ඡන්ද භීතිය නිසා හත් පොළේ ගාගත් ආණ්ඩුව!

197

පළාත් පාලන මැතිවරණයට අදාළව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර කපුහින්න විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය ඉමහත් සමාජ දේශපාලන ආන්දෝලනයකට තුඩු දී තිබේ. මේ සම්බන්ධයෙන් ලේකම්වරයාට පමණක් නොව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ද දැඩි විවේචන හා චෝදනා නැගී ඇත. ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉකුත් 09 වැනිදා ගන්නා ලද තීන්දුවක් අනුව පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් ලබාගැනීම අත්හිටුවන ලෙස එම චක්‍රලේඛයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝග කර තිබිණි. එහෙත් එම තීන්දුව ආපසු කැඳවීමට අමාත්‍යාංශ ලේකම්වරයාට සිදු විය. මෙය වූ කලී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද පටහැනිව ගන්නා ලද තීරණයක් බවත් කැබිනට් මණ්ඩලයේ එම ප්‍රතිචාරය නීති විරෝධී බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ වූ අදහස්වල හරය විය. ආණ්ඩුව මුල සිටම මෙම මැතිවරණය කල්දමා ගැනීම සඳහා නීත්‍යානුකූල අවකාශයක් සෙවූ බව රහසක් නොවේ. මුලින්ම ආණ්ඩුව රටට ප්‍රකාශ කළේ පළාත් සභාවල නියෝජිත පිරිස වූ 8000 ක සංඛ්‍යාව 4000 ක් කලයුතු බවය. එහෙත් මැතිවරණය පැවැත්වීමට පෙර එබඳු ක්‍රියාන්විතයක් දියත් කළ නොහැකි බව ආණ්ඩුවද දනී. හිටපු මැතිවරණ කොමසාරිස්වරයකු වූ මහින්ද දේශප්‍රියගේ සභාපතීත්වයෙන් යුතු සීමා නිර්ණය සභාව පත් වූයේ ද එහි පියවරක් ලෙසය. එය ද විවාදයකට තුඩු දුන්නකි. දොලවත්ත මන්ත්‍රීවරයාගේ පෞද්ගලික පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූයේ එහිම දිගුවක් ලෙසය. එහෙත් එයද විපක්ෂයේ දැඩි විවේචනවලට ලක්වූ හෙයින් ආණ්ඩුවට පසු බැසීමට සිදු විය.

ඉහත සඳහන් කළ අමාත්‍යාංශ ලේකම්ගේ චක්‍රලේඛය නිකුත් වූයේ ඒ සියලු ප්‍රයත්නයන් අසාර්ථක වීම නිසාය. එම චක්‍රලේඛය මෙන්ම ඒ සඳහා ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීන්දුව ද නීති විරෝධී බව නීති ක්‍ෂේත්‍රයෙහි මෙන්ම වෙනත් දේශපාලන හා සමාජ ක්‍රියාකාරීන්ගේ ද අදහස විය. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මුල සිටම ආණ්ඩුවේ අරමුණ දෙස සැක මුසුව බලා සිටියේ විශේෂ නිවේදනයක් ද නිකුත් කරමින්ය.

අමාත්‍යාංශ ලේකම්වරයාගේ මතභේදාත්මක චක්‍රලේඛයට පෙර ජනාධිපති රනිල් මැතිවරණ කොමිසමට බලපෑම් කිරීමට පවා පසුබට නොවීය. ඔහුගේ එම ප්‍රතිචාරය ද සදාචාර විරෝධී බවට විවේචන නැගුණි. මැතිවරණ කොමිසම බෙදී සිටින බවට ඇතැම් ජනමාධ්‍යවල ද වාර්තා පළවිය. එහෙත් කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා අවධාරණය කළේ එබදු බෙදීමක් නැති බවය. ඇත්ත වශයෙන්ම ඒ කොමිසමේ සියලු දෙනාම එක මතයකට පැමිණ සිටීම ද ආණ්ඩුව අපේක්ෂා කළ අරමුණට බාධාවක් විය. එහෙත් තම ප්‍රයත්නය අත්නොහළ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ යෝජනාවක් ලෙස ඉහත සඳහන් චක්‍රලේඛය නිකුත් කිරීමට පියවර ගෙන ඇත. මෙය ආණ්ඩුවේ කීර්ති නාමයට මෙන්ම ජනාධිපති රනිල්ගේ දේශපාලන ප්‍රතිරූපයට ද කැළලක් බව එහිදී කිසිවෙකුට නොපෙනීම ද පුදුමය දනවන්නකි.

කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇමැතිවරුන්ට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අවබෝධයක් නැති නම් එහිදී නීතිපතිවරයාගේ හෝ උපදෙස් ලබාගත යුතුව තිබිණි. එහෙත් ආණ්ඩුවේ නොඉවසිල්ල නිසා ජනාධිපතිවරයාට පමණක් නොව මැතිවරණය එපා යන සටන් පාඨය අතට ගත් සියල්ලන්ටම කට උත්තර නැති විය. මෙහිදී විපක්ෂය මෙන්ම වෙනත් සමාජ ක්‍රියාකාරීහු ද ජනාධිපති රනිල් ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරන්නට ද වූහ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් හා ලේකම් ඉසුරු පටබැඳි ඔවුන්ගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවට කියා සිටියේ ජනතාවගේ ඡන්ද බලය ආරක්ෂා වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා නීතියට අනුව කටයුතු කිරීම රජයේ වගකීම බවය. රටේ නීතියේ ආධිපත්‍යයට හා ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වන්නා වූ කවර උත්සාහයකින් වුවද විනශකාරී ප්‍රතිඵලවලට මුහුණදීමට සිදු විය හැකි බව ද එහි සඳහන් විය. පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේ මෙම නීති විරෝධී ප්‍රතිචාරයට වගකිවයුතු අමාත්‍යාංශ ලේකම්වරයා ද ඉල්ලා අස්විය යුතු බවය. මැතිවරණ කොමිසම ඔහු සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගත යුතුව ඇතැයි ද ඔහු පවසා තිබිණි.

මෙහිදී මෙරටේ යුක්තිගරුක පුරවැසියන් බොහෝ දෙනෙකු විසින් නගනු ලබන ප්‍රශ්නයක් ඇත. එනම් ආණ්ඩුව මෙම මැතිවරණයට මෙතරම් බිය වන්නේ හා එය කල්දැමීමට සටකපට ලෙස හැසිරෙන්නේ ඇයිද යන්නයි. මෙය දේශපාලන බංකොලොත් භාවය වසන් කර ගැනීමට දරන වෑයමක් විය හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා කැපවී සිටින බව පවසන ජනාධිපති රනිල් මෙවැනි පසුගාමී දේශපාලනයක නිමග්න වී සිටීම අප තේරුම් ගන්නේ කෙසේද? රාජපක්ෂවරුන්ට මෙන්ම ඒ ක්‍රමය නඩත්තු කරන මෙරටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම එල්ල වී තිබෙන විවේචන, චෝදනා කෙබඳු දැයි ජනාධිපති රනිල් දනී. දිගු කලක් මුළුල්ලේ නඩත්තු කරන ලද දූෂණ, වංචා, අල්ලස්, හොරකම් ආදියෙන්ම කුණු වී ගිය දේශපාලනය මෙරටේ ජනතාව ප්‍රතික්ෂේප කරන බව ද ජනාධිපතිවරයා හොඳින්ම දනී.

දේශපාලන ප්‍රභූ තන්ත්‍රය මෙන්ම ලුම්පන් දේශපාලන සංස්කෘතිය ද අද මුළු මහත් ජනතාවගේම අප්‍රසාදයට පමණක් නොව වෛරයට ද ලක්ව තිබෙන්නකි. හැටනව ලක්ෂයක මහජන වරමක් ගැන උදන් ඇනූ ගෝඨාභයට සිය ධුරය අත්හැර රටින් ද පලායෑමට සිදු වූ ඒ අරගලයේ අභිලාෂයන් කෙබඳුද යන්න අද සමහරුන්ට අමතක වී තිබේ. අද වනවිට පුරවැසි විරෝධතා ව්‍යාපාර මහපාරවල්වලට පැමිණෙමින් තිබේ. ජනතා පරමාධිපත්‍ය යනු මහජන නියෝජිතයන්ට ලබාදී තිබෙන තාවකාලික භාරකාරත්වයක් විනා හිමිකාරත්වයක් නොවන බව ජනතාව ද වටහා ගනිමින් සිටියි. මේ දේශපාලන විඥානය වර්ධනය වීම පවතින ප්‍රභූ දේශපාලන පැලැන්තියට අසුබ හා අනතුරුදායක බව ද ඔවුහු දනිති. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අලුත් කියවීම නොඉවසන පාලකයන්ට තිබෙන එකම විකල්පය මර්දනය පමණි. ගාලුමුවදොර අරගලයේ අපේක්ෂාව වූයේ මේ දූෂිත, ගර්හිත ක්‍රමය කුඩු පට්ටම් කර දැමීමය. එහෙත් එයට වුවමනා ගැඹුරු හා නිශ්චිත දැක්මක් අරගලයේ නායකත්වයෙන් නොලැබුණි.

එදා අරගලකරුවන් අත තිබුණු විවිධ තේමාවලින් ප්‍රකාශ වූයේ දූෂිතයන්ට දඬුවම් ලබාදීම, ත්‍රස්තවාදී පනත අහෝසි කරවීම, පවුල් කේන්ද්‍රීය දේශපාලනය වෙනුවට ජනතාවට වගකියන ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වැනි සාධනීය දේවල්ය. ප්‍රජාතන්ත්‍රවාදයේ ගරා වැටුණු ලකුණු වෙනුවට එහි ජීව ගුණය එයට කාන්දු කිරීම යෞවනයේ අපේක්ෂාව විය. එහෙත් රාජපක්ෂවරුන්ට රැකවරණය ලැබුණේ රනිල් ජනාධිපති ධුරයට පත්කර ගැනීම නිසාය. පොහොට්ටුවේ සිටින කණ්ඩායම තුළ එබඳු ආරක්ෂාවක් ලබාදිය හැකි චරිතයක් නොමැති බව රනිල්ගේ සම්ප්‍රාප්තියෙන් තහවුරු වන තවත් කරුණකි. කුමක් වුවත් මේ ආණ්ඩුව අරගලකරුවන් වෙනුවෙන් දක්වන නිර්දය ප්‍රතිචාර සම්බන්ධයෙන් තිබෙන විවේචන හා චෝදනාවල හරය වන්නේ ඔවුන් මර්දනය මගින් ඒ අභිනව සමාජ පිබිදීමට හරස් වන බවය.

ඡන්ද භීතිය නිසා හත් පොළේ ගාගත් ආණ්ඩුව!

රාජපක්ෂවරුන් සමග සිටි ප්‍රබල චරිත අද ජනතාවට ප්‍රකාශ කරන්නේ ද ප්‍රජාතන්ත්‍රවාදයේ අලුත් පරිච්ඡේදයක් ලිවීම සඳහා තමන් කැපවී සිටින බවය. මෙරටේ පවුල් කේන්ද්‍රිය දේශපාලනය අවසන් කළ යුතු බව ද අද ඔවුහු පවසති. නිදහස් ජනතා සන්ධානය ලෙස ගොනු වී සිටින මේ කණ්ඩායම රාජපක්ෂවරුන් විසින් භාවිත කරන ලද්දේ දේශපාලන උපකරණ නැතහොත් මෙවලම් ලෙසය. මහින්ද වෙනුවෙන් මෙන්ම ගෝඨාභය වෙනුවෙන් ද භාවිත වූ මේ කණ්ඩායම රටේ දේශපාලනයට කෙබඳු බලපෑමක් කරනු ඇද්ද යන්න නුදුරු අනාගතය විසින් තහවුරු කරනු ඇත. රාජපක්ෂවරුන් විසින් රටට උරුම කරන ලද බොහෝ විනාශයන්ට මේ පිරිසගේ අනුමැතිය අනුග්‍රහය ලැබුණු බවට විවේචනයක් ද තිබේ. එහෙත් ඔවුන්ට නිවැරදි වීමටත් ජනතාවාදී සැබෑ දේශපාලනයක් වෙනුවෙන් කැපවීමට තිබෙන අභිලාෂයත් අප අගය කළ යුතුය. තම දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් කැපවූ සියල්ලන්ටම රාජපක්ෂවරුන් විසින් දක්වන ලද ප්‍රතිචාර රටම දන්නා කරුණකි. ඇතැම් නිලධාරීන් පමණක් නොව විවිධ වෘත්තිකයන්, භික්ෂූන් වහන්සේලා ඇතුළු පුළුල් නියෝජනයක් තිබීම ද ඒ රාජපක්ෂ දේශපාලන ගමනට ශක්තියක් විය. එහෙත් දැන් ඒ බලය දිය වී යයි.

ජනාධිපති රනිල් රාජපක්ෂවරුන්ගේ රූකඩයක් නොවූවත් ඔහුට ඔවුන්ගේ පීඩනයෙන් සම්පූර්ණයෙන් මිදිය නොහැකි බව ද අපි දනිමු. ලබන පෙබරවාරි පමණ වනවිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ද ජනාධිපති රනිල්ට හිමිවනු ඇත. එය ද පොහොට්ටුවේ අධිපතිවාදී මානසිකත්වය බෙලහීන කරන්නකි. කොහොමටත් පොහොට්ටුව අපේක්ෂා කරන කැබිනට් සංශෝධනය කල් දමමින් සිටින රනිල්ට අද පවතින මහ පොළවේ දේශපාලනය ගැන හොඳ අවබෝධයක් ද තිබේ. අපගේ වැටහීම අනුව මෙම පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ සැබෑ වුවමනාව ඇත්තේ පොහොට්ටු නායකයන්ට විය යුතුය. එයින් වඩාත් අනාවරණය වන්නේ පොහොට්ටුවට තිබෙන ජනමතය හා ජනප්‍රසාදය බව ද ආණ්ඩුව දනී. එසේ නම් කළ යුත්තේ එය නීත්‍යානුකූල ක්‍රමවේදයකට අනූව කල්දමා ගැනීමකි. 21 වැනි සංශෝධනයෙන් බලගන්වා තිබෙන ස්වාධීන කොමිසමක් වූ මැතිවරණ කොමිසමට ජනාධිපතිවරයා අත
පොවන්නේ ද ඒ නිසා විය යුතුය. එහෙත් එය අලජ්ජි හා අශිෂ්ට දේශපාලන ප්‍රතිචාරයක් බව ජනාධිපතිවරයා නොදන්නේ යැයි කිව හැකිද?

ආණ්ඩුව සිය බලය හා අභිමතය පරිදි මැතිවරණය කල්දැමීමට මාන බැලීමට අමතරව ඒ සඳහා මුදල් නැති බවට ප්‍රචාරක ව්‍යාපෘතියක් ද දියත් කළේය. මෙහිදී ආණ්ඩුව සියුම් ලෙස පෙන්වූයේ විශ්‍රාම වැටුප්, රජයේ සේවක වැටුප් පමණක් නොව සමෘද්ධි දීමනා පවා ගෙවීම අසීරු වී තිබෙන බවය. කැබිනට් ප්‍රකාශක බන්දුල ඇමැති ඒ බව ජනාධිපතිවරයා වෙනුවෙන් පැවසුවත් ඔහුගේ රාජ්‍ය ඇමැතිවරුන් වන සියඹලාපිටිය හා සේමසිංහ කීවේ ඊට වෙනස් කතාවකි. ඡන්දයට මුදල් නැති බව පවසමින් ආණ්ඩුවේ නායකයන් ඇප මුදල් තැන්පත් කළ ආකාරය ගැන සමහරු විවේචනය කළහ. එය ඔවුන්ගේ රංගනයක් බව ද තවත් සමහරු කීහ.

මෙහිදී ආර්ථික විශේෂඥයන් විසින් කරන ලද අවධාරණය වූයේ රජය පවසන ආර්ථික දුෂ්කරතා පිළිගත නොහැකි බවය. ඒවා අයවැය ලේඛනයෙන් අනුමත කර තිබෙන ගෙවීම් හා වියදම් බවය. 2023 අයවැය සම්මත කිරීමේදී ද එම මැතිවරණයට අවශ්‍ය බිලියන දහය වෙන්කර ඇති බව ද ඔවුහු පෙන්වා දෙති. මේ මැතිවරණ ක්‍රියාදාමය සඳහා එකවර මුදලක් නොගෙවන අතර එය පියවර කීපයකින් සිදුවන්නක් බව ද සඳහන් කළ හැකිය. මැතිවරණ වියදම් ද අනෙක් බොහෝ වියදම් මෙන්ම ජනයාට සිදු කෙරෙන බව ද මෙම විශේෂඥ මතය වී තිබේ. මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ මන්ත්‍රීවරයෙක් හෝ ඇමැතිවරයෙක් ඒ සඳහා මුදල් නැතැයි කියන්නේ නම් එයින් අනාවරණය වන්නේ ඔවුන් සත්‍යය නොවන විසර්ජන පනතක් සම්මතකර ඇති බවය. කුමක් වුවත් මෙහිදී අපට සිහිවන්නේ සිංහල ජනවහරේ එන කතාවකි. එනම් නිදා සිටින මිනිහා අවදි කළ හැකි වුවත් හොරට නිදා සිටින මිනිහා අවදි කළ නොහැකි බවය. ජනාධිපති රනිල්ගේ කටහඬ බවට පත්ව සිටින එ. ජා. පයේ වජිර ඇතුළු අය විසින් පවසනු ලබන සල්ලි නැති කතන්දරය ජනතාව බරපතළ ලෙස ගණන් ගන්නේ නැති බව ද අපගේ අදහසය. එසේම බෝඩ් ලෑලි පක්ෂ අටවාගෙන සිටින ජනපදනමක් නැති දේශපාලන බට්ටන්ට ද මේ නැති බැරියාව දැනී තිබේ.

කෙසේ හෝ ආණ්ඩුව මේ මැතිවරණය මඟහැරීමට දැරූ හැම ප්‍රයත්නයක්ම හත්පොලේ ගා ගැනීමක් වී තිබේ. මුදල් අමාත්‍යාංශයේ නම් නැති ප්‍රකාශකයන්ගේ නිවේදන ද හාස්‍යයට ලක්ව තිබේ. මේ හැර විශ්‍රාමික හමුදා නිලධාරියකු විසින් ගොනු කරන ලද පෙත්සමක් ද ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇත. එයින් අපේක්ෂා කරන්නෙත් මේ ආර්ථික අර්බුදය නිසා මැතිවරණය කල්දමා ගැනීමය. එහි තීන්දුව ප්‍රකාශයට පත්වීමට තිබේ. එය වෙනම නීති කටයුත්තකි. එහෙත් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ඇතුළු නීතිගරුක පුරුවසියන්ගේ අභිලාෂය වන්නේ ආණ්ඩුවෙ අනීතික ලෙස හා සදාචාර විරෝධී ලෙස ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරා ගැනීමේ දුෂ්ට මෙහෙයුම පරාජය කළ යුතු බවය.

පළාත් පාලන ඡන්දයෙන් ආණ්ඩුව සෙලවීමට බැරි බවද ඇමැතිවරු කියති. එහෙත් ඒ ප්‍රතිඵලය අමිහිරි වුවහොත් එයින් ආණ්ඩුවේ බොහෝ දෙනකුගේ කටේ සව්දම නතර වන බව ද ඔවුහු දනිති. ජාත්‍යන්තරය වුවද ඒ ප්‍රතිඵලය මත පදනම්ව යම් යම් නිගමනවලට එළැඹීමට ද ඉඩ තිබේ. ඇතැම් විට ඛේදනීය පරාජයක් පොහොට්ටුවට හිමි වුවහොත් එය නිසැකයෙන්ම මහ මැතිවරණයකට පෙළඹීමක් ද විය හැකිය. එය ආණ්ඩුවට තිබෙන ජනරවම පිළිබඳ ප්‍රබල ප්‍රකාශනයක් ද වනු ඇත. කුමක් වුවත් පුංචි ඡන්ද භීතිය නිසා අන්ද මන්ද වූ ආණ්ඩුවට හිමි වූයේ ජනතා විශ්වාසභංගයක් බව ද සඳහන් කළ යුතුය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment