ජනක පන්නයි – විපක්‍ෂයේ 8කුත් පක්ෂව දෙති

961

පක්‍ෂව 123යි – විපක්‍ෂව 77යි – වැඩි ඡන්ද 46කින්

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමට මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46 කින් සම්මත විය.

යෝජනාවට පක්ෂව ආණ්ඩුව ඡන්දය ප්‍රකාශ කළ අතර සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම හා විමල් වීරවංශ පාර්ශ්වයන් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

යෝජනාවට පක්ෂව ඡන්ද 123 ක්ද, විපක්ෂව ඡන්ද 77 ක්ද ප්‍රකාශ වූ අතර සභාපතිවරයා ඉවත් කිරීමේ යෝජනාව බහුතරයෙන් සම්මත වූ බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අවසානයේදී නිවේදනය කළේය. ආණ්ඩුව ඉදිරිපත් කළ යෝජනාවට විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අට දෙනකුද පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

ඒ අනුව කුමාර වෙල්ගම, ඒ. එල්. එම්. අතාවුල්ලා, වඩිවේල් සුරේෂ්, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනවිරත්න, දුමින්ද දිසානායක, නිමල් ලාන්සා හා ඒ. එච්. එම් ෆවුසි යන මන්ත්‍රීවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

අවසර නැත මට – මේක ජනතාව ලද පරාජයක්…

තමා තනතුරින් ඉවත් කිරීම මිලියන විසිදෙකක ජනතාව ලද පරාජයක් බවත් තමාට විරුද්ධව ඡන්දය දුන් ඇතැම් මහජන නියෝජිතයින්ගේ මෝඩ ක්‍රියාව ගැන කනගාටු වන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘දිවයින’ ට පැවැසීය.

කොමිසමේ සභාපතිවරයා තනතුරින් පහ කිරීමට අදාළ පාර්ලිමේන්තු විවාදය ඔහු එම කාර්යාලයේ සිට රූපවාහිනියෙන් නරඹන අතරතුරු මේ බව ‘දිවයින’ ට කියා සිටියේය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment