ඡන්ද ඉල්ලලා පාරට බහින්නේ තවත් රට වට්ටන්න හදන අය – වජිර අබේවර්ධන කියයි

144

ආර්ථික වශයෙන් රට වැටී තිබෙන අවස්ථාවක මැතිවරණ ඉල්ලමින් පාරට බහිනවා නම්, ඒ තවත් රට පහළට ඇද දැමීමට උත්සහ කිරීමක් යැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (13 දා) පැවසීය.

ජනතාව මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ට ඡන්දය දීමට වඩා තුන්වේල සපයා ගැනීමට උත්සහ කරන බවත් එවැනි අවස්ථාවක රට තිබියදී ජනතාව පාරට බැස්සවීමට උත්සහ කරන අය ගැන ජනතාව අවදියෙන් සිටිය යුතු බවත් අබේවර්ධන මහතා සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (13 දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීය. රට බංකොළොත් කියලා රට භාරගන්න කියපු අවස්ථාවේ රට භාරගන්න එන්නේ නැතිව පැනල ගිහින් දැන් ජනතාව පාරට බස්සන්න කථා කරනවා. රට තිබුණේ ඉන්ධන, ගෑස්, පොහොර, භූමිතෙල් නැතිව. ජනතාව දින ගණන් පෝලිම්වල හිටිය තත්ත්වයක්. එවැනි තත්ත්වයක තිබූ රට රනිල් වික්‍රමසිංහ මහතා භාරගෙන පෝලිම් නැති තත්ත්වයට පත්කරලා තියෙනවා. රට තිබූ තත්ත්වය හමුවේ ඇමැතිවරු ඉල්ලා අස්වුණා.

සමහර අයගේ දරුවෝ රට යැව්වා. විපක්‍ෂයේ අයත් හැංගෙන්න තැන් හෙව්වා. එවැනි තැනක තිබූ රට මේ තත්ත්වයට ගෙනාවාම දැන් මැතිවරණ ඉල්ලලා පාරට බහිනවා කියනවා. මැතිවරණ පවත්වන්න පුළුවන් ආර්ථික තත්ත්වයක රට නැහැ. ලබන අප්‍රේල් මැයි පමණ වනවිට රම් රට යම් තැනකට ගෙනඒමට ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා හැකි වෙනවා. ඒ තත්ත්වය ඇතිකරන්න ජනාධිපතිවරයාට වසරකවත් කාලයක් ලබාදිය යුතුයි. ජනාධිපතිවරයා කරගෙන යන වැඩපිළිවෙළ මේ විපක්‍ෂයේ අයට පෙනී යනවා. වසරක කාලයක් දුන්නොත් රට හොඳ තත්ත්වයට පත්වෙලා ඒ අයට බලයට ඒමට බැරිවන බව ඔවුන් දන්නවා. ඒ බව දන්න නිසා තමයි දැන්ම මැතිවරණ ඉල්ලලා රට තවත් වලපල්ලට දාන්න උත්සහ ගනිමින් ඉන්නේ. අපි මේ අයට කියනවා රට ගොඩගන්න නම් සාමූහික එකඟතාවයකට සියලු පක්‍ෂ පැමිණිය යුතුයි කියලා. ඔවුන්ගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තු ජාතික සභාවට ලබාදිය යුතුයි. ඉන්පසු සාකච්ඡා කර රටට යහපත් ආකාරයට එම යෝජනා ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙම යෝජනා නොදී රට අසරණ කරන වැඩ කරන්න එපා කියලා ඒ අයගෙන් ඉල්ලා සිටිනවා.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment