ඡන්ද වියදම් පනතෙන් මැතිසබය රත්වෙයි

115

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය මාසයකින් කල් දැමීමට තීරණය කළේ, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී ගත් තීරණයකට අනුව බව අධිකරණ, බන්ධනාගාර කටයුතු පිළිබඳ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (18) කීය.

අදාළ පනත කල් දැමීම සම්බන්ධයෙන් තමාට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කිසිදු දෝෂාරෝපණයක් සිදුනොකළ බව ද අධිකරණ ඇමැතිවරයා මෙහි දී සඳහන් කළේය.

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මසකින් කල් දැමීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිකරණ ඇමැතිවරයා මේ බව පැවසීය.

මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම අදහස් දැක්වූ අතර පාර්ලිමේන්තුවේ උණුසුම් බවක් ද මේ හේතුවෙන් ඇතිවිය.

එහි දී ඇතිවූ සංවාදය මෙසේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-

අද දහවල් 01 ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්කරන්නයි තීරණය කර තිබුණේ. ඇයි එය වෙනස් කළේ. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු තීරණය කරන්නේ බිස්නස් කමිටි එක හා ඔබතුමා. ජනාධිපතිවරයාට බැහැ ඒ දේවල් තීරණය කරන්න.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා –

නිවේදනය කියවන්න දෙන්න. හිතේ වෙන දේවල් තියාගෙන කතා කරන්න එපා. අද දින පස්වරු 3.00 ට ජනාධිපතිතුමන්ගේ, අගමැතිතුමාගේ, පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවක් පැවැත් වෙනවා. මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ රැස්වීමක් අද දින මගේ ප්‍රධානත්වයෙන් කාරක සභා කාමර අංක දෙකේ දී පැවැත් වෙනවා. ආරාධනා ලැබ තිබෙන සියලුම මන්ත්‍රීවරුන් ඒ සඳහා පැමිණ සහභාගී වන ලෙස ඉල්ලා සිටිනවා.

කිරිඇල්ල මහතා-

ජනාධිපතිතුමා එක්ක සාකච්ඡාව ඔබතුමා කරන්න. අපට ඕන බිස්නස් කමිටි එකයි. පාර්ලිමේන්තුව, කමිටු ක්‍රමය ශක්තිමත් කරන බවට ජනාධිපතිවරයා කියනවා. නමුත් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත විවාද කිරීම මාසයකින් කල් දමනවා. මේ වගේ වැඩ කරන්න එපා. අපි විරුද්ධයි.

කථානායකවරයා-

ඔබතුමා හිතන්නේ මෙහෙම රැස්වීමක් පැවැත්වීමෙන් පාර්ලිමේන්තුව දුර්වල වෙනවා කියලද. මම නම් හිතන්නේ වඩාත් ශක්තිමත් වන බවයි.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-

ජනාධිපතිවරයා එක්ක ඔබතුමා රැස්වීම කරන්න. නමුත් අපිට ඕන බිස්නස් කමිටුව. මොකද ජනාධිපති වෙච්ච දවසේ ඉඳන් මොකද්ද කීවේ. පාර්ලිමේන්තුව ශක්තිමත් කරනවා… කමිටු ශක්තිමත් කරන්න… කාරක සභා ශක්තිමත් කරන්න. එහෙම කියලා විජයදාස රාජපක්ෂ මැතිතුමා ඊයේ තීරණයක් ගත්තා මේ මැතිවරණ වියදම් පනත මසකින් කල් දාන්න. ඊට පස්සේ එකයි දෙකයි කතා කරලා මෙතුමාට බැණලා තියෙනවා ඇයි මේක කල් දැම්මේ කියලා. මෙහෙම කරන්න බැහැ. විජයදාස රාජපක්ෂ මහතා මේක මසකින් කල් දමන්න පොරොන්දු වුණා. එතුමාට දුරකථනයෙන් කතා කරලා බැණලා තියෙනවනේ කල් දැම්මා කියලා.

කථානායක –

ඔබතුමා දුරකථනයෙන් කතා කරලා බණිනවා අහගෙන හිටියද?

විජයදාස රාජපක්ෂ මහතා-

මෙය වසර 15ක් තිස්සේ කෙටුම්පත් කළ පනතක්. එතුමන්ලාට බයක් තිබේ නම් මාසයකට වුවත් කල් දාන්න පුළුවන් බව මමම කිව්වා. නමුත් හෙට ඇජෙන්ඩා එකේ තිබෙන නිසා ආපහු ඒක ගත්තොත් නරකද කියලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එකඟ වුණා. සාකච්ඡා කිරීමට කිසිදු බාධාවක් නැහැ.

ඒ වගේම මම මුලින්ම කනගාටුව පළ කරනවා අද මේ පාර්ලිමේන්තුව ආදර්ශයට ගන්න බලාගෙන දරුවන් මෙහි රැස්වෙලා ඉන්න වෙලාවේ පාර්ලිමේන්තු කටයුතු හසුරුවන්නේ මෙහෙමද කියලා රටට දෙන මතය ගැන. මේක බරපතල ගැටලුවක්. හරි මට ජනපති සහ අගමැති දුරකථන ඇමතුමක් දුන්නා කියමුකො. කවුද මේක අහගෙන හිටියේ. ඒ සාකච්ඡාවෙන් පස්සේ අගමැතිවරයා සහ මම එතුමාගේ කාමරයේ පැයකට වැඩිය සාකච්ඡා කළා. අපිට තියෙනවා සාකච්ඡා කරන්න ගොඩක් දේවල්. ජනපති සමග මම දුරකථනයෙන් සාකච්ඡා කළා. මේ බිස්නස් කමිටුව ඔබගේ ප්‍රධානත්වයෙන් රැස් වුණ වෙලාවේ එහි පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ පනත ගේන එකට අපි එකඟයි, මේ පළාත් පාලන මැතිවරණයට අදාළ වෙන්නේ නැත්නම් කියලා. ඒ නිසා ඊයේ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට මැතිවරණ කොමිසමේ සභාපතිතුමත් කොමසාරිස්වරුනුත් ඇවිල්ලා හිටියා. ඒ නිසා අපේ වචනය ගැන සැකයක් තියෙනවා නම් මම ඒ අයට කිව්වා මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු කොමසාරිස්වරුන්ගෙන් අහන්න කියලා. මේක කෝලම් මඩුවක් කරන්න දෙන්න එපා. අහගෙන ඉන්න පුරුදු වෙන්න.

එක පැත්තකින් කියනවා අපිට ඡන්දය ඕන කියලා. දකින දකින සැරේට පස්සෙන් ඇවිල්ලා කියනවා අපි කෑ ගැහුවාට කමක් නැහැ මැතිවරණය කල් දාලා දෙන්න කියලා. ඒකනේ ඇත්ත කතාව. ඔබලා 50කට වැඩිය කතා කළේ නැද්ද මේක කල් දාලා දෙන්න කියලා. මේ දූෂිත ඩබල් ඇක්ටින් දේශපාලනය නතර කරන්න ඕන. මේ පනතට නැගිටලා අත උස්සන්න ඕන විපක්ෂය. මේ පනත ගේන්නේ හොරකම් වංචා දූෂණ නතර කරන්න. එතකොට ආණ්ඩුව ඒක ගේනකොට විපක්ෂයට විරුද්ධ වෙනවා නම් ඔවුන් කියන්නේ මේ දුෂිත ක්‍රමයට යන්න දෙන්න කියලාද. මම ඊයේ උපදේශක කාරක සභාව තියන්න හේතුව වුණේ කථානායකගේ ප්‍රධානත්වයෙන් තිබුණු බිස්නස් කමිටුවේදී වාර්තා කරලා තියෙනවා මේ මැතිවරණයට අදාළ වෙන්නේ නැත්තම් මේක අපි ගේනවට එකඟයි කියලා. ඒ පදනම මත තමයි මම ඒක තිබ්බේ. ඊට පස්සේ තමයි මම ඒක මසකට කල් දැම්මේ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment