ඡන්දෙ තියන්න මුදල් නෑ: මුදල් තිබුණත් ඡන්දයක් නෑ – ජනාධිපති රනිල්

314

මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුව සමග සාකච්ඡා කළ යුතුයි
ඡන්දෙ තියන්න කියලා නීත්‍යානුකූල තීරණයක් නැහැ
පුළුවන්නම් ඡන්දය කල් දාන්න යැයි විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පණිවුඩ එව්වා
රට නැති කරලා ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න පුළුවන්ද?
ඔබතුමාලට මොළෙත් නෑ – බළෙත් නෑ

ඡන්දෙ තියන්න මුදල් නෑ. මුදල් තිබුණත් ඡන්දයක් නෑ. ඉතින් මොනවා කරන්නදැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (23) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

එහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය.

පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වෙන්න එපා යැයි මමත් මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයාට පණිවිඩයක් යැව්වා. ඔබ බිල්ලට දෙනු ඇතැයි මා එහිදී පැවසුවා. එතුමා පාර්ලිමේන්තුවට ගෙනාවේ මමයි. එනිසා එතුමා මෙහි තබා ගන්න මම බැලුවා. ඒ කාරණය ගැන තවදුරටත් කතා කරන්නේ නෑ.

අත්‍යවශ්‍ය සේවා පනත ගැන ඡන්දයක් විපක්ෂයෙන් ඉල්ලා තිබෙනවා. සාමාන්‍යයෙන් මේවා ඉල්ලන්නේ නැහැ. මේ රටේ විදුලි බලය කියන්නේ අත්‍යවශ්‍ය සේවාවක්. ඒකට විරුද්ධ වන්නේ ඇයි? අඛණ්ඩව විදුලි බලය දෙන එකට විරුද්ධ ද?

විපක්ෂ විවාදය ඉල්ලුවේ අත්‍යවශ්‍ය සේවා ගැන නෙමෙයි. ඡන්දෙ කල් දානවා කියලයි. ඡන්දෙ කල් දමා නැහැ. කල් දාන්න ඡන්දයක් නැහැ. මම මේ විවාදයට ඇතුල් වුණේ නෑ. මම කලින් මේ බව කිව්වා. මට දේශපාලනය වුවමනා නෑ කියා මා කිව්වා.

මැතිවරණ කොමිසමත් මේ ඡන්දෙ ගැන උසාවියට ගිහින් කියනවලු ඡන්දයක් පවත්වන්න බැහැ කියලා. දිවුරුම් පෙත්සම දුන් නිසා වචන කිහිපයක් කතා කරන්න මා සිතුවා. නැතිනම් මුදල් අමාත්‍යාංශයේ සිටින ලේකම් ඇතුළු අනිත් අයට අසාධාරණයක් වෙනවා.

රටේ ආර්ථික තත්වයත් ඡන්දෙ පවත්වන්න අපට මුදල් නැති බවත් මෙය ආර්ථිකයට හොඳ නැති නිසා මන්ත්‍රී සංඛ්‍යාව 5000 දක්වා අඩු වූ පසු ඡන්දය පවත්වන ලෙස දෙසැම්බර් 14 වැනිදා මා මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට දැනුම් දුන්නා. මැතිවරණ කොමිසම යනු සාමාන්‍ය කොමිසමක් නොවේ. ඒ නිසා මෙය කියන්න මට යුතුකමක් තිබෙනවා.

පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද විසි වෙනි සංශෝධනය අපි බලමු.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හෝ සාමාජිකයෙකු ලෙස ධුරය දරන සෑම තැනැත්තෙක්ම පනත ක්‍රියාත්මක වන දින සිට බලපැවැත්වෙන පරිදි එම ධුරය දැරීම නතර වන්නේ, යනුවෙන් සඳහන් වෙනවා.

මේ තිබෙන්නේ තාවකාලික කොමිසමක්. මේ කොමිෂන් සභාව වගකියන්නේ පාර්ලිමේන්තුවටයි. එහෙනම් මැතිවරණය ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් කොමිසම පාර්ලිමේන්තුව සමඟ සාකච්ඡා කළ යුතුයි. මම දන්න හැටියට එහෙම දෙයක් සිදුවී නැහැ. ඒක පළවෙනි වරද.

කොමිසමේ සාමාජිකයන් හමු වූ අවස්ථාවලදී පවතින තත්වය ගැන මා ඔවුන්ට පැවසුවා. මගේ ලේකම්තුමාට කියන්න වැඩක් නැහැ. ජනාධිපති හැටියට කැඳවා මා පැවසුවා. ඊට පසුව ජනවාරි පස්වැනිදා සවස 3 ට මමත් අගමැතිතුමාත්, නීතිපතිතුමාත් මේ අය මුණ ගැසුණා. ඒ මුණ ගැසුණේ ඡන්දෙ කල් දමන්න කතා කිරීමට නොවේ. කොමිසම බෙදිලා තිබුණා. දෙසැම්බර් 23 වැනි දා නාමයෝජනා කැඳවන්න තීරණය කළ බව ඒ අය කිව්වා. නාමයෝජනා කැඳවන්න තීරණය නොකළ බව දෙන්නෙක් කිව්වා. එක්කෙනෙක් දෙපැත්තටම කතා කළා. පස්වෙනි එක්කෙනා නුවර මහ රෝහලේ හිටියේ.

මෙහි වාර්තා ටික ලබා දෙන ලෙස නීතිපති කිව්වා. ඒ පාර වාර්තා නෑ කිව්වා. ඉතින් කොහොමද කරන්නේ. ඔබතුමාලා එක ස්ථාවරයකට ආවොත් මට එන්න පුළුවන් යැයි නීතිපතිතුමා කිව්වා. ඔක්කොම සාකච්ඡා කරලා හරි දිනයක් දාගන්නැයි කිව්වා.

නමුත් කොමිසම ගිහිල්ලා නීතිපති වෙනුවට සාලිය පීරිස් නීතිඥවරයා තියාගත්තා. සාලිය පීරිස් එහෙම තියාගන්නේ කොහොමද? එතුමා දේශපාලනයේ ඉන්න නීතිඥයෙක් යැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මා සමග පැවසුවා. දේශපාලනයේ නැති නීතිඥයෙක් තියා ගත්තට ප්‍රශ්නයක් නැති බව ද ඔවුන් පැවසුවා. නැතිනම් නීතිපති දෙන්නැයි පැවසුවා.

මං මේ අවස්ථාවේ මැදිහත් නොවන බව මා පැවසුවා. නීතිඥයෙක් ගන්නවා නම් කිසිම පක්ෂයකට සම්බන්ධ නැති නීතිඥයෙක් ගත යුතු බව මා කිව්වා. මේ ආණ්ඩුවට බලයක් නැහැ, මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න බැහැ කියූ නීතීඥයෙක් තමයි ගත්තේ. ඊට වඩා හොඳයි සජබෙ නැතිනම් ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න නීතිඥයෙක් අරගෙන ක්‍රියා කළා නම්.

පසු ඒ ගැන කිසිම සාකච්ඡාවක් කළේ නැහැ. විසර්ජන පනත සකස් කරන විට බිලියන 10ක ඇස්තමේන්තුවක් දුන්නා. ඒත් 9 වෙනිදා මිලියන 5600ක මුදලක් ඉල්ලමින් ලිපියක් එවා තිබෙනවා. ඔක්කොම එනකොට බිලියන 6 යි. එදා ඇවිත් කියනවා බිලියන දහයක් ඕන කියලා. උද්ධමනය වැඩි වෙලා නිසා බිලියන දහයක් නෙමෙයි අපි බැලුවේ බිලියන 12 ක් වත් අවශ්‍ය වන බවයි. අපේ ඇස්තමේන්තුව තිබුණේ එහෙමයි. ඉතින් මෙතන ඇවිල්ල තියෙනවා බිලියන පහක් වුවමනයි කියලා. ඒක නිසා මේ ඇස්තමේන්තු දිහා බලන්න අමාත්‍යංශයෙන් ආරම්භ කර තිබෙනවා. මේ අය ගාන අඩු කරලා තියෙනවා. පොලිසිය වැඩියෙන් ඕන කියලා කියනවා. පොලිසිය බිලියන දෙකක් තුනක් ඉල්ලනවා. දැන් මේ හරි ප්‍රශ්නයක් තියෙන්නේ. බිලියන දහයක් ඕන තැන බිලියන 5 කින් කරන්න පුළුවන් කියලා මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් කියනවා.

තියන සල්ලි මදි කියලා පොලිසියෙන් කියනවා. අනෙක් දෙපාර්තමේන්තුවලින් සම්පූර්ණ ඇස්තමේන්තුවක් එව්වෙ නෑ. මේ මූලික ප්‍රශ්නය මෙතන තිබුණා. මුදල් අමාත්‍යංශයට මේ එකකටවත් පිළිතුරු දෙන්න වුවමනා නැහැ.

ජී.ආර්.ඒ.කේ. ගමලත්, ප්‍රධාන ගණකාධිකාරී මැතිවරණ කොමසාරිස් වෙනුවට යනුවෙන් ලිපියක් එවා තිබෙනවා. එහෙම කරන්න කාටවත් බලයක් නැහැ.

මුදල් ලබා දුන්න නම් ඒ නිලධාරියාට විරුද්ධව අපට විනය පියවර ගන්න පුළුවන්. ලියුම එව්ව ගිණුම් නිලධාරියාට කොමිසමෙන් බලය දීල තිබුණෙ නැහැ. මුදල් දුන්නා නම් අපේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට විරුද්ධව ඕන කෙනකුට උසාවියට යන්න තිබුණා.

ඊට පස්සේ රාජ්‍ය සේවා කොමිසමෙන් දඬුවම් කොට සේවයෙන් ඉවත් කරන්න පුළුවන්.

මේ එක ලියුමකවත් කොමිෂන් සභාවේ තීරණයක් කියා සඳහන් කරන්නේ නැහැ.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද ඔය කියන විදියේ තීන්දුවක් දීලා නැහැ. පෙත්සම්කාරයන්ම ඇවිත් කියනවා මැන්ඩමුස් ආඥාවක් අවශ්‍ය නොවන බව. ඉතින් මොකක්ද උසාවිය දෙන තීන්දුව. මැන්ඩාමුස් ආඥාවක් වුවමනා නැත්නම් උසාවියට දෙන්න තීන්දුවක් නෑ.

මේකෙ ආණ්ඩුවට කිසිම බැඳීමක් නෑ. එහෙනම් ආණ්ඩුවට විරුද්ධව නියෝගයක් දෙන්න කියලා ඉල්ලන්න තිබුණානේ. ඒ එකක්වත් මෙතන සිදුවෙලා නෑ. ඒ නිසා මේ පිළිබඳව නිලධාරීන්ට දොස් කියන්න පුළුවන් කියා මා හිතන්නේ නැහැ.

අන්තිම ප්‍රශ්නේ වුනේ ඡන්දෙ ගැන. අපි දන්න හැටියට මේ වනතුරු ඡන්ද දිනයක් නම් කර නැහැ. නිල වශයෙන් නීත්‍යානුකූල ඡන්ද දිනයක් නැහැ. සමහරු මාර්තු 9 ගැන කියනවා. මාර්තු 9 ගැන මට කියන්න බැහැ. මම දන්න හැටියට ඡන්දෙ තියන්න කියලා නීත්‍යානුකූල තීරණයක් නැහැ. වාර්තා කියන පරිදි මැතිවරණ කොමිසමේ සභාපති සහ එම්. එම්. මොහොමඩ් තමයි තීරණය ගත්තේ. ඊට පස්සේ අනිත් අයට කතා කරලා ඒ අයගෙ අනුමැතිය ගත්තලු. තීරණය ගත්තෙ මේ දෙන්නා. ඔය තුන්දෙනාගෙන් ඇහුවොත් ඒ අය මේ ස්ථාවරයේ ඉන්නේ නැහැ. මම ඕන නම් ඒකට සාක්කිත් ගෙනත් දෙන්නම්. එහෙනම් ඡන්දෙ තියන්න නිලවශයෙන් තීරණයක් අරගෙන නැහැ. එහෙම තත්වයක් යටතේ අපි ගිහින් සල්ලි දුන්නොත් මගේ ලේකම්ලාට විරුද්ධව නඩු දමන්න වේවි. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවටත් වෙන්නේ ඒකයි. ඒ අයගේ රැකියා නැති වෙනවා.

රටේ ආර්ථික තත්ත්වය අනුව දැනට අපට මුදල් නැහැ. ඡන්දය නතර කරන්න අපට උවමනා නැහැ. මැතිවරණය පවත්වන්න අවශ්‍ය නම් ඔක්කොම එක්ක සාකච්ඡා කරලා විසඳුමක් හොයන්නේ කොහොමද කියලා තීරණය කරන්න පුළුවන්. දැනට මුදල් නැහැ. ඒක අපි ඔක්කොම දන්නවා. දැනට මුදල් නෑ වගේම දැනට ඡන්දෙකුත් නැහැ. ඡන්දෙ තියන්න මුදල් නෑ. මුදල් තිබුණත් ඡන්දයක් නෑ. ඉතින් මොනවා කරන්නද? ඉතින් මොනවටද ඇවිල්ල කෑ ගහන්නේ.

මේ කොමිසම වගකියන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ යෝජනාවක් තිබෙනවා තේරුම් කාරක සභාවක් පත්කරන්න කියලා. තේරීම් කාරක සභාවක් පත් කොට මේ කරුණු ඔක්කොම වාර්තා කර ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තාවක් යවන්න කියා තිබෙනවා. මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවටයි. 1688 විප්ලවයේ සිට මේ බලතල සියල්ල තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි.

(විපක්ෂයේ ඝෝෂා)

ටිකක් වාඩි වෙන්න මම කියන්නම්. ලයනල් වෙන්ට් එකට පාර්ලිමේන්තුව ගෙන යනවද කියා මන්ත්‍රී කෙනෙක් ඇහුවා. ඔබතුමා පාර්ලිමේන්තුව එහි ගෙනියනවා නම් මම එතනට ඇවිත් කතා කතාකරන්නම්.

අනික මේ මන්ත්‍රිතුමාලා කිව්වා ඡන්දෙ කල් දාන්න කියලා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ ඡන්දය වුවමනා නැහැ. ඔබතුමන්ලා මේක පුලුවන්නම් කල් දාන්න, අපි ටිකක් කෑ ගහලා ඊට පස්සේ වාඩි වෙනවා යැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් මට පණිවිඩ එව්වා. සජබෙ අය මා ඇතුළු ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන්ට ඒ බව පැවසුවා. ඉතින් දැන් මොනවද මේ නැගිටලා කියන්නේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ බාපු පළවෙනි හෙළිකොප්ටරය මේකයි. මැන්ඩුමුස් ආඥාවකට දාලා පස්සේ නඩුව අයින් කරගත්තා. ඒකට මං පලිද? මම නීතිඥයා කළා නම් මා නඩු අරන් දෙන්නම්.

මේක අල්ලගෙන ඉන්න හැම එක්කෙනාම ඡන්දෙ කල් දාන්න කිව්වා. මම ඡන්දෙ කල් දාලා නෑ. තාම කොමිසමෙන් ඡන්දය තියන්න දිනයක් දාලා නැහැ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල :-

අයවැයෙන් මැතිවරණයට බිලියන 10 ක් වෙන් කර තිබෙනවා. ඒ මුදල දෙන්නේ නැත්තේ ඇයි? මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ පසු සියලු රාජ්‍ය ආයතන ඊට සහාය දිය යුතුයි. ව්‍යවස්ථාවේ තියන වගන්ති චක්‍රලේඛ මගින් ඉවත් කරන්න පුලුවන්ද?

ජනාධිපති:-

පළමුවෙන්ම අයවැයෙන් ට්‍රිලියන දෙකක් හෝ තුනක් වෙන් කර තිබෙනවා ඒ මුදල් සියල්ල මේ සැරේ දෙන්න බෑ. අවුරුද්ද අවසාන වෙනකොට මේවා වියදම් කරන්න ඕන. වියදම් කරන්න බැරි නම් ආපහු එවන්න ඕන. වියදම් කරන්න පුළුවන් සඳහන් කළ ආකාරයට ආදායම එනවනම් පමණයි. ට්‍රිලියන තුනක හතරක වියදමක් තියෙන තැනට ට්‍රිලියන එකක ආදායමක් ආවොත් මට වියදම් කරන්න පුළුවන් ඒ ප්‍රමාණය පමණයි. එහෙනම් මහබැංකුවට කියලා මුදල් මුද්‍රණය කරනවද කියලා සභාවෙන් ඇසිය යුතුයි. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම අනුව අපට මුදල් මුද්‍රණය කරන්න බැහැ. මුදල් මුද්‍රණය කළොත් අපට මූල්‍ය අරමුදලට යන්න බැහැ.

චක්‍රලේඛයකින් ඡන්දය කල් දමන්න පුළුවන්ද කියලා ඇහුවා. නැහැ, ඡන්දයක් තියන්න ඕන, මොකක් හරි කරන්න. නිල වශයෙන් තුන් දෙනෙක් ඕන තැන දෙන්නෙක් හිටියා නම් කොහොමද ඡන්දෙ තියන්නේ. එහෙම වුනොත් මේ නිලධාරීන්ට වගකියන්න වෙයිනේ. එක තැනකවත් නියෝගයක් නිකුත් කරලා නැහැ. නියෝගයක් නිකුත් කළත් ක්‍රියාකරන්න බැහැ. ඡන්දයක් නැති නිසා. පළමුවෙන්ම ඡන්දයක් අවශ්‍ය නම් එය තීරණය කරන්න. අප වැඩ කළේ නීතිය අනුව. නීතියෙන් ඉවත් වී නැහැ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් :-

හොඳ තිර පිටපතක් රචනා කරලා ඩ්‍රාමා එක යනවා වගේ අපට පේන්නේ.

ජනාධිපති:-

මරික්කාර් මන්ත්‍රීතුමාට කතා කරන්න තියෙනවා කියලා අපි දන්නවා.ඒ ගැන මම වෙන මොකක් වත් කියන්නේ නැහැ. හරිනම් ඔබතුමා මේකට සත්‍යග්‍රහ කරන්න ඕන.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් :-

රුපියල් බිලියන 118 ක මුදලක් ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් එකතු කර තිබෙනවා. පෙබරවාරි මාසයේ ඔවුන්ගේ ඉලක්කය බිලියන 168 ක මුදලක්. එයින් බිලියන දහයක් දෙන එක අමාරු වැඩක් නෙමෙයි. ආර්ථික අපරාධ ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න ලෙස ඉල්ලුවා. තාම ඒක කරලා නැහැ.

ජනාධිපති:-

මෙරට වී මිලදී ගෙන බෙදාහැරීම සඳහා බිලියන විස්සක් වෙන් කළා ඒ පවුල් ලක්ෂ 28ක් සඳහායි. එමෙන්ම විශ්‍රාම ගිය අයට පාරිතෝෂික දීමනා දෙන්න තිබෙනවා. කුඩා ව්‍යාපාර ගොඩනඟන්න තිබෙනවා. ඒවා වෙන් කරන්න එපා නම් කියන්න. සභාව ඒක තීරණය කරලා මට කියන්න.

ණය පිළිබඳ පැරිස් සමුළුව ඉන්දියාව, චීනය සමග එකඟත්වයක් ඇතිකර මූල්‍ය අරමුදලින් තීරණයක් දෙනතුරු මේ මුදල් අල්ලන්නේ නැහැ. මම මූලිකත්වය දෙන්නේ ආර්ථිකයට. ආර්ථිකය හැදුවේ නැත්තම් රටක් නැහැ. රට නැති කරලා ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න පුලුවන්ද? ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න පුළුවන් වන්නේ රට ආරක්ෂා කළොත් පමණයි. පළමුවෙන්ම කොමිසමේ තුන් දෙනෙක් එක්ක වාඩිවෙලා ඡන්දෙ පැවැත්වීම සඳහා තීරණය ගන්න කියන්න. එහෙම තීරණයක් අරගෙන නැතිනම් ආණ්ඩුවටවත් මටවත් ප්‍රශ්නයක් නැහැ.

රට බංකොලොත් කිරීම ගැන හොයන්න ඔබතුමාලා පාර්ලිමේන්තුවේ යෝජනාව ගේන්න. එහෙම එකඟතාවකට ඇවිත් කියන්න ඒ ගැන දිනයක් දෙන්නම්.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා :-

රට විනාශ කිරීම ගැන තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි අප කිව්වේ මාස තුනකට පෙර. ආණ්ඩු පක්ෂයෙන් ඒකට සහයක් ලැබෙන්නේ නැහැ. ඔබතුමාත් ආරක්ෂා කරන්නේ ඒ හොරුම තමයි.

ජනාධිපති:-

මාර්තු තුන්වැනි සතියේ මේ යෝජනාව අරගෙන ක්‍රියා කරන්න කියා මා අගමැතිතුමාට දැනුම් දුන්නා. ආණ්ඩුව එකට විරුද්ධ වන්නේ නැහැ. කාලේ නාස්ති කරන්න එපා. මමයි මේගොල්ලෝ ගෙනාවෙ. මගේ මොළෙන් මේක ගෙනිච්චෙ. දැන් ඉතින් ඔයගොල්ලන්ට මොළෙත් නෑ. බළෙත් නෑ.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර :-

රෙගුලාසි කීපයක් ගැහුවයන් පස්සෙ මේ රටේ ඡන්දයක් තියන්න අවශ්‍ය වාතාවරණය අකුලලා තියෙනවා. මැතිවරණ කොමිසමේ තුන්දෙනෙක් විතරක් මේ දිනය පිළිගත් බව ඔබතුමා කියනවා. එහෙනම් ඔබතුමාලා අලුත් කොමිසමක් පත් කරලා හරි මේක කරන්න.

ජනාධිපති:-

අපි එන සුමානේ රැස්වෙලා ඒක කරන්නම්. ඔබතුමාගේ ඉල්ලීමටත් එකඟ වෙනවා. විපක්ෂයෙන් ඉල්ලීම් දෙකක් කළා. එකක් රට බංකොලොත් කිරීම ගැන හොයන කාරක සභාව මාර්තු මාසයේ පිහිටුවීම ගැන හොයා බලනවා. අනෙක ඡන්ද කොමිසම මාරු කිරීමයි. ඒකත් එන සතියේ කරලා දෙන්නම්.

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමාණික්කම් –

මුදල් නැති හේතුව නිසා ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ ආදියත් තියන්නේ නැතිද?

ජනාධිපති:-

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අප කටයුතු කරනවා. මම දිවුරුම් දී තිබෙන්නේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නයි. ඒ අනුව ඡන්ද සියල්ලම ඒ වෙලාවට අප පවත්වනවා.

විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර :-

මැතිවරණ කොමිසම නැවත පත් කළ යුතුය කියා දයාසිරි ජයසේකර මහතා කළ යෝජනාව මා ස්ථිර කරනවා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment