ජගත් පාපන්දු ලොක්කන්ගෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇගවීමක්

116

ව්‍යවස්ථාව කඩිනමින් ක්‍රියාත්මක කරන්න
බාහිර බලපෑම් ආවොත් තත්ත්වය දරුණු වෙයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථාව කඩිනමින් සකස් කරන ලෙසත් එසේ නොවුණහොත් තෙවැනි පාර්ශ්වයක බලපෑම් හේතුවෙන් ඇතිවිය හැකි දණ්ඩන සහ සම්බාධකවලට මුහුණදීමේ අවදානමකට ශ්‍රී ලංකාව පත් වෙනු ඇතැයි දැනුවත් කරමින් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සමුළුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇත.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සහ ආසියානු පාපන්දු සම්මේලනයේ නියෝජිතයන් ගේ නිර්දේශ මත එම ව්‍යවස්ථාව සකස් කළද තවමත් එය ක්‍රියාත්මක තත්ත්වයක නොපැවතීම සම්බන්ධයෙන් මෙම දැන්වත් කිරීම සිදුකර ඇත.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සාමාජික සංගම් ප්‍රධානී කෙනී ජින් මාර් මහතා සහ ආසියානු පාපන්දු සමුළුවේ නියෝජ්‍ය මහ ලේකම් වහීඩ් කර්දානි මහතාගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත එම අවවාදාත්මක ලිපිය පසුගිය විසි දෙවැනිදා දාතමින් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම් උපාලි හේවගේ මහතාගේ නමට නිකුත් කර ඇති එම ලිපියේ පිටපත් ජනාධිපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලබා දීමට හිටපු පාපන්දු සභාපති ජස්වර් උමර් මහතා කටයුතු කර තිබිණි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු සභාපති ජස්වර් උමර් මහතා සඳහන් කර සිටියේ “රටේ පාපන්දු ක්‍රීඩාව රැක ගැනීම පිණිස තමන් කටයුතු කරන බවත් ඒ නිසා ජගත් පාපන්දු සම්මේලනයෙන් ලබාදුන් දැනුවත් කිරීමේ ලිපිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ක්‍රීඩා ඇමැතිවරයා දැනුවත් කළ බවත් ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ඒ කටයුතු ස්වාධීනව කරගෙන යෑමට අවශ්‍ය පසුබිම තිබිය යුතු බවත් එහි කටයුතු සඳහා කිසියම් තුන්වෙනි පාර්ශ්වයක් ඇඟිලි ගැසීම් නොකළ යුතු බවත් තමන් තරයේ විශ්වාස කරන බවද අන්තර්ජාතික පාපන්දු සම්මේලනය නිකුත් කළ මේ ලිපියේ සඳහන් වේ.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment