ඡායා චද්‍රග්‍රහණයක් අද

163

වෙසක් පුර පසළොස්වක පොහෝ දිනට වන අද (05) දින රාත්‍රියේ සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ මතට පතති වීම ඇරඹීමත් සමග ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

මෙම ග්‍රහණය ලංකාවේ සම්මත වේලාවෙන් මැයි 5 රාත්‍රි 8.44 ට චන්ද්‍රයා පෘථිවියේ උප ඡායාවට (අඩ අඳුරු සෙවනැල්ලට) ඇතුළුවීමත් සමගම ආරම්භ වේ. ග්‍රහණය අවසන් වනුයේ 6 වනදා අළුයම 1.01 ට ය. උච්චතම ග්‍රහණ අවස්ථාව සිදුවන්නේ අද දින රාත්‍රි 10.52 ටය.

ඡායා චන්ද්‍රග්‍රහණයක් ඇතිවනුයේ සූර්යයා, පෘථිවිය සහ චන්ද්‍රයා එක එල්ලේ සලර රේඛාවක නො පිහිටා අසම්පූර්ණ ලෙස පෙළගැසී ඇති විට දීය. ඡායා චන්ද්‍රග්‍රහණයක දී චන්ද්‍රයා පෘථිවියේ තද අඳුරු සෙවණැල්ලට (පූර්ණඡායා වට) ඇතුළු නොවන අතර චන්ද්‍රයා පෘථිවියේ අඩඅඳුරු සෙවණැල්ල (උප ඡායාව) තුළින් පමණක් ගමන් කරන නිසා මෙම සුවිශේෂී ඡායා චන්ද්‍රග්‍රහණය අපට පූර්ණ හෝ අර්ධ චන්ද්‍ර ග්‍රහණවල මෙන් අඳුරු සෙවනැල්ලකින් වැසී නොපෙනේ. නමුත් සඳෙහි දීප්තිය තරමක් අඩු වනු ඇත. එම නිසා ඡායා චන්ද්‍රග්‍රහණය පියෙවි ඇසින් දැක හඳුනාගැනීම තරමක් දුෂ්කරය. ශ්‍රී ලංකාවට අමතරව මෙම චන්ද්‍රග්‍රහණය යුරෝපයේ සහ ආසියාවේ රටවලට ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය සහ ඇන්ටාක්ටිකාව වැනි රටවලට ද දිස්වේ.

මීට වඩා හොඳ චන්ද්‍රග්‍රහණයක් අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස මේ වසරේ ඔක්තෝබර් 28 වැනිදා ශ්‍රී ලංකාවට දිස්වන බවත් ඉන් පසුව ශ්‍රී ලංකාවට පෙනෙන මීළඟ චන්ද්‍රග්‍රහණය ඇතිවනුයේ 2025 සැප්තැම්බර් 7 වැනිදා බවත් මහාචාර්ය ජයරත්න මහතා පැවසීය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment