ඡන්ද අයිතිය උදුරා ගැනීම ගැන මුළු ලෝකයේම අවධානය යොමුවෙලා – ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ)

74

ඒකාධිපති පාලනයක් යටතේ

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ඒකාධිපති පාලනයක් යටතේ මැතිවරණ කල් දමා ජනතාවගේ මතය ප්‍රකාශ කිරීමේ ස්වෛරී අයිතිය උදුරා ගැනීම පිළිබඳ මුළු ලෝකයේම අවධානය යොමුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (01දා) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

දැන් මුළු ලෝකෙම අවධානය යොමුවෙනවා ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී නොවන විදිහට ඒකාධිපති පාලනයක් යටතේ මිනිස්සුන්ගෙ මතය ප්‍රකාශ කරන්න තියන ඔවුන්ගේ ස්වෛරී අයිතිය උදුරා ගැනීම සම්බන්ධයෙන්. එක පැත්තකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තුවෙන ණය මුදල ලබා ගන්න උත්සාහ ගන්න ගමන් ජනතාවගේ පරම අයිතිය උදුරාගෙන සිටිනවා. දැඩි බදු පීඩනය නිසා ජනතාව පාරට බැහැලා. දැන් ආණ්ඩුව කියනවා මේක පළාත් පාලන මැතිවරණයක් මේකෙන් ආණ්ඩු පෙරලන්න බෑ කියලා. එහෙනම් මොකටද බය. ආණ්ඩු පෙරලන්න බැරි නම් ජනාධිපතිවරයා අයින් කරන්න බැරිනම් පාර්ලිමේන්තුව වෙනස් කරන්න බැරිනම් කැබිනට් එක වෙනස් කරන්න බැරිනම් මොනවටද ආණ්ඩුව ඡන්දය තියන්න බය.

දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඡන්දය පටලවගන්න එපා. ජනාධිපතිවරයා කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගන්න අවශ්‍ය නිසා ඡන්ද තියන්න සල්ලි නැහැ කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රධානම කොටස්කරුවා ඇමරිකාව ඊයේ පෙරේදා වික්ටෝරියා බැඅක්බා කියලා කෙනා ඇවිත් ජනාධිපතිතුමා හමුවුණා. එහිදී කිව්වේ ඡන්ද තියන්න කියලා. අද ට්විටර් පණිවිඩයක් ගහලා තියෙනවා ඇමරිකාවේ ප්‍රධානතම සෙනෙට් සභික බොබ් මෙනෙන්ඩස්. ඔහු පිළිබඳව දන්නා අය දන්නවා. ඇමෙරිකාව සෙනෙට් සභාවේ ඉහළම ගෞරවයක් තිබෙන පාලන පක්ෂ දෙකම පිළිගන්න සභිකයා. ඔහු කියුබාවෙන් ඇවිත් අවුරුදු ගාණක් තිස්සේ විශ්වාසය දිනා ගත්ත පුද්ගලයා. ඔහු සෙනෙට් එකේ සභාපති. එහිදී කියන්න තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය ගන්න ඇමෙරිකාව අවශ්‍ය වෙනවා. ඇමරිකාවේ ප්‍රධානතම සෙනෙට් සභාවේ සභාපති ගහලා තියෙනවා ට්විටර් එකක් මේ කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම ඒකාධිපතිවාදය හරහා යට කරන්න හදනවා කියලා.

ඒගොල්ලෝ කියන්න ඕන නැහැ ඡන්දෙ දෙන්න කියලා. ඒ අපිට අවශ්‍ය නිසා ඡන්දය දෙන්න ඕන. හැබැයි මහලොකුවට කතා කර ඇමරිකාවෙත් ප්‍රධානියාත් ඡන්දය දෙන්න කියා පණිවුඩයක් නිකුත් කර තියෙනවා. ඉන්දියාව කිව්වා ඡන්දෙ දෙන්න කියලා. එහෙමනම් තවත් මිනිස්සු බිල්ලට ගන්නෙ නැතිව මැතිවරණය තියන්න. මනුස්සයෙක් නැති වෙලා තියෙන්නෙ. ඒ මනුස්සයා නිවිතිගල පැත්තෙන් තේ ෆැක්ටරියක ප්‍රධාන ලිපිකරු හැටියට වැඩ කළ අයෙක්.

අපි හැමදේම ජනතා විමුක්ති පෙරමුණ සහ ඔවුන් සමග එකඟ නැහැ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කාටත් තියෙනවා. ඒ මනුස්සය මරා ගන්න ඕන නැහැ ඡන්ද කරන්න. ජීවිතේ කොච්චර වටිනාකමක් තියෙනවද ඒ මනුස්සයා ඇවිල්ලා තියෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හරහා ඡන්දය ඉල්ලන්න. අපිත් ගියා මටත් මහලොකු කඳුළු ගෑස් එකක් වැදුනා. සමහරු කියනවා කරන්න දෙයක් නෑ උද්ඝෝෂණවලට ගියාම තුවාල වෙනවා කියලා. අපිත් උද්ඝෝෂණවලට ගිහිල්ලා තියෙනවා. නමුත් පොලිසිය පාවිච්චි කරලා එය වළක්වන්න හදනවා නම් ඒ වෙනුවෙන් අපි සටන් කරනවා.

අද විපක්ෂයේ නායකයෝ කථානායකවරයාගෙන් ඉල්ලනවා නිල වශයෙන් අවශ්‍ය තීරණ කතානායකවරයාට ගන්න කියලා. අපිට ආරංචි විදියට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියලා තියෙන්නේ ඔහුට අවශ්‍ය ඡන්දය ඉවර කරන්න රුපියල් බිලියන හතරහමාරක් කියලා. මේ ගිය සතියෙ රජය සතියකට සැරයක් වෙළඳ පොලෙන් මුදල් ලබාගන්නවා. භාණ්ඩාගාර බිල්පත් හරහා ඉල්ලලා තිබුණා බිලියන 35 ක්. හැබැයි බිලියන 82ක් ඉදිරිපත් කරලා තිබුණා ඒකෙන් විස්සක් ගත්තා එතකොට ඒ හැකියාව රජයට තියෙනවා. මේ කතා කරන්නේ වියදම් කරන්න පාර්ලිමේන්තුව විසින් සම්මත කරලා තියෙනවා රුපියල් ටි්‍රලියන 7.8 ක්. එම මුදලින් ටිකයි ඉල්ලන්නේ ඡන්දය කරන්න. 4 හමාරයි. මේක පුදුම කතාවක් සල්ලි නැහැ කියන්නේ. මේක මේ මාසේ නැවතත් ජිනීවා එකේ ශ්‍ර ලංකාවේ ප්‍රශ්නය ගන්නවා. මානව හිමිකම් අයිතිවාසිකම් කිව්වම දෙමළ මිනිසුන්ගේ අයිතිවාසිකම් මුස්ලිම් මිනිස්සුන්ගේ සිංහල මිනිසුන්ගේ අයිතිවාසිකම් විතරක් නෙමෙයි. සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්නේ. ජිනීවාවලදී මේවට උත්තර බඳින්න සිද්ධ වෙනවා. ලංකාව කෙරෙහි අවධානයක් තියෙනවා.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment