ජනතාවගේ ඇස් වසා චෙස් අදින ආණ්ඩුව!

101

අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශයේදී, රට ගොඩනැගීම සඳහා, සම්ප්‍රදායික දේශපාලන කටයුතුවලින් සහ මතවාදවලින් බැහැරවී, සාමූහිකව කටයුතු කිරීම ගැන සඳහන් කළා.

ඒ තුළින්, එතුමන් පෙන්වන්නට කල්පනා කළේ සියලු පක්ෂ සමග, සහයෝගයෙන් එකමුතුව කටයුතු කිරීමේ චේතනාව, එතුමන් තුළ තිබෙන බවයි.

හැබැයි වැදගත් වන්නේ, චේතනාව, වචනයෙන් පමණක් නොව, ක්‍රියාවෙන් සහ හැසිරීමෙන්ද, පෙන්වීමයි.

විපක්ෂ නායකතුමන්, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකතුමන්, ඇතුළු විපක්ෂ බලවේග සියල්ලම වාගේ මැති ඇමැති තනතුරු ගත්තද, නොගත්තද, රට වෙනුවෙන් සහයෝගයෙන්, අවබෝධයෙන් වැඩකිරීමේ චේතනාව ප්‍රකාශ කර තිබුණා.

සියලු පක්ෂ හා සාකච්ඡා කර, අවබෝධයකට ඒම මිසෙක, දේශපාලන පක්ෂවලින්, තනතුරු, මුදල්, වරදාන ආදිය තුළින්, මන්ත්‍රීවරුන් ඩැහැගැන්මේ මෙහෙයුම්වලට නොයන ලෙස, විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියා.

එසේ කියා තිබියදීත්, රජය පාර්ශ්වයෙන් ඔබතුමන්ලා සර්ව පාක්ෂික සහභාගිත්වය සඳහා කටයුතු කළේ කොහොමද?

වචනයෙන් සහ කථාවෙන් පමණක්, එකමුතුව, සහයෝගයෙන් සාම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැරව, රට වෙනුවෙන් අවබෝධයෙන් කටයුතු කරමු, කියා කියමින්, ක්‍රියාවෙන් සහ හැසිරීමෙන් කටයුතු කළේ කොහොමද?

යහපත් චේතනා ගැන කථා කරමින්, වැරදි තීන්දු තීරණ, වැරදි ප්‍රතිපත්ති සහ උද්ධච්ච හැසිරීම් තුළින්, අපේ රට ඓතිහාසික අගාධයකට ඇද දැමූ, මෙවැනි වින්නැහියකට ගොදුරු කළ වගකිවයුත්තන්ට, හුස්ම ගන්නට කෙටි විරාමයක් ලබාදීමේ, ජවනිකාවක් රඟ දක්වමින් සිටීමයි.

අප අද දකිමින් සිටින්නේ.

මේ වින්නැහියට, මේ අගාධයට රට පත්කිරීමට වගකිවයුතුවූත්, ජනතා විශ්වාසය, නැතිකරගෙන ඇත්තාවූත් නායකත්වයක් සහ පාලනයක් ආරක්ෂා කර ගන්නට, වෙස් මුහුණු කිහිපයක් ඉදිරියට දැමූ මෙහෙයුමක් අපි දකිමින් සිටින්නේ. අපේ රට මුහුණ දී තිබෙන මේ අර්බුදකාරී මොහොතේ පාලකයන් තමන්ගේ බල න්‍යාය පත්‍රය වෙනුවෙන් දේශපාලන චෙස් ක්‍රීඩාවක යෙදෙනවා.

විපක්ෂයේ පක්ෂවලින්, තනතුරු, වරදාන දීම් තුළින්, ඩැහැගත් කිහිපදෙනෙකුට, වෙස් මුහුණූ පළඳවා, ජනතාව ප්‍රතික්ෂේප කළ, එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය නොපිළිගන්නාවූ දූෂිත පාලනයක පැවැත්ම රැකදීමේ කොන්ත්‍රාත්තුවයි, අප දකිමින් සිටින්නේ.

පසුගිය සතියේ බ්ලූම්බර්ග් මාධ්‍ය ආයතනයට ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ප්‍රකාශයක් කර තිබුණා.

“තමන් අසමත් ජනාධිපති කෙනෙකු ලෙස සමුගන්නට සූදානම් නැති බවත්, තමන්ගේ නිල කාලය අවසන් වන තෙක්ම තමන් ඒ ධූරයේ සිටින්නට බලාපොරොත්තු වන බවටත්.”

ජනාධිපතිවරයාගේ මේ කර ඇති ප්‍රකාශයෙන් කරුණු දෙකක් පැහැදිලි වෙනවා.

පළමුවැන්න,

තමන් අසමත් බව ඔහු පිළිගෙන තිබීමයි. එහි ප්‍රතිඵලයක් ලෙසින් කෝටි දෙකකට අධික ශ්‍රී ලාංකික ජනතාව එහි විපාක විඳිමින් සිටිනවා.

පෙන්නුම් කරන දෙවෙනි කාරණය වන්නේ,

ඒ අසමත් ජනාධිපතිවරයා, බලය අත් නොහැර සිටින බව, සහ ඔහුගේ ඒ ස්ථාවරය, වර්තමාන අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය විසින් ආරක්ෂා කරන බවත්ය.

මෙය ශ්‍රී ලංකාවේ ජනතාවගේ අභිලාෂයන්ට සම්පූර්ණයෙන්ම පටහැනි ස්ථාවරයක්. පවතින මේ පාලනය ගැන රටත්, ලෝකයත් කල්පනා කරන ආකාරය අප අවබෝධ කරගැන්ම ඉතා වැදගත්.

අගමැතිවරයාගේ ප්‍රකාශය තුළින්, මේ ගැටලුව ගැන, සෘජු ඇමතීමක් නොකළද, මේ ගැටලුව, ඒ ප්‍රකාශය තුළින් කිහිප විටකදීම එලියට ඒම අපි දකිනවා.

මම කැමතියි, එතුමන්ගේ ප්‍රකාශයෙන්ම කොටස් කිහිපයක් උපුටා දක්වන්නට. මම ඒ කොටස් උපුටා දක්වනවා.

“යම් යම් වැරදි ක්‍රියාමාර්ග නිසා අපි ලෝකයෙන්ම කොන් වෙච්චි රටක් බවට පත් වෙමින් යනවා. ඒ තත්ත්වය ආපසු හැරවීම ලෙහෙසි නැහැ.”

“අපට ණය සහ ආධාර ලබාදෙන රටවල් අතර ඉදිරියෙන්ම ඉන්නේ ඉන්දියාව, චීනය සහ ජපානයයි. අපට කවදත් හිතවත්ව සිටි මේ රටවල් සමග ඇති සබඳතා දැන් බිඳ වැටී තිබෙනවා.”

“ජපානය අපේ දීර්ඝ කාලීන මිතුරෙක්. අපේ රටට බොහෝ උදව් උපකාර කළ මිත්‍ර රටක්. නමුත් පසුගිය කාලයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම් නිසා දැන් ඔවුන් ඉන්නේ හිත හොඳින් නොවෙයි.

යම් යම් ව්‍යාපෘති අත්හිටුවීම් පිළිබඳව අපේ රට ජපානයට විධිමත් අයුරින් දැනුම්දීමක්වත් කර නැහැ. ජපානය අපේ රටේ සිදුකළ සමහර ව්‍යාපෘති අතරමග නවතා දමා ඇත්තේ තනි පුද්ගලයෙක් ලබාදුන් වාර්තා අනුවයි. මිත්‍ර රටවලින් අපට ලබාදුන් ඉතා වටිනා ව්‍යාපෘති පදනම් විරහිතව, අහේතුකව නවතා දැමීම පිළිබඳව විමර්ශනය කරන මෙන් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය කමිටුවෙන් ඉල්ලා සිටිනවා.” උපුටා දැක්ම අවසන්.

රාජපක්ෂ පාලනයේ වැරදි විදේශ පිළිවෙත නිසා ශ්‍රී ලංකාව ලෝකය තුළ හුදෙකලා තත්ත්වයකට පත්ව සිටී. අග්‍රාමාත්‍ය ප්‍රකාශය තුළින් පැහැදිලිව කියා සිටිනවා.

අග්‍රාමාත්‍ය ධුරයේ සිට මේ සති කිහිපය තුළ තමන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට, එක්සත් අරාබි රාජධානියේ (එමීර්) පාලකවරයාට, ජපාන රජයේ නිලධාරීනට සහ අනෙකුත් රාජ්‍යයන් සමහරක නියෝජිතයන්ට කථාකළ බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එහෙත් බටහිර රටවලින්වත්, මැදපෙරදිගින්වත්, ජපානයෙන්වත් එවැනි කිසිදු ආධාරයක් රජයට සෘජුව ලැබී නැහැ.

මෙයින් පෙන්නුම් කරන්නේ, එම විදේශීය රාජ්‍යයන්, මේ පවතින පාලනය නව පාලනයක් ලෙසින් නොදැකීමයී. පැවති දූෂිත, මානව අයිතීන් උල්ලංඝනය කළ, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයේම දිගුවක් ලෙසින් දැකීම සහ එවන් රජයක් කෙරෙහි විශ්වාසයක් නොතිබීම හේතුවෙන්, මෙතෙක් රටට අවශ්‍ය කඩිනම් සහාය ලබාගත නොහැකිවීම අපි දකිමින් සිටිනවා.

නිදහසින් පසු යුගයේදී සිවිල් යුද්ධයනට, ප්‍රචණ්ඩ තරුණ කැරලි දෙකකට, මෙන්ම සුනාමි වැනි ස්වභාවික විපත්වලට මුහුණ දුන්නද, ආර්ථික වශයෙන් මෙවැනි අගාධයකට, දුෂ්කර තත්ත්වයකට, මිලියන 22 ක් පමණ වූ අපේ ජනතාවට මුහුණ දෙන්නට සිදුවුණේ නැහැ.

වගවීම් නැති, වගකීම් නැති, උත්තර බැඳීම් නැති, උද්ධච්ච, ගෝත්‍රික පාලනයක් නිසයි, මේ වින්නැහිය සිදුවුණේ.

20 සංශෝධනයත් සමග බලය එක් පුද්ගලයෙකුගේ ග්‍රහණයට ගැනීමේ ක්‍රියාවලිය නිසයි, මේ විපාකයන් බොහෝමයක් සිද්ධවුණේ.

කෘෂිකර්මාන්තයේ අර්බුදය, ස්වෛරී බැඳුම්කරවලට ගෙවීම, අසූචි පොහොර නැවට ගෙවීම, ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයට යෑම ප්‍රමාද කිරීම, සුපිරි ධනවතුනට බිලියන ගණනින් බදු සහන ලබාදීම,

නම පවතින්නට ආරම්භ කළ සුදු අලි ව්‍යාපෘතිවලට අධික පොලියට ලබාගත් ණය මෙන්ම බිලියන ගණනින් ජනතාවගේ මුදල් මංකොල්ල කෑ දූෂිත ගනුදෙනු ආදියට වගකිව යුතු උදවියගේ වගවීම හෝ ඒ මුදල් කන්දරාවන් නැවත ජනතාවට ලබාගැන්ම ගැන ජනතාව නගන හඬ පිළිබඳ වූ කිසිදු ඇමතීමක් හෝ සඳහනක් අගමැතිවරයාගේ ප්‍රකාශයේ දකින්නට නැහැ.

හිටපු මුදල් අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමන් නම් පාර්ලිමේන්තුවේදී පිළිගත්තා “බදු සහන ලබාදීම, ඩොලරය අල්ලාගෙන සිටීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නිසි කලට නොයෑම, ණය ප්‍රතිව්‍යූහගත කිරීමට කල්ගතවීම ආදිය නොකළ යුතුව තිබුණු බව.”

ජනාධිපතිවරයාත් ප්‍රකාශකර තිබුණා, මේ තත්ත්වයට හේතුවූ තමන්ගේ වැරදි තිබුණු බව. ඒත් ඒ පව් සමා කිරීම් පමණක් ප්‍රමාණවත්ද? වගවීමක් තිබිය යුතුයි.

අලුත් වෙස් මුහුණු බැඳ ගැනීම් තුළින්, රට මෙවැනි අගාධයකට ඇද දැමීමට වගකිවයුතු පාලනයක් ආරක්ෂා කර ගැන්මට, ඔවුන්ගේ පැවැත්ම රැකදීමට ගන්නා වූ රැවටිලිකාර ප්‍රයත්නයන්, ඇන්දවීම්, වචන හරඹ තුළින්, රටත් ලෝකයත් මුළා කිරීමට පුළුවන්කමක් නැහැ.

දිළිදුකමට, බඩගින්නට, මන්දපෝෂණයට, විරැකියාවට, එපමණක් නොවෙයි, මුළු දවසම, මුළු පවුලම පෝලිම්වල ගතකරන තත්ත්වයට, මේ රට ඇද දැමූ වගකිව යුත්තන් බලයේ තබාගෙන, තීරණ තීන්දු ගැන්මේ පුටුවල තබාගෙන, දැනට උද්ගතවී ඇති තත්ත්වයට විසඳුම් ලබාදීමට හැකි යැයි කල්පනා කිරීම මිථ්‍යාවක්.

එදිනෙදා වියදම් පියවාගත නොහැකි භාණ්ඩාගාරයක් සහ අධික පොලී සමගින් වූ මහා ණය කන්දරාවක බර උසුලා ගැන්මට සිදුව ඇති පසුබිමක, පසුගිය පාලනය හැසිරුනේ කිසිදු දුරදැක්මකින් තොරව “උණුවන තෙක් දිය සැලියේ සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ” කවිය සිහිගන්වන ගජමිතුරු ධනවාදය කරපින්නාගත් ගමනක්ය.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය පසුගිය කාලය තිස්සේම පාර්ලිමේන්තුවේදී අවධාරණය කළ නව වැදෑරුම් වැඩපිළිවෙළේ අඩංගු කර තිබූ ඇතැම් ප්‍රතිපත්ති සමහරක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළ අන්තර්ගත කිරීම දකින්නට තිබෙනවා.

ආධාර ලබාදෙන රටවල සමුළුවක් පැවැත්වීම, දූෂණ වංචා ගැන ස්වාධීන ආයතන පත් කිරීම, පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධව නිවැරදි තීරණ තීන්දු ගැනීම සහ, අපනයනයට ප්‍රමුඛතාව දෙන ආර්ථිකයකට යොමුවීමේ කඩිනම් අවශ්‍යතාව වැනි කරුණු ගැන අපේ ආර්ථික කණ්ඩායමත්, විපක්ෂ නායකවරයාත් පාර්ලිමේන්තුවේදී සහ සතිපතා පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවලදී නිරතුරුව පෙන්වා දුන්නා.

මේ නිවැරදි මගට අපේ රට ප්‍රවේශ කරගත යුතුව තිබෙනවා. ඒ සඳහා එඩිතරව තීන්දු තීරණ ගත යුතුව තිබෙනවා.

අරගල භූමියේ මාධ්‍ය සාකච්ඡාවක සිට අදහස් පළ කළ දමිතා අබේරත්න මහත්මියගේ ඉල්ලීමක් අග්‍රාමාත්‍යවරයා උපුටා දක්වා තිබුණා.

අරගලයේ නිරත එතුමිය ඇතුළු තරුණ පිරිස කියන්නේ කුමක්ද?

“ගෝටා ගෝ හෝම්” කියලායි.

ඔවුන් කියන්නේ අද රට මුහුණ දී ඇති මේ ගැටලුවලට වගකිව යුතු මේ පාලනයේ නිමාවක් අවශ්‍ය බවයි.

එම ඉල්ලීම් නොසලකා ක්‍රියා කරන්නේ නම් ඒ වෙනුවට හිස් වචන වලින් ඔවුන් රවටන්නට ප්‍රයත්න දරනවානම් එය “ටොපි ලොසින්ජර දී රැවටීමක්ම තමයි.”

දැන් ඇති මේ රැවටීම. අද ඉන්න පරපුර රටත්, ලෝකයත් ගැන අවධියෙන් ඉන්නේ. ඔවුන්ව තවදුරටත් “ටොපි ලොසින්ජර දීලා රවටන්නට බැරි බව තේරුම් ගන්න.”

ඔවුන්ගේ හඬට, රටේ බහුතර ජනතා හඬට සවන් දෙන්න. ඊට අවනත වෙන්න. ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩදෙන්න.

මේ මොහොතේ තීරණාත්මක සංධිස්ථානයකට අපේ මව්බිම පැමිණ ඇත. තවදුරටත් ගජමිතුරු ධනවාදී ගමනකට හෝ විසඳුමක් නැති වෛරය පතුරවන සටන් පාඨ දේශපාලනයකට හෝ ඉඩදී සිටීම මේ රටට දැරිය හැක්කක් නොවේ. රටත් ලෝකයත් පිළිගන්නා වූ ස්ථාවර පාලනයක් සමගින් නිවැරදි මාවතට අපේ මව්බිම ප්‍රවේශ කර ගනිමින් මේ දුෂ්කර අභියෝග ජයගත යුතු වෙමු. ශ්‍රී ලංකාව ලෝක සිතියම තුළ අභිමානවත් දේශයක් බවට පත්කර ගැන්ම සඳහා වූ තිරසාර අදිටනින් අනාගතයට යොමුවෙමු.

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment