ඡන්ද අයිතිය රකින්න ජන අරගලයක්

1061

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව ගනිමින් ඇති ක්‍රියාමාර්ගයන්ට එරෙහිව දේශීයව හා ජාත්‍යන්තරව පුළුල් ක්‍රියාමාර්ග රැසක් ගැනීමට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ තීරණය කර ඇත. ඒ අනුව අදියර තුනක් යටතේ ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇත. එහිදී නීතිමය ක්‍රියාමාර්ග, රට පුරා දැවැන්ත උද්ඝෝෂණ සහ රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

නීතිමය ක්‍රියාමාර්ග යටතේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට, රජයේ මුද්‍රණාලයාධිපතිනියට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට තීරණය කර තිබේ. උද්ඝේෂණ ක්‍රියාමාර්ග යටතේ දිවයින පුරා නොනවතින උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට තීරණය කර ඇත. රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය සහ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කෙරේ.

මේ සම්බන්ධයෙන් ‘දිවයින ඉරිදා සංග්‍රහ’ය කළ විමසීමක දී ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේ ජනතාවගේ ඡන්ද අයිතිය සුරැකීම වෙනුවෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට සිය බලවේගය සූදානම් බවයි.

එහි මූලික අදියර වශයෙන් ඊයේ (18 වැනිදා) ගම්පහ, මහරගම, හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි මහජන උද්ඝෝෂණ ආරම්භ කළ බවද එය ඉදිරියේ දී රට පුරා පැවැත්වීමට කටයුතු කරන බව ද කීවේය.

මෙය නොනවතින අරගලයක් බවත් ඉදිරියේ දී මහා ජන ගංගාවක් කොළඹට ගෙන එන බවත් සඳහන් කළ හෙතෙම ඒ සඳහා එක්වන මෙන් සෑම සියලු දෙනාට ආරාධනා කරන බවද කීවේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ කොළඹ පුරපති අපේක්‍ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේ සිය බලවේගය මහා ජන ගංගාවක් හෙට (20 වැනිදා) කොළඹට කැඳවා දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බවයි.

පළාත් පාලන මැතිවරණය දිනා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සෑම සියලු දෙනාගේ වගකීමක් බවත් ඒ වෙනුවෙන් කළ හැකි සහ කළ යුතු සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම විපක්‍ෂයේ අනෙකුත් පක්‍ෂ ද මැතිවරණ කල් දැමීමට එරෙහිව ජන අරගලයට සහය දැක්වීම සඳහා සාකච්ඡා කෙරෙමින් පවතින බවද වාර්තා වෙයි.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment