ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ප්‍රමුඛව සර්ව පාක්‍ෂික  රජයට සහාය දෙනවා – මහාචාර්ය තිස්ස විතාරණ

114

පුරවැසියාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සහ ඔවුන්ගේ දෛනික අවශ්‍යතාවන් තහවුරු කිරීම සිය ප්‍රමුඛ යෝජනාව කර ගනිමින් සර්ව පාක්‍ෂික රජයක් සඳහා සහාය ලබාදීමට තීරණය කළ බව ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා “දිවයින”ට ඊයේ (09 දා) පැවසීය.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ විශ්ලේෂණාත්මක සොයාබැලීමකින් අනතුරුව සිය පක්‍ෂය මෙම තීරණයට පැමිණි බව සඳහන් කළ මහාචාර්යවරයා මේ වනවිට මෙරට ජනගහනයෙන් 70%කට නිසි පෝෂණයක් නොලැබීම පිළිබඳව දැඩිව අවධානය යොමු කිරීම සර්වපාක්‍ෂික රජයක ප්‍රමුඛ කාර්යභාරය විය යුතු බව ද කියා සිටියේය.

මෙරට ගොවියාට සාධාරණය ඉටුවීම සහ ඒ හරහා පාරිභෝගිකයාට සහන සැලසීමක් සිදු විය යුතු බවත්, ප්‍රවාහන ගැටලු, ඉන්ධන, ගෑස්, පාසල් අධ්‍යාපනය, සෞඛ්‍ය යන ක්‍ෂේත්‍රවල පවතින ගැටලු විසඳීමට ඉක්මන් පියවර ගත යුතු බවත් ග්‍රාමසේවා වසම් මට්ටමින් සොයා බලා දරිද්‍රතාවෙන් පෙළෙන පවුල් වෙත වියළි ආහාර ලබාදීමට සතිපතා පියවර ගත යුතු බව සිය පක්‍ෂය යෝජනා කරන බවත් මහාචාර්යවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් මීට පෙර ද අගමැතිවරයා වෙත යෝජනාවලියක් ඉදිරිපත් කළත් එයට සාධනීය ඇහුම්කන්දීමක් සිදු නොවීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බව ද සඳහන් කළ මහාචාර්ය තිස්ස විතාරණ මහතා, රටේ ජනතාවගේ දෛනික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ජනතා සමුපකාර ක්‍රමයක් යළි ස්ථාපිත කරන ලෙස රජයට යෝජනා කරන බව ද වැඩිදුරටත් කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment