ඡන්ද වැඩ කළේ නීතියට අනුව: සමහරු බොරු කියනවා

131

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන හා ඊට අදාළ පළාත් පාලන ඡන්ද විමසීමේ ආඥා පනතේ විධි විධානවලට අනුකූලව පළාත් පාලන ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශ කිරීම, නාම යෝජනා භාර ගැනීම හා ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශ කිරීම් සිදුකර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා ඊයේ (24දා) නිකුත් කර ඇති විශේෂ කරුණු දැක්වීමක සඳහන් වේ.

ඡන්ද විමසීම හා එහි නිත්‍යානුකූලභාවය පිළිබඳ සාවද්‍ය අදහස් හා තොරතුරු ප්‍රචාරය වන බැවින් ඒ පිළිබඳ කරුණු දැක්වීමට අවශ්‍ය බැවින් මෙම නිවේදනය තමා නිකුත් කරන බව පුංචිහේවා මහතා පවසයි.

එම නිවේදනය තුළ පහත කරුණු ද සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ (1) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත්කර ගැනීම, පළාත් සභා මන්ත්‍රීවරයන් තෝරා පත්කර ගැනීම, පළාත් පාලන ආයතනවල සභිකයන් තෝරා පත්කර ගැනීම සහ ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ‘තත් කාලයේ බල පවත්නා නීතියක් මගින් මැතිවරණ කොමිෂන් සභාව හෝ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වෙත පවරා දී ඇති හෝ පනවා ඇති හෝ සියලු බලතල කාර්යය සහ කර්තව්‍යය මැතිවරණ කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලැබිය යුත්තේ ද, ඉටු කරනු ලැබිය යුත්තේ ද සිදු කරනු ලැබිය යුත්තේ ද වන්නේය…’ ලෙස ඡන්ද විමසීම් පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව වෙත බලය ලබාදී ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත 25 වගන්තිය ප්‍රකාරව ‘සභිකයන්ගේ ධුර කාලය ආරම්භවීමට නියමිත දිනයට ඉහතින් ම වූ මාස හයක කාලසීමාවක් ඇතුළත ඡන්ද විමසීම පවත්වනු ලැබිය යුතුය’ යනුවෙන් සඳහන්ව ඇත. මාස 06ක කාලය ඇතුළත යනුවෙන් සඳහන් වුවද සභා පිහිටුවීම සඳහා මෙයට පූර්වයෙන් විශාල කාල පරාසයක් තබා පළාත් පාලන ඡන්ද විමසීමක් පවත්වා නොමැති අතර, එසේ සිදු නොකරනු ලබනුයේ සභා පරිපාලනය සම්බන්ධව ගැටලු රාශියක් මතුවීමට පවතින ඉඩකඩ හේතුවෙනි. එසේම 2022 ඡන්ද හිමි නාමලේඛනය සහතික කරන ලද්දේ 2022.10.31 දින වන අතර 2021 අංක 22 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධිත) පනත අනුව අටලොස්විය සම්පූර්ණ වන තැනැත්තන් සඳහා පරිපූරක (අතිරේක නාමලේඛන) දෙකක් 2022 පෙබරවාරි 01 දින සිට මැයි 31 දක්වා හා 2022 ජුනි මස 01 දින සිට සැප්තැම්බර් 30 දක්වා කාල වකවානු සඳහා සකස්කළ යුතු වීමත්, එම පරිපූරක නාමලේඛනය සහතික කරන ලද්දේ නොවැම්බර් මස අගදී වන නිසාත්, එතෙක් ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කිරීම සිදු නොකරන ලදී. මෙම නාමලේඛන සහතික කිරීමට පෙර පළාත් පාලන ආයතන ඡන්දය ප්‍රකාශ කරන ලද්දේ නම්, තරුණ ඡන්ද ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයකට ඡන්දය ප්‍රකාශ කිරීමේ හිමිකම අහිමි වේ. තරුණයන්ට එම ඡන්ද අයිතිය අහිමි වන පරිදි පියවර නොගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරන ලදී.

එසේම ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් සකස් කර තිබූ ඡන්ද හිමි නාමලේඛන පළාත් පාලන ආයතන ඡන්ද කොට්ඨාස මට්ටමින් සකස් කිරීම සඳහා තවත් සති තුනකට ආසන්න කාලයක් ගත විය. ඒ අනුව දෙසැම්බර් 26 දින ඡන්දය පැවැත්වීමේ නිවේදනය නිකුත් කිරීමට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත උපදෙස් ලබා දීමට 2022.12.08 දින මැතිවරණ කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කළ අතර, පසුව 2022.12.23 දින පැවැති කොමිෂන් සභා රැස්වීමේදී එය 2023 ජනවාරි 05 දිනට ප්‍රථම සිදු කිරීමට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් ලබාදීමට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත 5 වගන්තිය ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරන ලදී.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබාදුන් උපදෙස් අනුව 2023 ජනවාරි 04 දින දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් අදාළ නාමයෝජනා පිළිබඳ දැන්වීම නිකුත් කරමින් නාමයෝජනා භාර ගැනීම 2023 ජනවාරි 18 සිට 21 දින මධ්‍යහ්න 12.00 දක්වා බවටත්, නාමයෝජනා භාර ගන්නා ස්ථානය, ඒ සඳහා පත් කරනු ලැබූ තේරීම්භාර නිලධාරි නම ආදිය සඳහන් නාමයෝජනා කැඳවීමේ දැන්වීම් පළකරන ලදී. එම නාමයෝජනා කැඳවීමේ දැන්වීම අනුව පළාත් පාලන ආයතන 339ක් සඳහා පිළිගත් දේශපාලන පක්‍ෂ 59 හා ස්වාධීන කණ්ඩායම් 329 නාමයෝජනා භාරදී ඇත.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment