ඡන්දෙට ඕනෙ මුදල වගේ විසිහත් ගුණයක් අච්චු ගහලා!

72

දැන් සල්ලි නෑ කියන එක රාජ්‍ය විහිළුවක් – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල මෙන් 27 ගුණයක් පසුගිය වසරේ (2022) අවසන් කාලයේ දී මුදල් මුද්‍රණය කළ ආණ්ඩුවට මැතිවරණය සඳහා මුදල් නොමැති බව කීම රාජ්‍ය විහිළුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09 දා) පැවසීය.

ඒ අනුව ආණ්ඩුව පසුගිය වසරේ ඔක්තෝබර් සහ දෙසැම්බර් දක්වා කාලයේ දී රුපියල් බිලියන 278ක් මුද්‍රණය කර ඇති බවත් කී හෙතෙම එයින් රුපියල් බිලියන 10ක් මැතිවරණය වෙනුවෙන් වෙන් කිරීමට නොහැකි යැයි කීම ගැටලු සහගත බව ද කීය.

මැතිවරණය සඳහා වැය වනුයේ මෙම වසරේ (2023) රාජ්‍ය වියදමෙන් එක් දිනක මුදලක් පමණක් බවත් එබැවින් එවැනි මුදලක් ලබා දීමට නොහැකි ආණ්ඩුව රට ගොඩනගන්නේ කෙසේ දැයි විමසා සිටින බවත් හෙතෙම පැවසීය.

මේ අතර ආණ්ඩුව 22 වතාවක් පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කරන්න උත්සාහ දරා තිබෙන බවත් එහිදී ඇප මුදල් භාර නොගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් හපුහින්න මහතා විසින් තේරීම් භාර නිලධාරීන් වෙත කරනු ලැබූ දැනුම් දීම සාධාරණය කිරීම වෙනුවෙන් අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී සාවද්‍ය කරුණු කී බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment