ඡන්ද ඕනෑම නැහැ!

251

සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී කබීර් හෂීම්ගේ නායකත්වයෙන් රජයේ ගිණුම් කාරක සභාවට මෑතකදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කැඳවූ අවස්ථාවකදී දැනට රජයට අයවිය යුතු බදු, දඩ සහ අනෙකුත් අයකරගත යුතු මුදල් රුපියල් බිලියන 763 බවට ප්‍රකාශ විය. එම මුදලින් රුපියල් බිලියන 200 කට අධික මුදලක් සම්බන්ධයෙන් දැනට කිසිදු නඩු කටයුත්තක් ක්‍රියාත්මක නොවන බවටද ප්‍රකාශ විය. අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී මෑතකදී ප්‍රධාන අපනයනකරුවන්ට බරපතළ චෝදනා කළේ ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් වන අපනයන ආදායම් රටට ප්‍රේෂණය කර නොමැති බවයි. මහා බැංකුවද මෙම තත්ත්වය සනාථ කර ඇත. නමුත් මෙම හෙළිදරව් සම්බන්ධයෙන් ගතයුතු අනෙකුත් ක්‍රියාමාර්ග ගෙන ඇතිද? පළාත් පාලන ජන්දයක් පැවැත්වීමට මුදල් කාබාසිනියා කරන බවට චෝදනා කරන කිසිවෙකුට රටට හිමි මුදල් එකතු කර ගැනීමේ වුවමනාවක් නැත.

දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන මැතිවරණයක් මෙම අවස්ථාවේ අවශ්‍ය නැත. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ දෙසැම්බර් 27 දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයකට අනුව රට බංකොලොත් වී ඇති මෙම අවස්ථාවේදී යෝජිත පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රුපියල් මිලියන 10,000 වියදම් කිරීම අපරාධයකි.

මැතිවරණයට අදාළ නිවේදනය කිරීමට පෙර වර්තමාන තත්ත්වය පිළිබඳව විමසා බැලීමට මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සියලුම පක්ෂ සමඟ සාකච්ජාවක් කැඳවීමට හේවාපතිරණ යෝජනා කර ඇත.

රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ද පළාත් පාලන ජන්දය වර්තමාන තත්ත්වය තුළ පැවැත්වීමේ අවශ්‍යතාව ප්‍රශ්න කර ඇත. ශ්‍රීලනිපය වික්‍රමසිංහ -රාජපක්ෂ ආණ්ඩුව තුළ නියෝජනය කරන සියඹලාපිටිය සහ හේවාපතිරණ අවධාරණය කරන්නේ රජයේ අවශ්‍යතාව බව අමුතුවෙන් කිවයුතු නැත.

දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමිසම මෑතකදී පිළිගත් පක්ෂ පහ අතර පක්ෂයකි. නමුත් එම පක්ෂය නියෝජනය කරන කිසිවෙකු මේ දක්වා පාර්ලිමේන්තුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතන වෙනත් පක්ෂයක් හරහා නියෝජනය කර නැත.

මෑතකදී මැතිවරණ කොමිසම පිළිගත් පක්ෂ පහ සමඟ සමස්ත ලියාපදිංචි දේශපාලන පක්ෂ ගණන 84 කි. එම පක්ෂ 84 න්, හතරක් වර්තමානයේ ක්‍රියාත්මක නොවන බව මැතිවරණ කොමිසම තම වෙබ් අඩවියේ සඳහන් කර ඇත. නමුත් ලියාපදිංචි බොහෝ පක්ෂ ක්‍රියාත්මක නැත. එයින් සමහරක් ඉඳ හිට ප්‍රකාශ නිකුත් කරයි.

ක්‍රියාත්මක නොවන පක්ෂ යම් ප්‍රමාණයක් පළාත් පාලන ආයතන ජන්දය මෙම අවස්ථාවේ පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ හැක. ජනතාව පුදුම විය යුතු නැත.

වික්‍රමසිංහ – රාජපක්ෂ රජය පළාත් පාලන මැතිවරණය හමුවේ මුහුණ දෙන අභියෝගය විමසා බැලිය යුතු වන්නේ යහපාලන පාර්ශ්ව කරුවන් වූ එජාපය ට සහ ශ්‍රීලනිපය ට 2018 දී පැවති පළාත් පාලන ජන්දයේදී අත්වූ ඉරණම ද සැලකිල්ලට ගැනීමෙනි. වෙන වෙනම තරග කළ එජාපය සහ ශ්‍රීලනිපය එම පළාත් පාලන ජන්දයේදී හැඳි ගෑවී ගියේය. එජාපය සහ ශ්‍රීලනිපය එකිනෙකට කළ චෝදනා හේතුවෙන් එම පක්ෂ දෙක අතර සම්බන්ධතාව සම්පූර්ණයෙන්ම බිඳ වැටිණි. මෙම අවස්ථාවේදී එජාපය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන සටනට වෙන වෙනම ඉදිරිපත් වුවහොත් ඇතිවන තත්ත්වය එම පක්ෂ දෙකම අවබෝධ කරගෙන ගෙන ඇත.

එජාපය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධාගත වීම සම්බන්ධයෙන් යම් කතාබහක් ඇතිවී තිබුණත් එය යථාර්ථයක් බවට පත් කර ගැනීම සුළුපටු අභියෝගයක් නොවේ. පළාත් පාලන ජන්දයක තීරණය මත ආණ්ඩුවක් වෙනස් නොවුනත් 2023 වසරේ පෙබරවාරි – මාර්තු මාසයේ ලබන මැතිවරණ පරාජයක් වික්‍රමසිංහ – රාජපක්ෂ රජයට මහත් හිසරදයක් විය හැක.

යෝජිත මැතිවරණය කල් දැමීමට අවශ්‍ය බලපෑම් කිරීම රජය ආරම්භ කර ඇත. සමස්ත මාධ්‍ය මෙහෙයුම අදාළ ක්ෂේත්‍රයේ ඉහළම ස්ථානයකින් ක්‍රියාත්මක වේ.

වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුව පරිස්සම් විය යුතුය. ජන්ද මග හැරීමෙන් ආණ්ඩු ආරක්ෂා කර ගත නොහැකි බව ජනතාව සියලුම දේශපාලන පක්ෂවලට අවධාරණය කර ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පසුගිය ජුලි මාසයේ පලවා හැරිය ජනතා බලය පළාත් පාලන ජන්දයකදී කුමන ආකාරයකට ක්‍රියාකරාවිද යන ප්‍රශ්නය වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුවට පමණක් නොව පළාත් පාලන ජන්දය පැවැත්විය යුතු බවට බල කරන සියලුම දේශපාලන පක්ෂවලට ඇත.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙයුම් සම්පූර්ණයෙන්ම පුස්සක් බවට පත්විය. වික්‍රමසිංහ -රාජපක්ෂ රජය එම තත්ත්වය තේරුම් ගත යුතුය.

පක්ෂ භේදයකින් තොරව ජනතාවට (වහාල්භාවයෙන් කටයුතු කරන යම් කණ්ඩායම් හැර) රැවටීම එපා වී ඇත. කිරි පිටි, ගෑස්, ඉන්ධන ඇතුළු අතවශ්‍ය භාණ්ඩ සහ සේවා නැතිවීම නිසා මිරිහානේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පෞද්ගලික නිවාසය ඉදිරිපිට පුපුරා ගිය ජනතා විරෝධය එදා ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කළේ අරාබි වසන්තය මෙරට ක්‍රියාත්මක කළ යුතු බවට පෙරමුණ ගත් සංවිධානාත්මක අන්තවාදීන් කණ්ඩායමක් ලෙසයි. එම කණ්ඩායම රට අරාජික කිරීමේ මෙහෙයුමක නිරත වූ බවට ජනාධිපති මාධ්‍ය චෝදනා කළේය. (නිවේදන අංක 22/131/අප්‍රේල් 01 පෙරවරු 6 ට නිකුත් කරන ලද නිවේදනයකට අනුව). මිරිහානේ සිදුවීම් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වීමටත් පෙර ජනතා විරෝධය සංවිධානාත්මක අන්තවාදීන් ගේ සැලසුමක් බවට චෝදනා කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය පසුබට වූයේ නැත. සැබෑ තත්ත්වය අවබෝධ කර ගැනීමට එදා පොහොට්ටු රජයට අවශ්‍ය නොවීය. මෙහිදී අවධාරණය කළ යුතු වන්නේ 2022 පෙබරවාරි පැවැත්වීමට ව්‍යවස්ථානුකූලව නියමව තිබූ පළාත් පාලන ජන්දය වසරකින් කල් දැමුවේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බවයි. එදා කොවිඩ් 19 එල්ල කරන තර්ජනය පෙන්වා එම ජන්දය ප්‍රයෝගකාරී ලෙස මග හැරිය ආණ්ඩුවට මුහුණ දීමට සිදුවූ තත්ත්වය වංචනිකයන්ට කදිම පාඩමකි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එදා පළාත් පාලන ජන්දය මග හැර යෑමට තීරණය කළ අවස්ථාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් – ඩලස් අලහප්පෙරුම කණ්ඩායම සහ වාසු – විමල් – උදය කණ්ඩායම මෙන්ම අනුර ප්‍රියදර්ශන නියෝජනය කරන කුඩා කණ්ඩායමද පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කළේය. බැසිල් රාජපක්ෂගේ නායකත්වයෙන් ක්‍රියාත්මක පොහොට්ටු පක්ෂය සමග අද විරසක වී ඇති එම කණ්ඩායම් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බල කරමින් සිටී. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්තිය කිසිදු ප්‍රතිපත්තියක් නොමැතිකමයි. අවසන් පළාත් පාලන ජන්දය පවත්වා (2018 පෙබරවාරි) වසර හතරක් ඉක්මවා යෑමට (2022 පෙබරවාරි) පෙර එම මැතිවරණය පැවැත්වියයුතු බවට අවම වශයෙන් අදහසක්වත් ඉදිරිපත් කිරීමට අද විරසක වී සිටින කිසිවෙකුට ශක්තියක් නොවීය. ඉතාමත් අමිහිරි සත්‍යය එයයි.

පාර්ලිමේන්තුවේ එක ආසනයක් පමණක් හිමි එජාපයද, පොහොට්ටු පක්ෂයේ මැති ඇමැතිවරුද මෙම අවස්ථාවේදී ජන්දයක් අනවශ්‍ය බව ප්‍රකාශ කර ඇත. ආණ්ඩුවේ සහ ඊට අනුබද්ධ කණ්ඩායම් වල උපාය මාර්ගය විමසා බැලිය යුතු වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හදිසි මහා මැතිවරණයක් හෝ නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් කිසිසේත්ම නොපවත්වන බවට තීරණය කර ඇති අවස්ථාවකය.

පළාත් පාලන ජන්දය මෙම අවස්ථාවේ පැවැත්වීම බංකොලොත් ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීමට වික්‍රමසිංහ – රාජපක්ෂ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග වලට ප්‍රබල බලපෑමක් කළ හැකි බවට යෝජිත ජන්දය නියමිත කාලයේ පැවැත්වීමට විරුද්ධ කණ්ඩායම් පවසයි. එම ස්ථාවරය එලෙස පිළිගතහොත්, 2024 පැවැත්වීමට නියමිත මීළඟ ජනාධිපතිවරණය සහ 2025 පැවැත්වීමට නියමිත මහමැතිවරණය කිසිසේත් පැවැත්විය නොහැකි වනු ඇත. ආර්ථිකය විනාශ කිරීමේ සමාවක් නොදිය යුතු අපරාධයට පාර්ලිමේන්තුව නියෝජනය කරන 1977 පසුව කැබිනට් මණ්ඩලය නියෝජනයන් කළ සියලුම පක්ෂ අඩු වැඩි වශයෙන් වගකිව යුතුය. ආර්ථිකය විනාශ කළ විධායකය සහ ව්‍යවස්ථාදායකය රටේ ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටීම තරම් විහිළුවක් නොවේ.

ජන්දදායකයන් 69 ලක්ෂයකින් 2019 නොවැම්බර් බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ තුනෙන් දෙකකට ආසන්න පාර්ලිමේන්තුවේ බලයක් 2020 අගෝස්තුවේදී හිමි කරගත් පොහොට්ටු පක්ෂය කළ විනාශය අදහාගත නොහැකිය. එම තීරණාත්මක ජන්දවලදී එම පක්ෂයට ජන්දය දුන් මෙම ලියුම්කරු ඇතුළු අති බහුතර ජනතාවක් එම පාලනය ප්‍රතික්ෂේප කළ බව අවධාරණය කළ යුතුය.

මහා බැංකු බැඳුම්කර වංචා චෝදනාවට ලක්වූ එජාපයට ජනාධිපති ධුරය නැවත ලබා ගැනීමට අවශ්‍ය දේශපාලන – ආර්ථික – සමාජීය තත්ත්වය වසර එකහමාරක් – දෙකක් තුළ ‘අපූරුවට‘ නිර්මාණය කළ පොහොට්ටු පක්ෂය ජනතාවට ආණ්ඩුව වෙනස් කිරීමේ වෙනත් ක්‍රියාමාර්ගවලට යෑමේ අවශ්‍යතාව අවධාරණය කළේය. මාර්තු 31 සිට ජුලි 14 කාලය තුල ජනතාව අවධාරණය කළේ බොරුවට සහ වංචාවට සැමදා ඉඩක් නොමැති බවයි.

විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට පසුගිය වසර පහ තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තා පරිශීලනය කරන ඕනෑම අයෙකුට විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ (නීතිපති දෙපාර්තමේන්තුවේ) සැබෑ තත්ත්වය තේරුම් ගැනීමට අපහසු නැත. වර්තමාන විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කාරක සභා වලදී සහ පාර්ලිමේන්තුවෙන් පිටදී කර ඇති ප්‍රකාශ අනුව රටේ මූල්‍ය ස්ථාවරත්වය වනසා දමා ඇති කණ්ඩායම හඳුනාගෙන ඇත. රට මූල්‍යම වශයෙන් අස්ථාවර කරන්නේ භූමියේ තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත්වීමද යන ප්‍රශ්නයද නැගේ. මෙහිදී ජනාධිපති නීතිඥ අලි සබ්රි මුදල් අමාත්‍යවරයා ලෙස 2020 ජුනි පළමුවන සතියේ ස්වර්ණවාහිනී නාලිකාවේදී එවකට ජනාධිපතිවරයාගේ සමීපතමයින්ට (ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර) සහ මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පාර්ලිමේන්තුවේදී කළ චෝදනා අනුව රට බංකොලොත් කළ කණ්ඩායම හඳුනාගෙන ඇත.

රට බංකොලොත් කළ, බංකොලොත් කිරීමට දායක වූ මහජන නියෝජිතයන් සහ ඉහළ නිලධාරී පැලැන්තිය තවදුරටත් ජනතාව රැවටීමේ ක්‍රියාවලියේ දී සිටියි. වර්තමාන අර්බුදයට විධායකය කෙතරම් වගකිව යුතුද? වගවිය යුතුද ? ප්‍රශ්න ගැඹුරින් විමසා බැලිය යුතුය. පොහොට්ටු කැබිනට් මණ්ඩලය දැනුවත්ව (ජනමාධ්‍ය සහ ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දෙසැම්බර් 09 ප්‍රකාශ කර ඇති පරිදි) රුපියල් බිලියන 16 බවට ඇස්තමේන්තු කර ඇති සීනි බදු වංචාවේ අලාභය සංසන්ධනය කර බැලිය යුතු වන්නේ පළාත් පාලන ජන්දය පැවැත්වීමට රුපියල් බිලියන 10 වැය කිරීම අනවශ්‍ය කටයුත්තක් බවට ප්‍රකාශ කර ඇති අවස්ථාවකදීය.

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෑතකදී (දෙසැම්බර් 15, බත්තරමුල්ලේදී) පළාත් පාලන ජන්දයට පොහොට්ටු පක්ෂය එජාපය සමඟ එක්ව තරග කිරීමේ ඇති අවස්ථාව සම්බන්ධයෙන් කතා කළේය. දෙපාර්ශ්වයම අත්දැකීම් බහුල කණ්ඩායම් දෙකක් බව පැවසූ රණතුංග අමාත්‍යවරයා එබැවින් සංධාන ගතවීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැත බවද ප්‍රකාශ කළේය. එම සංධානය තරග කරන ලාංජනය සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කරන බව ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අවධාරණය කළේය. නමුත් පොහොට්ටු පක්ෂය එලෙස ප්‍රකාශ කළත් , පළාත් පාලන ජන්දය මෙම අවස්ථාවේ පැවැත්වීම දැනට ක්‍රියාත්මක ආර්ථිකය නැවත නගාසිටුවීමේ ක්‍රියාවලියට බාධාවක් වික්‍රමසිංහ – රාජපක්ෂ රජය ප්‍රකාශ කරයි.

කිසිදු මැතිවරණයකින් ජනතාව බලාපොරොත්තු වන වෙනස කිසිසේත් ඉටු නොවන බවට කරන චෝදනාව ආණ්ඩුව සහ විපක්ෂය ඔප්පු කර ඇත. දූෂිත ක්‍රමය මැතිවරණ හරහා මාරුවෙමින් ක්‍රියාත්මක වී ඇත. පළමු වරට ජනතාව එපා වූ ආණ්ඩුවක් මහමැතිවරණයකට සහ ජනාධිපතිවරණයකට පිටින් පලවා හැරීමට ගිය වසරේ සිදුවිය. පාලක පැලැන්තිය එම තත්ත්වය තේරුම් නොගතහොත් දේශපාලන භූමිය ඉතා කෙටි කලක් තුළ උඩු යටිකුරු විය හැකිය. පසුගිය වසරේ අගෝස්තු මාසයේ 31 වන දින ආචාර්ය නන්දලාල් වීරසිංහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවලට කළ අනතුරු ඇඟවීම අතිශය තීරණාත්මකය. දේශපාලන පක්ෂ (ආණ්ඩුව ඇතුළුව) අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වුවහොත් ඇතිවන තත්ත්වය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මුහුණ දුන් අභියෝගයට වඩා බොහෝ බරපතළ විය හැකි බව අවධාරණය කළේය. ලැබූ මේ වසර තීරණාත්මකය. තවදුරටත් බොරුවෙන්, වංචාවෙන් සහ කපටිකමින් රට පාලනය කිරීමට නොහැකි බව ආණ්ඩුව සහ විපක්ෂය තේරුම් ගත යුතුය. පළාත් පාලන ජන්දය මග හැර යෑමෙන් වික්‍රමසිංහ-රාජපක්ෂ ආණ්ඩුව මුහුණ දෙන අභියෝගයෙන් ගැලවිය නොහැක.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment