ජනකගෙන් ලක්‍ෂ 15 ක් කප්පම් ගත් කල්ලියේ 3 ක් අල්ලයි

350

පාතාලයේ නම විකුණුවත් පාතාලයට සම්බන්ධ නෑ

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණීය තර්ජන එල්ල කරමින් රුපියල් පහළොස් ලක්‍ෂයක කප්පම් මුදලක් ලබාගත් බව බකියන සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයන් තිදෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (28 දා) අත්අඩංගුවට ගෙන ඇත.

බ්ලූමැන්ඩල් සංඛ නමැති පාතාල නායකයාගේ නම පාවිච්චි කරමින් මෙම සංවිධානාත්මක පිරිස ජනක රත්නායක මහතාට මරණීය තර්ජන කර මුදල් ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් අතර ජනක රත්නායක මහතාට මරණීය තර්ජන එල්ල කර කප්පම් මුදල් ඉල්ලා සිටි ප්‍රධාන සැකකරු ද සිටින බව පොලිසිය පවසයි. මෙම තිදෙනා රඹුක්කන, කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටවැල්ල රඹුක්කන ප්‍රදේශයේ සැඟවී සිටියදීය.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර සැකකරුවන් පාතාල කල්ලියකට සම්බන්ධ නැති පුද්ගලයන් බව ද හෙළිවී තිබේ.

තමන් බ්ලූමැන්ඩල් සංඛ නමැති පාතාල නායකයා බව කියමින් ජනක රත්නායක මහතාට දුරකථනයෙන් කතා කර ඇති මෙම කල්ලියේ ප්‍රධාන සැකකරු පවසා ඇත්තේ රත්නායක මහතා ඝාතනය කිරීමට රුපියල් අසූ ලක්‍ෂයක මුදල් කොන්ත්‍රාත්තුවක් තමන්ට ලැබී ඇති බවයි.

එම කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක නොකිරීමට නම් රුපියල් පහළොස් ලක්‍ෂයක මුදලක් ලබාදිය යුතු බවට ද තර්ජනය කර තිබේ.

එහිදී බියට පත්ව ඇති ජනක රත්නායක මහතා එම කප්පම් මුදල සංවිධානාත්මක කල්ලියට ලබාදී ඇති අතර මේ පිළිබඳව කිරුළපන පොලිසියට පැමිණිල්ලක් ද කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කොළඹ අපරාධ කොට්ඨාසය පසුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ නෙවිල් සිල්වා මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ඇන්සල් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment