ජනක පන්නන්න අලුත්ම ප්ලෑනක්!

217

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත්කරලීමට පාර්ලිමේන්තුවේ ඡන්දයක් විමසා බහුතර අනුමැතියකින් එය සිදුකරගත නොහැකි නිසා කොමිසමේ සාමාජිකයන් ඉල්ලා අස්කරලීමට කටයුතු යොදා ඇතැයි එහි සාමාජිකයෙක් පැවසීය.

ඒ අනුව ඉකුත් 03 වැනිදා කොමිසමේ සාමාජිකයන් දෙදෙනකු ඉල්ලා අස්වී ඇතැයි ද ඔහු සඳහන් කළේය. ඉකුත් 03 වැනිදා ඉල්ලා අස්වූයේ එහි සාමාජිකයන් ලෙස කටයුතු කළ මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන මහත්වරුන්ය.

ඔවුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදී තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම විදුලිය, ඉන්ධන ඇතුළු ආයතන කීපයක් නියාමනය කිරීම සඳහා ස්ථාපිත ස්වාධීන කොමිසම් සභාවකි.

මෙම කොමිසමට සභාපතිවරයා නම්කර පත් කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාව මගිනි. ඒ අනුව සභාපතිවරයා ඉවත් කිරීමේ බලය ද ඇත්තේ ව්‍යවස්ථාදායක සභාවටය. විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා කොමිසමේ වත්මන් සභාපති ජනක රත්නායක මහතාට එරෙහිව චෝදනා පත්‍රයක් සකස්කර එය පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් සම්මත කර ගැනීමට සැලසුම් කර තිබිණි.

නමුත් පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමේ අභියෝගය නිසා කොමිසමේ සාමාජිකයන් ඉල්ලා අස්කරවා කොමිසම අහෝසි කිරීම සැලසුම වී ඇතැයි කොමිසමේ සාමාජිකයා පැවසීය. විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් කොමිසමේ සභාපතිවරයා සහ රජය අතර ඇති වී තිබෙන ප්‍රතිවිරෝධය නිසා කොමිසම බල රහිත කිරීම සැලසුම වී ඇතැයි ද හෙතෙම පැවසීය. යම් හෙයකින් කොමිසමේ ගණපූර්ණය ගිලිහී ගියොත් නව සභාපතිවරයකු යටතේ අලුත් සාමාජිකයන් පිරිසක් පත්කර ගැනීමට හැකියාව ඇතැයි ද හේ වැඩිදුරටත් කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment