ඡන්දෙ තිබ්බොත් ආර්ථිකයේ කොන්ද කැඩෙයිද?

192

මේ සතියේත් සමාජ දේශපාලන ක්‍ෂේත්‍රවල ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබෙන්නේ ද පළාත් පාලන මැතිවරණයයි. ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් දක්වන්නේ දෙබිඩි ප්‍රතිචාරයකි. ඇතැම් මැති ඇමැතිවරුන් පුන පුනා පවසන්නේ රටේ තිබෙන ආර්ථික දුෂ්කරතා, ජනතා ප්‍රශ්න නිසා මේ එබඳු මැතිවරණයකට සුදුසු පසුබිමක් නොමැති බවයි. පිරිසක් එසේ දුක්ගැනවිලි කියමින් ජනතා බර ගැන සුසුම් හෙළමින් සිටියදී තවත් පිරිසක් මැතිවරණයට සූදානම් බව පවසති. විශේෂයෙන් පොහොට්ටුව දිස්ත්‍රික්ක කීපයකම ඇප මුදල් පවා තැන්පත් කර තිබේ. එජාපයේ ක්‍රියාකාරීහු මැතිවරණයක් පැවැත්වීමෙන් රටට තවත් හානි සිදුවන බව කියති. කෘෂිකර්ම ඇමැතිවරයා දිගින් දිගටම පවසන්නේ මැතිවරණයට මුදල් යෙදවීම ගොවියන්ට කරන අසාධාරණයක් බවය. තවත් ඇමැතිවරයෙක් තර්ජනයක් නොවන ආකාරයෙන් කියන්නේ ඡන්දයකට ගියොත් රට නවතිනු ඇති බවය. රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම, සමෘද්ධි දීමනා ලබාදීම වැනි අත්‍යවශ්‍ය දේවල් පවා සිදුකළ නොහැකි බව ඔහු පවසයි. පසුගිය දිනවල තම විශ්‍රාම වැටුප ලබාගැනීමට පැමිණි විශ්‍රාමිකයන් සුසුම් හෙළමින් ද, ආණ්ඩුවට ශාප කරමින් ද හිස් අතින් ගෙදර ගිය ආකාරය ජනමාධ්‍යවලින් රටම බලා සිටියේ රට කරවන නායකයන්ට දෙස් දෙවොල් තබමින් ය.

ආණ්ඩුවේ ඇමැතිවරුන් නොකියා කියන්නේ ‘හැබැයි ඔන්න ඡන්ද කරල රට ආයෙ බින්දුවට වැටුණහම අපට එහෙම බනින්න එපා’ වැනි අසමජ්ජාති කතාවකි. මේ වාක්‍ය කීපය අල්ලා ගෙන තවත් ඇමැත්තෙක් අපව රහස් පොලිසියට කැඳවීමට වුවද බැරි නැත. එහෙත් කොතරම් අමිහිරි වුවත් ඇත්ත කිව යුතුය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිය පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට වේලාසනින් ම ප්‍රකාශ කළේ මෙම ඡන්ද වැඩවලින් තමන් ඉවත්ව සිටින බවයි. එසේ වුවත් තම පක්‍ෂය ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් කීපයක් දීමට ද ඔහු අමතක නොකළේය. ඒ කුමක් වුවත් රට අද මුහුණ දී තිබෙන බොහෝ අර්බුදවලට වගකිව යුතු මෙරටේ පුරවැසියන් නොව ඔවුන්ගෙන් බලය ලබාගෙන රට පාලනය කළ ඇත්තන් බව නිසැකවම කිව යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට අමතරව ජනතාවගේ මූලික ප්‍රශ්න නිරාකරණය කිරීම පාලකයන්ගේ වගකීම වේ. එහෙත් පාලන තන්ත්‍රය භාර ගන්නා ඔව්හු ස්වල්ප කලකින් ඒ සියල්ල අමතක කරති.

අද අප ජීවත් වන්නේ බංකොලොත් රටකය. මධ්‍යම පන්තිය පමණක් නොව වැඩකරන ජනතාව ද මුහුණ දී සිටින්නේ අතිශය දුෂ්කර අභියෝග රැසකටය. ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ කෙබඳු සැලසුම් තිබුණත් සමස්තයක් ලෙස ජනතාවගෙන් විශාල පිරිසක් තම ආහාරවේල් තුනෙන් එකක් හෝ දෙකක් අත්හැර දමා සිටිති. මේ වන විටත් පොහොර ප්‍රශ්නය වල්නාශක මිල ඉහළ යෑම ගොවියා පීඩාවට පත්කරන අර්බුද බවට පත්ව තිබේ. දුක් මහන්සි වී ලබාගත් වී අස්වැන්න විකුණා ගත නොහැකිව ඇත. ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල වී අස්වැන්න වන අලින්ට ලබාදීමට සිදුව තිබේ. කෘෂිකර්ම ඇමැතිවරයාට අනුව මේ සියල්ලට පිළිතුරු දිය හැක්කේ පළාත් පාලනයට යන මුදල්වලින් කොටසක්වත් ඔහුට ලැබුණොත් පමණි.

ඡන්දෙ තිබ්බොත් ආර්ථිකයේ කොන්ද කැඩෙයිද?

ජනාධිපතිවරයා ප්‍රකාශ කරන පරිදි ඔහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකි. ඔහුගේ වගකීම ආර්ථික අර්බුදය විසඳා ජනතාවට සහනයක් සලසාදීම හා ස්ථාවර සමාජ දේශපාලන රාමුවක්ගොඩනැගීමය. එහෙත් ඔහුගේ දේශපාලන සිතියම වඩාත් සංකීර්ණ එකක් බව පෙනේ. එළඹෙන 75 වැනි නිදහස් සැමරුමේදී රටේ ජාතික ප්‍රශ්නය විසඳීමට ඔහුට අවශ්‍යය. ඔහු උතුරේ දෙමළ නායකයන් සමඟ සාකච්ඡාවක් ද අරඹා තිබුණි. දෙමළ සන්ධානයට මේ වන විට ඒ සම්බන්ධයෙන් අලුත් අපේක්‍ෂාවක් තිබෙන බවක් අපට නම් නොපෙනේ. මේ තෛපොංගල් සමයේ (15 වැනිදා) යාපනයේ සංචාරයක ද නිරත වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඉදිරි වසර කීපය තුළ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන බවය. සියලු ජන කොටස්වලට අයත් ජනතාවගේ ප්‍රශ්න විසඳමින් සියල්ලන්ටම එකට ජීවත්විය හැකි රටක් ගොඩනැගීම සඳහා සමාජ සාධාරණ කොමිසම ස්ථාපිත කිරීම හා සත්‍ය හා සංහිඳියාව කොමිසමේ කටයුතු කඩිනම් කිරීමේ අරමුණ ගැන ද ජනාධිපතිවරයා සඳහන් කර තිබුණි.

මේ එකක්වත් නරක දේවල් නොවේ. උතුරේ ජනතාව ලෙස අප බොහෝ දෙනෙක් විසින් හඳුන්වනු ලබන ඒ ජන කොටස් අදටත් පසුවන්නේ විවිධ දුෂ්කරතා අර්බුද මැදය. එහෙත් ඔවුන්ගේ බොහෝ නායකයන්ගේ ජීවිත එයට ඉඳුරාම වෙනස් ය. දසක ගණනක් ෆැසිස්ට්වාදී ප්‍රභාකරන්ගේ අණසකට යටත් වූ ඒ ජනතාවගේ ඉරණම් භාරකාරත්වය තමන් වෙත පවරාගත් දෙමළ දේශපාලන නායකයන් මෙන්ම දකුණේ දේශපාලන බල කඳවුරු බැඳගත් නායකයන් අතර ද වෙනසක් නැති බව පමණක් ප්‍රබුද්ධ රටවැසියන් දනිති. ශේක්ස්පියර්ගේ හැම්ලට් කීවාක් මෙන් වචන, වචන, වචන තවත් වචන පමණි. ඇත්තටම උතුර – දකුණ වෙනසක් නැතිව සියලුම ජන කොටස්වලට අවශ්‍ය වන්නේ වචන නොව ක්‍රියාකාරකම් ය. කෑම, ඇඳීම හා විසීම හෙවත් සිටීමට තැනක් යන මූලික අවශ්‍යතා තුනවත් විසඳීම සඳහා මේ කිසිදු නායකයකුට වැඩපිළිවෙළක් – සැලැස්මක් නොවීම මේ රට මුහුණ දී සිටින අභියෝගය වී තිබේ.

ජනාධිපති රනිල් අද රටේ භාරකාරත්වය, රාජ්‍ය නායකත්වය උසුලමින් ඒ ප්‍රශ්න විසඳීමට කල්පනා කිරීම යහපත් ය. එහෙත් ඒ ප්‍රශ්නවලට තුඩු දුන් ඉතිහාසය හා එහි වූ දේශපාලනය සමඟ ඔහුට ද යම් යම් ධාරාවන් ද තිබේ. සාම සාකච්ඡා, වටමේස සාකච්ඡා, සටන් විරාම ආදී නොයෙක් ක්‍රියාකාරකම්වලට එදා ඔහු මැදිහත්වීම් ද තිබුණි. එනිසා මේ ප්‍රශ්නයෙහි තිබෙන බැරෑරුම් ස්වරූපය ගැඹුරින් වටහා ගෙන එයට විසඳුම් ලබාදෙනු මිස ඒවා කඩිමුඩියේ නැතහොත් හදිසියේ නිරාකරණය කර ගත හැකි සරල ප්‍රශ්න නොවන බව පමණක් අපට කිව හැකිය.

කෙසේ වෙතත් මේ මොහොත වන විට රටත් සමාජ දේශපාලන අංශත් උනන්දු වන්නේ වෙනත් ප්‍රශ්න පත්‍රයක් කෙරෙහි ය. විපක්‍ෂයේ පක්‍ෂ මෙන්ම සිවිල් සංවිධාන, මැතිවරණ නිරීක්‍ෂණ ආයතන අවධානයෙන් සිටින්නේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල්දමා ගැනීමට හෝ මඟහැර යෑමට හෝ කවර උපක්‍රම යොදනු ඇද්ද යන්න පිළිබඳවය. ඒ අවිශ්වාසය හා සැකය බොහෝ පුරවැසියන්ට ද තිබේ. මැතිවරණය කල්දමා ගැනීමට ගොස් ආණ්ඩුව හත්පොළේ ගා ගැනීම මෙන්ම බොරුවෙන් ජනතාව නොමඟ යැවීමට ඉදිිපත් වී සිටින දේශපාලන චරිත ගැනත් රටම දනී. මුදල් ප්‍රශ්නය ඉදිරියට දමා ආණ්ඩුව ගෙන යන බාල දේශපාලන ක්‍රියාන්විතය ගැන ද ජනතාව තේරුම් ගෙන සිටිති. රටේ ප්‍රබුද්ධ ජනතාව පමණක් නොව පොදු ජනතාව ද මේ කිසිදු දේශපාලනඥයකුගේ වචන, ක්‍රියාකාරකම් ගැන විශ්වාස නොකරන බව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ නායකයෝ ද දනිති. එහි තේරුම විපක්‍ෂය ගැන සර්ව සුබවාදී ආකල්පයක් තිබෙන බව ද නොවේ. එහෙත් විපක්‍ෂයේ විවේචන හා චෝදනා ගැන ජනතාව සංවේදී වන බව ද කිව යුතුයි.

මෙයට අමතරව ජනතාව කුතුහලයකින් බලා සිටින්නේ රජයේම ආයතන හා ආණ්ඩුවේ ඇතැම් නායකයන් අතර උද්ගතව තිබෙන සීතල යුද්ධ හා මුහුණට මුහුණ සටන් ආදිය ගැන ය. මැතිවරණ කොමිසම නිදහස් ආයතනයක් වුව ද එය අක්‍රීය කිරීමට ආණ්ඩුවට ක්‍රම සහ විධි ඇත. භාණ්ඩාගාරය යම් හෙයකින් අවශ්‍ය ප්‍රතිපාදන ලබා නොදුනහොත් කොමිසමට කළ හැකි දේ සීමිත වනු ඇත. අධිකරණයට ගිය කොමිසම වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටීම ද කැපී පෙනුණි. මැතිවරණ කොමිසම හා පොලිසිය අතර ද රණ්ඩුවක් තිබෙන බව පෙනේ. ඒවා පමණටත් වඩා හුවා දක්වන ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙයුමක් ද ඇත. මුදල් ගෙවීම පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නැතැයි මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබුණත්, ඒ කටයුතුවලට පොලිසියේ සහාය ලැබීම නොඉවසන කවුරුන් හෝ සිටින බව ද පෙනේ. මේ වන විට රටේ ආරක්‍ෂාව පිළිබඳ විශාල ගැටලුවක් නැතත් පොලිසියේ විශාල සංඛ්‍යාවක් ප්‍රභූ ආරක්‍ෂාව සඳහා යොදා තිබෙන බව ද කියනු ඇසෙයි. එය සත්‍යයක් නම් ප්‍රභූ ආරක්‍ෂාව සඳහා අධික මුදලක් වැය කිරීමට ජනතාවට බරක් නොවේද යන ප්‍රශ්නයක් අපට නැඟිය හැකිය. රජයේ මුදල් කාරක සභාවේදී ආචාර්ය හර්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිගේ සිට මැති ඇමැතිවරුන්ගෙන් ද බද්දක් අය විය යුතු බවය.

අද ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය රටම උණුසුම් කරමින් තිබේ. වෘත්තිකයන් විසින් පළකරන අදහස් නිවැරදි නම් ආණ්ඩුව අදාළ ඇමැතිවරයා එය සිතා බැලීම වටී. අනෙක් වැදගත්ම දෙය ආණ්ඩුවත්, මැති ඇමැතිවරුනුත් කැප කිරීම්, පරිත්‍යාග බලාපොරොත්තු වන්නේ ජනතාවගෙන් පමණක් ද? මහජන මුදලින් නඩත්තු වන විශාල ඇමැති මණ්ඩලයක් සිටිති. රාජ්‍ය ඇමැතිවරු ද දුසිම් තුනකටත් වැඩිය. මෙබඳු අර්බුදකාරී වාතාවරණයක මුලින්ම විය යුතුව තිබුණේ ඉතා කුඩා ඇමැති මණ්ඩලයක් පත්කර ගැනීමය. වේදිකාවල ප්‍රකාශ කෙරෙන මැති ඇමැතිවරුන්ගේ මූල්‍ය ප්‍රතිලාභ, ගැන ඇසෙන විට නම් ඕනෑම පුරවැසියකුට හැඟෙනු ඇත්තේ මෙබඳු රටක් ලොව කොහේවත් නැති බවය.

ජනාධිපතිවරයා බොහෝ කටයුතුවලට මැදිහත් වීමෙන්, නියෝග දීමෙන් පෙනී යන්නේ ද ඇමැතිලා, රාජ්‍ය ඇමැතිලා අතර සිටින බහුතරය හිස් පඹ සැරසිලි බවය. එහෙත් ඔවුන්ගේ කාර්ය මණ්ඩල වාහන, නිවාස, පහසුකම්වල බර සීනිවලින්, පරිප්පුවලින්, හාල්වලින් ගෙවන ජනතාවක් රටේ සිටිති. අවම වශයෙන් රට මුහුණ දී තිබෙන අර්බුදය නිසා මේ ඇමැති බර බාගයකින්වත් අඩු කළ හැකි නම් එය රටට දැනෙන ක්‍රියාවකි. ඇමැතිවරුන් අඩු කිරීම කෙසේ වුවත් තවත් පිරිසක් දත මැදගෙන, තොලකට ලෙවමින් ඇමැති කටු සඳහා බලා සිටිතියි ද වාර්තා වේ. නැති බැරි මිනිහාට බේත් පෙත්තක් නැතත් මැති ඇමැතිවරුන්ගේ රක්‍ෂණය නම් වැඩි වී ඇතැයි කියති. විශ්‍රාමික ජනාධිපතිවරුන් නඩත්තු කිරීම ව්‍යවස්ථානුකූල කාර්යයක් වුවත් ඒ අය කිසිදු හව්හරණක් නැති සරණාගතයන් ලෙස හැඳින්විය හැකිද? රටට බරක් නොවී ඒ ඇත්තන් නඩත්තු කිරීමට ඔවුන්ගේ සමීපතමන්ට නොහැකිද? රජයේ සේවකයන්ට දෙවරකට වැටුප් ගෙවන රටේ දේශපාලන බලවතුන්ගේ ගෙවීම් – සේවා සැපයීම් අඩාල වී නැති බව ද ජනතාව දනී. එනිසා මේ ආර්ථික දුෂ්කරතාව නමැති හෙණයට යකඩ කෑලි වී ඇත්තේ ලක්‍ෂ 22ටත් බහුතර ජනතාවක් නොවේද? එසේ නම් ආර්ථිකයට හත වැදුණත් මේ දේශපාලන පංචස්කන්ධ රැකිය යුත්තේ ජනතාවමය.

මෙම ආර්ථික පීඩනය මහා ගිනි කන්දක් බවට පත්වන තවත් අනතුරක් දැන් අපි දකිමු. ඒ බදු බරට නොදෙවැනි වු විදුලි බිල ඉහළ යෑමෙන් ඇතිවන මහා බරකි. මෙම විදුලි බිල ගැන යළිත් සිතා බලන ලෙස හිටපු අගමැති මහින්දත් කියා තිබුණි. මහජන උපයෝගිතා කොමිසමේ ජනක රත්නායක මේ විදුලිබිල ඉහළ දැමීම අනුමත නොකරයි. ඔහු අධිකරණයට වුවද යෑමට සූදානම් ය. ඔහුගේ චර්යාව අනුව නම් ඔහු ආණ්ඩුවට මෙල්ල වන්නේ නැති අදීන පුද්ගලයෙකි. ඇමැතිවරයාට ද ඔහුව දිරවන්නේ නැත. විදුලි බිල නොගෙවා සිටීමේ විරෝධතාවක් ගැන ද අනතුරු ඇඟවීම් තිබේ. වෘත්තීය සංගම් සිටින්නේ ද දුම්මල වරම අතට ගත් යකැදුරන් සේය. දස අතින්ම ලැබෙන සංඥා සුබදායක නැත.

ආණ්ඩුව මේ පළාත් පාලන ඡන්දයට බිය වන්නේ එහි ප්‍රතිඵලයෙන් ජනතාව පමණක් නොව ජාත්‍යන්තරය ද ආණ්ඩුව පිළිබඳ සිදුකෙරෙන තක්සේරුව නිසාය. නිදහස් ජනතා සන්ධානයේ මහාචාර්ය ජී. එල්. පීරිස් කියන්නේ මේ ආණ්ඩුවට ජනවරමක් නැති නිසා ජාත්‍යන්තර ආයතනවලට විශ්වාසයක් නොමැතිවීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රදානය ඇදෙමින් තිබෙන බවය. ඉන්දියාව හා චීනය අපේ දිගු කාලීන මිතුරන් වුවද ඔව්හුද තවමත් කල් බලමින් සිටිත් ද? ජනාධිපති රනිල් ප්‍රජාතන්ත්‍රවාදයට හා නීතියට උඩින් පැනීමට සූදානම් දැයි අපි නොදනිමු. එහෙත් මේ ඡන්දය කල්දැමීම නම් ඔහු විසින් සිදුකරනු ලබන බරපතළ වරදක් වනු ඇත. පළාත් පාලන ඡන්දයෙන් ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා ගෙදර නොගියත් ආණ්ඩුව ඉන්නේ ඡන්ද භීතියක බව සැඟවිය නොහැකිය. මේ ජරමර අස්සේ ශ්‍රීලනිපයත් නිදහස් ජනතා සන්ධානයේ හෙලිකොප්ටරයෙන් පැනීමේ සූදානමක් ගැන ද වාර්තා වේ. ඇතුළත මෙන්ම පිටත ද ගිනිය. සකෝ! බල ලක දෙස යැයි කියනු හැර අපට කළ හැකි වෙන යමක් ද නැත.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment