මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳව සාකච්ඡා කළා. එම සාකච්ඡාවටත් චාල්ස් මහත්මිය සූම් තාක්‍ෂණය ඔස්සේ සහභාගි වෙලා වටිනා අදහස් ප්‍රකාශ කළා. එම සාකච්ඡාවේදී එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල රුපියල් 20 ලෙස අපි තීන්දු කළා. එම තීන්දුව අපි ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කළා. එම ගැසට් පත්‍රයටත් එතුමිය අත්සන් කළා. ඒ දක්වාම චාල්ස් මහත්මිය මැතිවරණ කොමිසමත් සමග සහයෝගයෙන් සහ පූර්ණ එකඟතාවයෙන් යුතුව කටයුතු කරලා තිබෙනවා. එම නිසා මැතිවරණ කොමිසම තුළ බෙදීමක් තිබුණ බව ප්‍රකාශ කරන්න බැහැ. එතුමියගේ ඉල්ලා අස්වීම පුද්ගලික හෝ බාහිර හෝ යම්කිසි කාරණයක් නිසා සිද්ධ වෙන්න පුළුවන්.

ප්‍රශ්නය- මැතිවරණ කොමිෂන් සභාවේ තවත් සාමාජිකයන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව වාර්තා වනවා. ඒ පිළිබඳව ඔබ දැනුවත්ද?

පිළිතුර:- එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා අපිට විශ්වාසයක් තිබෙනවා.

ප්‍රශ්නය- මැතිවරණ කොමිෂන් සභාව සම්බන්ධයෙන් මේ දිනවල විවිධ පුවත් පළ වනවා. එම පුවත් පළාත් පාලන ඡන්දය කල් දමා ගැනීමේ වැඩපිළිවෙළක කොටසක් බවටත් මත පළ වෙනවා. ඒ සම්බන්ධයෙන් සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර:- යම් වැඩක් කරන කොට අපි බලන්න ඕනී එයින් වාසි ලැබෙන්නේ කාටද කියන එක. නීතියට අනුව තමයි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නේ. එම මැතිවරණ කල් දමා ගැනීම සඳහා විවිධ පුවත් පළ වනවා නම් එයින් අපට තේරුම් ගැනීමට පුළුවන් කාටද ඒ වුවමනාව තිබෙන්නේ කියලා.

ප්‍රශ්නය:- මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සංඛ්‍යාව 5 යි. එය ඔත්තේ සංඛ්‍යාවක්. මේ වනවිට එක් සාමාජිකයෙකු ඉවත් වී ඇති බැවින් මින් ඉදිරියට තීන්දු ගැනීමේදී යම් යෝජනාවකට පක්‍ෂව සහ විරුද්ධව සමව ඡන්දය ලැබීමට ඉඩ තිබෙනවා නේද?

පිළිතුර:- කොමිසමේදී විවිධ මත පළවී තිබෙනවා. විවිධ සාකච්ඡා කර තිබෙනවා. නමුත් කිසිම අවස්ථාවකදී කොමිෂන් සභාව තුළ බෙදීමක් ආවේ නෑ. කොමිෂන් සභාව මේ දක්වා කටයුතු කළේ සාමූහික තීන්දු අරගෙන. ඉදිරියටත් ඒ ආකාරයට කටයුතු කරන්න පුළුවන් වේවි කියන විශ්වාසය අපිට තිබෙනවා.

ප්‍රශ්නය:- පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මේ වනවිටත් මුදල් අමාත්‍යාංශයෙන් මුදල් ඉල්ලා ඇති බව වාර්තා වනවා. ඒ සඳහා මේ වනවිට ලැබිල තිබෙන ප්‍රතිචාරය කුමක්ද?

පිළිතුර:- අපි අවශ්‍ය මුදල් ප්‍රමාණයෙන් කොටසක් තමයි ඉල්ලලා තිබෙන්නේ. අපි හිතනවා එම මුදල් ප්‍රමාණය ලබාදීම ගැටලුවක් වෙන එකක් නැහැ කියලා.

ප්‍රශ්නය:- මේ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීමට තරම් සුදුසු පරිසරයක් සහ ආර්ථික තත්ත්වයක් නොමැති බවට විවිධ පාර්ශ්වයන් මත පළ කරනවා. එම මතවාදයන් සම්බන්ධයෙන් සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර:- පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවට නීතිමය ක්‍රියා පටිපාටියක්. ඒ අනුව එම ඡන්දය පැවැත්වීම ව්‍යවස්ථාපිත වගකීමක් වනවා. එය වෙනස් කරන්න පුළුවන් වන්නේ පාර්ලිමේන්තුවට තමයි.

එම වගකීම ඉෂ්ට කිරීම තමයි අපිට පැවරිලා තිබෙන වගකීම. එම ව්‍යවස්ථාපිත වගකීම ඉෂ්ට කිරීම සඳහා තමයි අපි බිලියන 10 ක් ඉල්ලුවේ. පාර්ලිමේන්තුව අනුමත කළ විසර්ජන කෙටුම්පතේ එම බිලියන 10 වෙන් කරලා තිබෙනවා. අය-වැයෙන් මෙම වියදම කරන්න පුළුවන් කියලා පෙන්වලා තිබෙනවා. දැන් ඒක කරන්න බැහැ කියනවා නම් එයින් කාරණා දෙකක් පැහැදිලි වනවා. එකක් තමයි මේක අය-වැය ලේඛනයක් ද කියන එක. ඒ වගේම අය-වැය ලේඛනයේ සඳහන් යෝජනා ක්‍රියාත්මක නොවනවා නම් ජනතාව තුළ සැක සංකා ඇති වෙනවා. මෙම අය-වැය ලේඛනය සැබෑ එකක්ද කියන එක සම්බන්ධයෙන්.

අනෙක් කාරණය තමයි පසුගිය කාලය තුළ මතුවූ සිද්ධීන් සමග ජනතාවට මහජන නියෝජිතයන් පිළිබඳව තිබෙන ආකල්පය ප්‍රකාශ කිරීමට අවශ්‍ය වී තිබෙනවා. එය සිද්ධවන්නේ නැතිනම් තෙරපීමක් ඇති වෙනවා. ජනතාවට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් උදා නොවනවා නම් ප්‍රජතන්ත්‍රවාදයට ඊට වඩා හානියක් සිද්ධ වෙන්න ඉඩ තිබෙනවා.

අපි මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය බිලියන 10 එකවර ඉල්ලා සිටින්නේ නැහැ. ඡන්ද කටයුතු අවසන් කිරීම සඳහා වැයවන්නේ බිලියන 4 ක් හෝ 4.5 පමණ මුදලක් තමයි. මාස 4 කට පමණ පසුව තමයි අනෙක් මුදල ගෙවීමට සිද්ධ වෙන්නේ. ලෝකයේ කිසිම රටක් මැතිවරණ පවත්වා බංකොලොත් වෙලා නෑ. නමුත් මැතිවරණ නොපැවැත්වීම නිසා බංකොලොත් වූ රටවල් තිබෙනවා. ඡන්දය කියන්නේ ජනතාවගේ අයිතියක්. එම අයිතිය ප්‍රකාශ විය යුතුයි. එම අයිතිය ප්‍රකාශ නොවී හිරකරගෙන ඉන්න සිද්ධ වෙනවා නම් එයින් ප්‍රජාතන්ත්‍රවාදයට පමණක් නොවෙයි සමාජයට ඉන් විශාල ව්‍යසනයක් ඇති කරන බව තමයි කොමිෂන් සභාවේ මතය.

ප්‍රශ්නය:- මේ වනවිටත් මෙම අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීම නුසුදුසු බවට අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබෙනවා. එම නඩුවේ තීන්දුව පෙබරවාරි 10 වනදා ලබාදීමට නියමිතව තිබෙනවා.ඒ සම්බන්ධයෙන් සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර:- මැතිවරණය කියන්නේ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයක්. අපි මේ වනවිට කටයුතු කරමින් සිටින්නේ එම ව්‍යවස්ථාපිත අවශ්‍යතාවය ඉෂ්ට කිරීම සඳහා. අපි දේශපාලන පක්‍ෂයක් හෝ සිවිල් සංවිධානයක් නොවෙයි. අපි කටයුතු කරන්නේ ව්‍යවස්ථාපිත කොමිෂන් සභාවේ භූමිකාව ඉෂ්ට කිරීම.

එම ව්‍යවස්ථාපිත කාර්ය භාරය ඉෂ්ඨ කිරීම නතර කිරීමට පුළුවන් වන්නේ ව්‍යවස්ථා දායකයට හෝ අධිකරණයට පමණයි. ගරු අධිකරණය හමුවට ඉදිරිපත් වී ඇති කරුණු සලකා බලා ගරු අධිකරණය විසින් ලබාදෙන තීන්දුවකට අපි අනිවාර්යයෙන්ම හිස නැමිය යුතු වනවා. ඒ අනුව පෙබරවාරි 10 වනදා ගරු අධිකරණය විසින් ලබාදෙන තීන්දුවට අනුව අපි කටයුතු කරනවා.

සාකච්ඡා කළේ
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment