ඡන්දෙට බඩු බෙදූ මොනරාගල ප‍්‍රා. සභා මන්ත‍්‍රී උසාවියෙන් ගෙදර යවයි…. ඓතිහාසික තීන්දුවක්; පැෆරල් සංවිධානය පවසයි….

154

මැතිවරණ කාලය තුළ ඡන්ද දායකයන්ට විවිධ භාණ්ඩ සහ සේවාවන් අල්ලස් ලෙස ලබාදුන්නැයි චෝදනා කරමින් පවරා තිබූ නඩුවකින් වැරදිකරු වූ මොනරාගල ප‍්‍රාදේශීය සභාවේ මදුරුකැටිය කොට්ඨාසයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ තරංග හර්ෂක දිසානායක මහතාගේ මන්ත‍්‍රී ධූරය අහෝසි කොට ඊළඟට වැඩිම ඡන්ද ලබාගෙන සිටින අපේක්ෂකයා මන්ත‍්‍රී ධුරයට පත්කරන ලෙසට මොනරාගල මහාධිකරණ විනිසුරු (පූර්වගාමී* රංග දිසානායක මහතා පෙරේදා (13දා* නියෝග කළේය.

ඉකුත් පෙබරවාරි 10 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයේදී මොනරාගල මදුරුකැටිය ඡන්ද කොට්ඨාසයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ ඩබ්ලිව්. එම් සුනිල් ශාන්ත මහතා විසින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කොට තේරී පත්වූ තරංග හර්ෂක දිසානායක මහතා ඇතුළු අනූපස් දෙනකු වගඋත්තරකරුවන් කරමින් මොනරාගල මහාධිකරණයේ මෙම නඩුව පවරා තිබිණි.

මැතිවරණ කොමිසම, කොමිසමේ සාමාජිකයින්, තේරීම් භාර නිලධාරී, මොනරාගල තේරීම් භාර නිලධාරී, මොනරාගල සහකාර මැතිවරණ කොමසාරිස් යන අය වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබිණි.

මෙහිදී පුද්ගලයන් දොළොස් දෙනකු සාක්ෂි දුන් අතර තොරතුරු ලබාගැනීමේ පනත යටතේ ලබාගත් තොරතුරුද සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබිණි.

2012 අංක 22 දරන පනතින් සංශෝධිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (262 වන අධිකාරිය* 82 වන වගන්ති යටතේ මෙම නඩුව පවරා තිබිණි.

ප‍්‍රධාන වගඋත්තරකරු වන මදුරුකැටිය කොට්ඨාසයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත් වූ මන්ත‍්‍රීවරයා මැතිවරණ කාලසීමාවේදී ඡන්දදායකයන්ට අල්ලස් දී ඇති බවට පෙත්සම්කරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා එම මන්ත‍්‍රීවරයාගේ ධූරය අහෝසි කොට ඊළඟට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා මන්ත‍්‍රීවරයා ලෙස පත්කරන ලෙස නියෝග කළේය.

මෙම නියෝගය, අභියායචනයක් ඉදිරිපත් කළ යුතු කාලසීමාව ඉක්මවීමෙන් පසු ජනාධිපතිවරයාට සහ මැතිවරණ කොමිසමට දැනුම්දෙන බව මහාධිකරණ විනිසුරුවරයා දැනුම් දුන්නේය.

ප‍්‍රධාන වගඋත්තරකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ යූ. ආර්. සිල්වා මහතා පෙනී සිටි අතර රජයේ නිලධාරීන් වෙනුවෙන් රජයේ අධිනීතිඥ කනිෂ්ක රාජකරුණා මහතා පෙනී සිටියේය.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥවරුන් වන සම්පත් පුෂ්පකුමාර, චානක කුලතුංග යන මහත්වරු පෙනී සිටියහ.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

——————————————————————-

ඓතිහාසික තීන්දුවක්

ඡන්දෙට බඩු බෙදූ මොනරාගල ප‍්‍රා. සභා මන්ත‍්‍රී උසාවියෙන් ගෙදර යවයි.... ඓතිහාසික තීන්දුවක්; පැෆරල් සංවිධානය පවසයි....

මැතිවරණවලදී ඡන්දදායකයාට අල්ලස් ලබා දුන්නොත් මන්ත‍්‍රී ධුරය අහෝසි වන බවට මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ලබාදුන් තීන්දුව ඓතිහාසික එකක් යැයි පැෆරල් සංවිධානය පවසයි.

පැෆරල් විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටින අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

ශ‍්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයට ඓතිහාසික පරිච්ෙඡ්දයක් එක් කරමින් මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පසුගිය 13 දා සුවිශේෂී නඩු තීන්දුවක් ලබා දුන්නේය.

ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල දිස්ත‍්‍රික්කයේ එක් පළාත් පාලන ආයතනයක අපේක්‍ෂකයකු මැතිවරණ කාලසීමාව තුළ ඡන්ද දායකයන්ට විවිධ අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේද සහාය ඇතිව ගොනු කරනු ලැබූ නඩුකරයට අදාළ තීන්දුව ප‍්‍රකාශයට පත්කරමිනි.

ඒ අනුව අල්ලස් ලබාදී ජයග‍්‍රහණය කළ අපේක්‍ෂකයා පළාත් පාලන මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් කළ අතර ඊළ`ග වැඩිම ඡුන්ද ලබාගත් අපේක්‍ෂකයා පත්කරන්නට නියෝග කරන ලදී.

මෙම ඓතිහාසික නඩු තීන්දුව මගින් අනාගතයේ අපේක්‍ෂකයන් ඡන්ද දායකයන්ට අල්ලස් ලබාදීමට නොපෙළඹෙනු ඇත. යම් හෙයකින් එසේ කෙරුවද ඕනෑම මොහොතක ඔවුන්ගේ මන්ත‍්‍රී ධුරය අභියෝගයට ලක් කිරීමට ඉඩකඩ සැලසෙනු ඇත. එපමණක් නොව අපේක්‍ෂක වියදම් සීමාකිරීමේ නීති සම්පාදනයේ අවශ්‍යතාවය හා මැතිවරණයකදී සමබිමක අවශ්‍යතාව නැවත වරක් අවධාරණය වී ඇත.

එමෙන්ම මෙම ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකි වූයේ තොරතුරු දැන ගැනීමේ පනත ක‍්‍රියාත්මක වීම හේතුවෙනි.

මෙම නඩුකරය අප පවත්වාගෙන යනු ලැබුවේ බාධක රාශියක් මධ්‍යයේය. ඒ සඳහා සහාය විය යුතු ඇතැම් ආයතන මගහැර යද්දී අතිශය කැපවීමක් සිදුකළ නීතිඥවරුන් දෙපළට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන සියලූ දෙනාගේ ගෞරවය හිමිවිය යුතුය. එමෙන්ම ඒ සඳහා අවංකව සහාය දැක්වූ මැතිවරණ නිලධාරීන්ටද මෙය සතුටට කරුණක් වනු ඇත. එමෙන්ම මේ සඳහා වෙහෙසවූ සිවිල් සංවිධාන නියෝජිතයන් හා කාර්ය මණ්ඩලයේ සියලූ දෙනාටද ස්තුතිවන්න වෙමු.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment