ජංගම කටයුතු වෙනුවෙන් රොබෝ

172

කෘතිම බුද්ධිය නිසා මිනිසාගේ වැඩ පහසු වුණත් දැන් කෘතිම බුද්ධිය මිනිසාගේ සාමාන්‍ය ජීවිතයටත් තර්ජනයක් වෙන අවස්ථාවක් උදා වී අවසානයි. අපේ නිවසේ දොරකඩටම ආහාර පාන ගෙන්වා ගත හැකි සමාගම් ජාල දැන් බොහොම ජනප්‍රියයි. ඒ අතර ඌබර් ඊට්ස් (UberEats) කියන්නේ අපි කාටත් හොඳින් හුරු පුරුදු සන්නාමයක්. නමුත් පසුගිය දිනක මේ සමාගම විසින් ඔවුන්ගේ වැටුප් වැඩි කර දෙන ලෙසට ඉල්ලා වර්ජනයක් ආරම්භ කළා. මේ වෙන විට රොබෝවරුන් ආහාර පාන බෙදා හැරීමේ කාර්යය වෙනුවෙන් යොදවාගෙන ඇති නිසා ඌබර් සමාගමේ සේවකයන්ගේ රැකියාව පවා අහිමි වෙන අවස්ථාවක් උද්ගතව තිබෙනවා.

මේ වෙන විටත් ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාව, ලොස් ඇන්ජලිස්, සන්දියාගෝ සහ මැද පෙරදිග ඩුබායි වැනි රටවල්වල ආහාර බෙදා හැරීමේ කාර්යන් වෙනුවෙන් රොබෝවරුන් යොදවා ගෙන තිබෙනවා. ඒ නිසා සේවකයන්ගේ ගැටලු ගැන එතරම් අවධානයක් දැක්වීම අනවශ්‍ය බැව් ඌබර් සමාගම් අදහස වී තිබෙනවා. දෙසැම්බර් මාසයේ 15 වැනි දින සිට ඌබර් සමාගම කාට්කන්ස් සමාගම සමග හවුලේ ඔවුන්ගේ ආහාර බෙදා හැරීමේ කටයුතු සිදු කිරීම ආරම්භ කළා. ගූගල් සමාගමේ සේවය කළ ඉංජිනේරුවන් පිරිසක් මෙම කාට්කන් සමාගමේ ආරම්භක නියමුවන් ලෙස කටයුතු කරන අතර ඔවුන් රොබෝවරුන් ආහාර බෙදා හැරීමේ කාර්යය සඳහා යොදා ගැනීමට අදහස් කර සිටිනවා. කොටින්ම එක් රොබෝවෙකුට රාත්තල් 24 ක් පමණ බර ඇසුරුමක් වුණත් පහසුවෙන් හැසිරවීමේ හැකියාව තිබෙනවා.

රොබෝවන්ට පැයට සැතැපුම් තුනක වේගයෙන් ඇවිදීමේ හැකියාව ඇති අතර කැමරා පද්ධතියක ආධාරයෙන් ඔවුන්ට නිවරැදි ලිපිනය සොයා ගැනීමටත් අපහසුවක් නැහැ. කාට්කන් ආයතනයේ ප්‍රධාන විධායක හා සම ආරම්භක ක්‍රිස්ටීන් බර්ක්ස් සඳහන් කරන අන්දමට කෘතිම බුද්ධිය ඇති රොබෝවන් නිසා නගරයේ වාහන තදබදය අඩු වුණා. වාහන දුමාරයටත් විසඳුමක් ලැබුනා පමණක් නොවයි, ප්‍රාදේශීය වෙළෙන්දන්ටත් ඔවුන්ගේ භාණ්ඩ විධිමත්ව සහ කඩිනමින් බෙදා හැරීමේ පහසුව ඇති වී තිබෙනවා.

★ ඒ නිසා අපි වර්ජන ගැන සලකන්නේ නැහැ.

ඌබර් සමාගමේ සේවකයන් විසින් ඔවුන්ට සිදු වී තිබෙන අසාධාරණය ගැන අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා. සැතැපුමක් වෙනුවෙන් ගෙවන ගාස්තුව 23.93% කින් වැඩි කිරීම, අත්හිටුවන ලද වැටුප් වර්ධක ලබා ගැනීම සහ රියැදුරන්ගෙන් අය කරන 25% ක කොමිස් මුදල පිළිබඳව වූ මතභේදාත්මක තත්ත්වයන් නිසා ඔවුන් මේ නඩුව ගොණු කර තිබුණා. මෙම ඉල්ලීම් ගැන අදහස් දක්වමින් ඌබර් සමාගම සඳහන් කරන්නේ ගෙවන ගාස්තුව 23.93% කින් වැඩි කිරීම නිසා සමාගමට මසකට මිලියන 23 ක වැය බරක් ඇති වීම දරා ගැනීම අපහසු නිසා ප්‍රවාහන ගාස්තුව 10 % කින් ඉහළ දැමීමට සිදු වෙන බැව් ඔවුන් සඳහන් කරනවා.

ඒ වගේම අපි රොබෝවරුන් සේවයට සම්බන්ධ කර ගත් විට ඔවුන් වැඩි පඩි ඉල්ලා කරදර කරන්නේ නැහැ. වාහන පහසුකම් අවශ්‍ය නැහැ. වාහනයත් සේවකයාත් දෙදෙනාම එක් කෙනා වීම නිසා කිසිම කරදරයක් නැහැ. පවතින ආර්ථික දුෂ්කරතාවන් නිසා ඌබර් සේවකයන් එරට කම්කරු දෙපාර්තමේන්තුවේ සහාය ඇතුව නඩු මගට යොමු වුණත් සමාගම විසින් ඒ ගැන කිසිම සැලකිල්ලක් දැක්වූයේ නැහැ. බිලියන ගණනින් ආදායම උපයන මෙවැනි දැවැන්ත සමාගමක් විසින් ඔවුන් යටතේ සේවය කරන රියැදුරන්ගේ ඉල්ලීම් නොසලකා ඒ වෙනුවෙන් විකල්ප විසඳුම් වෙත යොමු වීම කිසිසේත්ම සාධාරණ ක්‍රියාවක් නොවන බව කම්කරු කොමසාරිස් ඩේවිඩ් ඩෝ සඳහන් කරනවා.

ඊට පිළිතුරු ලෙසින් ඌබර් සමාගම සඳහන් කරන්නේ සේවකයන්ගේ ආර්ථික අපහසුතාවන් ගැන අපි නොදන්නවා නොවෙයි. ඔවුන්ට ගෙවීම් වැඩි කළොත් පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට සේවාවන් ලබා දීමට අපහසුයි. ඒ නිසා රොබෝවරුන් මෙම සේවාව වෙනුවෙන් යොදා ගැනීමට සිදු වෙනවා. ඒ නිසා අධිකරණයේ ගොණු කර ඇති නඩු විභාගයෙන් පසුව අපි ආහාර පාන බෙදා හැරීමේ සේවාවන් රොබෝවරුන්ගේ මාර්ගයෙන් සිදු කර ගැනීමට බලාපොරොත්තු වෙන බව සමාගම සඳහන් කරනවා. කොහොම වුණත් 2023 වසරේ ජනවාරි අග භාගය වෙන විට ඌබර් ආහාරපාන රොබෝවරුන් සමග නිවසට එන දිනයක් උදා වීමට ඉඩ තිබෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment